පන්දුව හුරු දෑතින් පිත්ත හැසිරවූ සචිත්‍රගෙන් සුපිරි ශතකයක්!

744
Roshen SIlva Guides Ragama; Chilaw, BRC, Colts, SSC in pole position

දේශීය ක්‍රිකට් පිටියේ විශිෂ්ටයන් ජාත්‍යන්තරය කරා රැගෙන යාමේ අරමුණින් පැවැත්වෙන ප්‍රිමියර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ A කාණ්ඩය යටතේ තරග 5ක් අද (22) ක්‍රියාත්මක විය. ඒ අතුරින් දඟ පන්දු යවන්නෙකු ලෙස ප්‍රසිද්ධියක් උසුලන සචිත්‍ර සේනානායක අද වාර්තා කළ ශතකය කාගේත් අවධානයට ලක්විය.

පසුගිය ලිපි: දඟ පන්දුවේ ශක්තිය නිසා ටැමිල් යූනියන් කණ්ඩායමට තවත් ජයක්

මුවර්ස් ක්‍රීඩා සමාජය සහ BRC අතර තරගය

ඊයේ දිනය නිමා වන විට කිසිවෙකු නොදැවී ලකුණු 47ක් ලබා සිටි මුවර්ස් ප්‍රථම ඉනිම අද ලකුණු 226කට සීමා විය. එබැවින් ප්‍රථම ඉනිමේ ලකුණු 67ක වාසියක් හිමිකර ගත් BRC ක්‍රීඩකයින්ට ප්‍රථම ඉනිමේ ජයග්‍රහණය හිමිව තිබේ. මුවර්ස් ඉනිම අඩු ලකුණු ගණනකට සීමා කළ ටී. එම්. සම්පත් සහ දිනුක හෙට්ටිආරච්චි කඩුලු 4 බැගින් බිඳ හෙලූහ.

දෙවැනි දිනය නිමා වන විට සිය දෙවැනි ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දෙන BRC පිතිකරුවෝ කඩුලු 5ක් දැවී ලකුණු 164ක් ලබා සිටිති. තුන් ඉරියව් ක්‍රීඩක ටී. එම්. සම්පත් මේ වන විට නොදැවී ලබා සිටින ලකුණු සංඛ්‍යාව 56කි.

BRCසියල්ලන්ම දැවී ලකුණු 293 (පන්දුවාර 74.2): ලසිත් ලක්ෂාන් 63, හශේන් රාමනායක 53, චානක විජේසිංහ 52, තිලාන් තුෂාර 3/54, දිලංක සඳකැන් 3/80.

මුවර්ස් ක්‍රීඩා සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 226 (පන්දුවාර 61.3): රුවිඳු ගුණසේකර 50, ප්‍රිමෝශ් පෙරේරා 45, ටී. එම්. සම්පත් 4/57, දිනුක හෙට්ටිආරච්චි 4/73.

BRC (දෙවන ඉනිම) – කඩුලු 5ක් දැවී ලකුණු 164 (පන්දුවාර 35.1): ටී. එම්. සම්පත් 56*, ලසිත් ලක්ෂාන් 46.


සිංහල ක්‍රීඩා සමාජය සහ බ්ලූම්ෆීල්ඩ් ක්‍රිකට් සමාජය අතර තරගය

SSC පිටියේදී පැවැත්වෙන මෙම තරගයේ ප්‍රථම දිනය නිමාවන විට ප්‍රථම ඉනිම ක්‍රීඩා කරමින් සිටි සිංහල ක්‍රීඩා සමාජය කඩුලු 8ක් දැවී ලකුණු 382ක් ලබා සිටි අතර එය තවත් ගොඩ නගමින් ලකුණු 490ක් කරා ගෙන යාමට ඔවුන් සමත් විය. දක්ෂ පිට දඟ පන්දු යවන්නෙකු ලෙසින් ප්‍රසිද්ධ සචිත්‍ර සේනානායක අද පිත්තෙන් සාර්ථක වෙමින් හතරේ පහර 9ක් සහ හයේ පහර 6ක් සමඟින් ලකුණු 120ක් වාර්තා කිරීමට සමත් විය. ඔහුගේ මෙම වේගවත් ඉනිම සඳහා වැයවූයේ පන්දු 107ක් පමණි. SSC කණ්ඩායමේ සාර්ථක ප්‍රථම ඉනිම නිසාම අසීරු ඉලක්කයක් හඹා යන බ්ලූම්ෆීල්ඩ් පිතිකරුවන් දිනය නිමාවන විට කඩුලු 9ක් දැවී ලකුණු 179ක් ලබා සිටියහ.

සිංහල ක්‍රීඩා සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 490 (පන්දුවාර 99.5): සචිත්‍ර සේනානායක 120, මිනෝද් භානුක 97, ධනුෂ්ක ගුණතිලක 94, චරිත් අසලංක 37, කවිඳු කුලසේකර 36, මලිත් ද සිල්වා 4/151.

බ්ලූම්ෆීල්ඩ් ක්‍රිකට් සමාජය – කඩුලු 9ක් දැවී ලකුණු 179 (පන්දුවාර 66): නිසල් ෆ්‍රැන්සිස්කෝ 58, ජෙෆ්රි වැන්ඩර්සේ 4/40, සචිත්‍ර සේනානායක 4/52.


හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය සහ ගාලු ක්‍රිකට් සමාජය අතර තරගය

ශෙහාන් ජයසූරියගේ සහ සචිත්‍ර සේරසිංහගේ අතිවිශිෂ්ට පිතිකරණය හේතුවෙන් මේ වන විට තරගයේ වාසිය මුළුමනින්ම තමන් සතු කරගන්නට හලාවත මේරියන්ස් කණ්ඩායම සමත්ව සිටියි. ප්‍රථම ඉනිමේ ජය තහවුරු කර ගැනීමට නම් ලකුණු 553ක දැවැන්ත ඉලක්කයක් කරා ලඟා වීමට සිදුවූ ගාලු ක්‍රිකට් සමාජය දෙවැනි දිනයේ නිමාව සටහන් වන විට කඩුලු 8ක් දැවී ලකුණු 148ක් ලබා අසීරු තත්වයක පසුවෙයි.

හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය – කඩුලු 8ක් දැවී ලකුණු 552 (පන්දුවාර 113.3): ශෙහාන් ජයසූරිය 168, සචිත්‍ර සේරසිංහ 151, මහේල උඩවත්ත 53, රුක්ෂාන් ශෙහාන් 50*, මලින්ද පුෂ්පකුමාර 41, සජීව වීරකෝන් 3/161.

ගාලු ක්‍රිකට් සමාජය – කඩුලු 8ක් දැවී ලකුණු 148 (පන්දුවාර 55.1): නිලුශාන් නෝනිස් 47, මලින්ද පුෂ්පකුමාර 4/51.


යුධ හමුදා ක්‍රීඩා සමාජය සහ රාගම ක්‍රිකට් සමාජය අතර තරගය

ඊයේ දිනයේ කඩුලු 7ක් දැවී ලකුණු 256ක් ලබා සිටි යුධ හමුදා ක්‍රීඩකයින් අද සිය ඉනිමේ නිමාව සනිටුහන් කළේ ලකුණු 276ක් ලකුණු පුවරුවේ සටහන් කරමිනි. රාගම කණ්ඩායම වෙනුවෙන් සුපිරි පන්දු යැවීමක නිරත වුනු අමිල අපොන්සු ලකුණු 71කට කඩුලු 7ක් බිඳ හෙලමින් දස්කම් දැක්වීය.

පිලිතුරු ඉනිම ක්‍රීඩා කරන රාගම පිතිකරුවෝ දිනයේ අවසානය සනිටුහන් වෙද්දී තම ප්‍රථම ඉනිම ලෙස සියල්ලන්ම දැවී ලකුණු 304ක් රැස් කිරීමට සමත් විය. රාගම ක්‍රිකට් සමාජයේ ගැලවුම්කරු බවට පත්වූ රොෂේන් සිල්වා අද හතරේ පහර 12ක් සමඟින් ලකුණු 109ක් වාර්තා කළේය.

යුධ හමුදා ක්‍රීඩා සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 276 (පන්දුවාර 97.1): ලියෝ ෆ්‍රැන්සිස්කෝ 103, දුශාන් විමුක්ති 40, මංජුල ද සොයිසා 28, අමිල අපොන්සු 7/71.

රාගම ක්‍රිකට් සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 304 (පන්දුවාර 78.5): රොෂේන් සිල්වා 109, ලහිරු මිලන්ත 58, චතුර පීරිස් 62, නලීන් ප්‍රියදර්ශන 5/52.


කෝල්ට්ස් ක්‍රිකට් සමාජය සහ සැරසන්ස් ක්‍රීඩා සමාජය අතර තරගය

හතරේ පහර 10ක් සමඟින් ඇන්ජෙලෝ ජයසිංහ රැස් කළ ශතකයත් ප්‍රභාත් ජයසූරියගේ ලකුණු 81ත් නිසා කෝල්ට්ස් ප්‍රථම ඉනිම අද ලකුණු 374ක් දක්වා ඉහළ ගියේය. එහිදී සැරසන්ස් කණ්ඩායමේ පන්දුකරණය අංශයේ වැඩි බරක් ඉසිලූ චතුර රන්දුනු ලකුණු 94ට කඩුලු 6ක් බිඳ හෙලමින් දස්කම් දැක්වීය.

කෝල්ට්ස් ඉනිම හඹා යන සැරසන්ස් පිතිකරුවන් දෙවැනි දිනය නිමා වන විට කඩුලු 6ක් දැවී ලකුණු 223ක් ලබාගෙන යම් තරමක අවදානම් මට්ටමක පසුවෙයි. සැරසන්ස් කණ්ඩායම වෙනුවෙන් ඉරෝෂ් සමරසූරිය අර්ධ ශතකයක් වාර්තා කිරීමට සමත් විය. මෙම තරග සියල්ලේම තීරණය හෙට දිනයේදී ලැබීමට නියමිතව ඇත.

කෝල්ට්ස් ක්‍රිකට් සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 374 (පන්දුවාර 106.1): ඇන්ජෙලෝ ජයසිංහ 109*, ප්‍රභාත් ජයසූරිය 81, සදීර සමරවික්‍රම 56, චතුර රන්දුනු 6/94.

සැරසන්ස් ක්‍රීඩා සමාජය – කඩුලු 6ක් දැවී ලකුණු 223 (පන්දුවාර 66): මිලින්ද සිරිවර්ධන 45, සංගීත් කුරේ 57, ඉරෝෂ් සමරසූරිය 50, ප්‍රභාත් ජයසූරිය 4/53.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට