හලාවත පරාජය නිසා SSC කණ්ඩායම ලකුණු සටහනේ පෙරමුණට

439
SLC Premier League - Tier A

ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ A කාණ්ඩය නියෝජනය කරමින් අද (17) නිමාවුනු තරගයකදී ප්‍රබල හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජයට සුපිරි 8 වටයේ තම ප්‍රථම පරාජයට මුහුණ දීමට සිදුවූ අතර ඒ හේතුවෙන් SSC කණ්ඩායම ලකුණු සටහනේ ප්‍රථම ස්ථානය තහවුරු කර ගැනීමට සමත් විය. ඒ තමන් සහභාගි වූ තරග 4ම ඔවුන් මේ වනවිට ජයගෙන ඇති බැවිනි. එමෙන්ම කලක් තිස්සේ ජයග්‍රහණ පිපාසයකින් පීඩා විඳිමින් සිටි කෝල්ට්ස් ක්‍රිකට් සමාජයට අද ටැමිල් යූනියන් කණ්ඩායම පරාජය කිරීමට හැකිවූයේ තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා ලෙස සදීර සමරවික්‍රම මේ දක්වා අඛණ්ඩව ප්‍රදර්ශනය කල පිතිකරණ දක්ෂතා වලට සාධාරණයක් ඉටු කරමිනි.

ඇන්ජෙලෝගේ පිතිකරණ දක්ෂතා NCC පිළට ජය ගෙනෙයි

මෙවර ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පිත්තෙන් දැක්වූ සුපිරි දක්ෂතා නිසා මේ වනවිට වැඩිම ලකුණු ලාභීන් අතර තෙවැනි ස්ථානයේ පසුවන ඇන්ජෙලෝ…

කෝල්ට්ස් ක්‍රිකට් සමාජය සහ ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජය අතර තරගය

සුපිරි 8 වටයේ තමන් මේ වනතෙක් මුහුණ දුන් තරග තුනක් පුරාවට සොයාගත නොහැකි වූ ජයග්‍රහණය හඹා යන ක්‍රීඩා සමාජ දෙකක් අතර පැවති මෙම සටන අද පනාගොඩ යුධ හමුදා ක්‍රීඩාංගණයේදී නිමාව දිටීය. එම තරගයෙන් ලකුණු 182ක විශිෂ්ට ජයක් වාර්තා කරමින් තමන් මෙතෙක් පැමිණි පරාජිත ගමන නිමා කරන්නට කෝල්ට්ස් ක්‍රිකට් සමාජය සමත් විය. මෙම ජයග්‍රහණයේ නියමුවා බවට පත්වුනු සදීර සමරවික්‍රම ප්‍රථම ඉනිමේ ලකුණු 52ක් සහ දෙවැනි ඉනිමේ ලකුණු 93ක් රැස් කළේය. මෙම සුවිශේෂී දක්ෂතා හේතුවෙන් මෙවර ප්‍රිමියර් ලීග් තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා බවට ඔහු පත්ව සිටින්නේ ලකුණු 1016ක් ලබා ගනිමිනි. ඊට අර්ධ ශතක 6ක් සහ ශතක 3ක් ඇතුළත්ය.

ඊයේ තරගය නතර කරන විට කඩුලු 4ක් දැවී ලකුණු 203ක් ලබාගෙන සිටි ටැමිල් යූනියන් පිතිකරුවන් කෝල්ට්ස් ජයග්‍රහණය හැකි තරම් දුරස් කිරීමට මාන බැලූවත් අද දිනයේ ඔවුන්ට සාර්ථක වීමට හැකි වූයේ නැත. ඒ ඔවුන්ගේ ඉතිරි කඩුලු 6ම අද උදෑසන ලකුණු 75ක් තුලදී බිඳ වැටුනු බැවිනි. සෑහෙන කලක සිට මග බලමින් සිටි ජයග්‍රහණයට මුද්‍රා තැබූ අකිල ධනංජය ටැමිල් යූනියන් පිතිකරුවන් පස්දෙනෙකු නැවතත් ක්‍රීඩාගාරයට හරවා යැවීය.

කෝල්ට්ස් ක්‍රිකට් සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 218 (පන්දුවාර 52.2): අකිල ධනංජය 52*, සදීර සමරවික්‍රම 52, ප්‍රියමාල් පෙරේරා 47, පසිඳු ලක්ශංක 23, දුලාංජන මෙන්ඩිස් 5/71, රමිත් රඹුල්වැල්ල 4/75.

ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 168 (පන්දුවාර 45.2): සිතාර ගිම්හාන් 43, කිත්රුවන් විතානගේ 26, චරිත් ජයම්පති 24, ඉශාන් ජයරත්න 5/40, අලි කාන් 2/55, අකිල ධනංජය 2/64.

කෝල්ට්ස් ක්‍රිකට් සමාජය (දෙවන ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 411 (පන්දුවාර 117.3): සදීර සමරවික්‍රම 93, ප්‍රියමාල් පෙරේරා 88, විශාද් රන්දික 84, ඇන්ජෙලෝ ජයසිංහ 81, ප්‍රමෝද් මධුශාන් 5/112.

ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජය (දෙවන ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 279 (පන්දුවාර 62): සිතාර ගිම්හාන් 85, මනෝජ් සරත්චන්ද්‍ර 59, දිනෙත් තිමෝද්‍යය 37, රමිත් රඹුක්වැල්ල 32, අකිල ධනංජය 5/103, ඉශාන් ජයරත්න 3/76.


හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය සහ රාගම ක්‍රිකට් සමාජය අතර තරගය

කෝල්ට්ස් ක්‍රීඩකයින් පනාගොඩදී තම සුපිරි 8 වටයේ ප්‍රථම ජයග්‍රහණය සමරා ජයපැන් බොද්දී කොළඹදී පැවති මෙම තරගයේ දී මෙතෙන් තමන් සහභාගි වුනු සියලුම තරග ජයගෙන සිටි හලාවත ක්‍රිකට් සමාජයට තම ප්‍රථම පරාජයට මුහුණ දීමට සිදුවිය. ඒ හලාවත පිළේ ප්‍රධානම තුරුම්පුව වන මලින්ද පුෂ්පකුමාර සහභාගි නොවුනු මෙම තරගයෙන් උපරිම වාසිය ලබාගත් රාගම ක්‍රිකට් සමාජය කඩුලු 7කින් තම ජයග්‍රහණය තහවුරු කරගත් බැවිනි.

හලාවත ලකුණු පුවරුව තම පිතිකරුවන්ට හඹා යා හැකි මට්ටමකින් නතර කිරීම සඳහා විශාල සහයක් ලබාදුන් නිලංක ප්‍රේමරත්න ප්‍රථම ඉනිමේ කඩුලු 5ක් බිඳ හෙලූ අතර සහන් නානායක්කාර දෙවැනි ඉනිමේ කඩුලු 7ක් දවාලීය. මීට අමතරව රාගම ලකුණු පුවරුව ඉහළ දැමීමට වැඩිම දායකත්වයක් ලබාදුන් දකුණත් පිතිකරු සමින්ද ප්‍රනාන්දු ප්‍රථම ඉනිමේදී හතරේ පහර 9ක් සහ එක් හයේ පහරක් සමගින් ලකුණු 93ක් රැස්කල අතර දෙවැනි ඉනිමේදී ලකුණු 44කින් රාගම ලකුණු පුවරුව ඉහළ දැමීය.

හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 168 (පන්දුවාර 41.4): මහේල උඩවත්ත 41, නිලංක ප්‍රේමරත්න 5/41, සහන් නානායක්කාර 2/18.

රාගම ක්‍රිකට් සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 276 (පන්දුවාර 85): සමින්ද ප්‍රනාන්දු 93, කොෂාන් ධනුෂ්ක 50, සමීර ද සොයිසා 27, අක්ෂු ප්‍රනාන්දු 26, අරෝෂ් ජනෝද 5/45, ශෙහාන් ජයසූරිය 3/50.

හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය (දෙවන ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 295 (පන්දුවාර 96.5)
සචිත්‍ර සේරසිංහ 56, මහේල උඩවත්ත 52, මධූක ලියනපතිරණගේ 54, රුක්ෂාන් ශෙහාන් 46, අශේන් සිල්වා 29, සහන් නානායක්කාර 7/92.

රාගම ක්‍රිකට් සමාජය (දෙවන ඉනිම) – කඩුලු 3ක් දැවී ලකුණු 191 (පන්දුවාර 52.5): ලහිරු මිලන්ත 62, සමින්ද ප්‍රනාන්දු 44, අක්ෂු ප්‍රනාන්දු 38*, මධූක ලියනපතිරණගේ 2/61.

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට