ජීවන් මෙන්ඩිස්ගේ තුන් ඉරියව් දක්ෂතා ටැමිල් යූනියන් පිළට ජය ගෙනෙයි

1273
Jeewan Mendis
pic credits - Jeewan Mendis's Facebook page

දේශීය ක්‍රිකට් පිටියේ ක්‍රීඩකයින්ට තම නිසඟ දක්ෂතා ප්‍රදර්ශනය කිරීමට වේදිකාවක් තනාදෙන ප්‍රිමියර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ A කාණ්ඩය යටතේ පැවති තරග 4ක් අද (17) නිමාව දුටුවේය.

ඒ අතුරින් ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජය පූර්ණ තරග ජයග්‍රහණයක පහස විඳීමට සමත් වූ අතර CCC, මුවර්ස් සහ NCC යන ක්‍රීඩා සමාජ ප්‍රථම ඉනිමේ ජයග්‍රහණ වල හිමිකරුවන් බවට පත්විය.

පසුගිය ලිපි: රාගම ක්‍රිකට් සමාජය ප්‍රථම ඉනිමේ නොසිතූ ජයක් ලබයි

ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජය සහ හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය අතර තරගය

ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජයට කඩුලු 6ක පූර්ණ ජයග්‍රහණයක් හිමිවූ මෙම තරගයේ කැපී පෙනෙන ක්‍රීඩකයා බවට පත්වූයේ කලක් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමද නියෝජනය කළ දක්ෂ ක්‍රීඩකයෙකු වන ජීවන් මෙන්ඩිස්ය. ඔහු මුල් ඉනිමේ ටැමිල් යූනියන් කණ්ඩායම වෙනුවෙන් දැකුම්කළු හතරේ පහර 12ක් සහ හයේ පහර 6ක් සමඟින් ලකුණු 115ක් රැස් කල අතර තරගය පුරා ප්‍රතිවාදී කඩුලු 8ක් ද බිඳ හෙලීය. කලක සිට ටැමිල් යූනියන් කණ්ඩායමට තමන්ගෙන් අවශ්‍ය සේවය නොපිරිහෙලා ඉටු කරන තරංග පරණවිතාන මුල් ඉනිමේදී වාර්තා කළ ශතකය ද මෙම ජයග්‍රහණය සඳහා බොහෝ සෙයින් හේතු විය.

හලාවත ක්‍රිකට් සමාජයට ඉනිම දෙකේදීම විශාල ලකුණු සංඛ්‍යාවක් කරා යාමට නොලැබුණු අතර වමත් පිතිකරු ශෙහාන් ජයසූරිය පමණක් ඉනිම දෙකේදීම ශතක වාර්තා කරමින් ටැමිල් යූනියන් ක්‍රීඩකයින්ට යම් සටනක් ලබා දුන්නේය. අද දිනයේ ජයග්‍රහණය සඳහා ලකුණු 67ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ටැමිල් යූනියන් පිතිකරුවන් කඩුලු 4ක් පමණක් දැවී අදාළ ඉලක්කය සපුරා ගත්තේ ඉදිරියේදී අනෙක් කණ්ඩායම් වලට ප්‍රබල අභියෝගයක් විය හැකි බවට ඉඟි පළ කරමිනි.

ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 450 (පන්දුවාර 101.5)

ජීවන් මෙන්ඩිස් 115, තරංග පරණවිතාන 100, මනෝජ් සරත්චන්ද්‍ර 82, තික්ෂිල ද සිල්වා 2/45, මලින්ද පුෂ්පකුමාර 5/134, ඉසුරු උදාන 2/102.

හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 219 (පන්දුවාර 42.1)

ශෙහාන් ජයසූරිය 59, තික්ෂිල ද සිල්වා 59, සචිත්‍ර සේරසිංහ 24, ජීවන් මෙන්ඩිස් 4/79, දිනුක් වික්‍රමනායක 3/18.

හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය (දෙවන ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 297 (පන්දුවාර 84.2)

ශෙහාන් ජයසූරිය 67, අශේන් සිල්වා 67, මහේල උඩවත්ත 53, සචිත්‍ර සේරසිංහ 50*, ජීවන් මෙන්ඩිස් 4/56, දිනුක් වික්‍රමනායක 3/96.

ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජය (දෙවන ඉනිම) – කඩුලු 4ක් දැවී ලකුණු 69 (පන්දුවාර 15.3)

පුලිණ තරංග 28*, මලින්ද පුෂ්පකුමාර 3/24.


කෝල්ට්ස් ක්‍රිකට් සමාජය සහ කොළඹ ක්‍රිකට් සමාජය අතර තරගය

මෙම තරගය අද ජය පරාජයෙන් තොරව අවසන් වුවත් යොවුන් ක්‍රීඩක වනිඳු හසරංගගේ දක්ෂතා හේතුවෙන් කොළඹ ක්‍රිකට් සමාජයට (CCC) මුල් ඉනිමේ ජයග්‍රහණය අත්විය. ලකුණු 276ක අභියෝගාත්මක ලකුණු සංඛ්‍යාවක් හඹා යමින් සිටි CCC ඉනිම එක් අවස්ථාවක කඩුලු 8ට ලකුණු 201ක් ලෙස සටහන් වූයේ කෝල්ට්ස් ක්‍රීඩකයින්ට තරගයේ වැඩි වාසි හිමිකර දෙමිනි. නමුත් තවමත් වයස අවුරුදු 19ක් වන යොවුන් ක්‍රීඩක වනිඳු හසරංග අංක 9 පිතිකරුවා ලෙස පැමිණ නොදැවී වාර්තා කල ලකුණු 116 නිසාම CCC කණ්ඩායමට කෝල්ට්ස් ප්‍රථම ඉනිම අභිබවා යාමට හැකිවිය. වනිඳුගේ මෙම සුපිරි ඉනිමට දර්ශනීය හතරේ පහර 13ක් සහ හයේ පහර 3ක් ඇතුළත් විය.

වයස 21ක් වන තවත් යොවුන් ක්‍රීඩකයෙකු වන හෂාන් දුමිඳු ප්‍රථම ඉනිමේ ලකුණු 105ක් සහ දෙවැනි ඉනිමේ අර්ධ ශතකයක් වාර්තා කරමින් කෝල්ට්ස් ක්‍රිකට් සමාජය වෙනුවෙන් තම යුතුකම් කොටස ඉටු කළේය. තෙවැනි දිනය නිමාවන විට දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි කෝල්ට්ස් පිතිකරුවෝ කඩුලු 6ක් දැවී ලකුණු 316ක් ලබා සිටියහ.

කෝල්ට්ස් ක්‍රිකට් සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 276 (පන්දුවාර 81.4)

හෂාන් දුමිඳු 105, අකිල ධනංජය 42*, සචිත් පතිරණ 3/37, ලහිරු මධුශංක 3/45, ලක්ෂාන් සඳකැන් 3/63.

කොළඹ ක්‍රිකට් සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 384 (පන්දුවාර 79.4)

වනිඳු හසරංග 116, අශාන් ප්‍රියන්ජන් 80, ලහිරු මධුශංක 59, රොන් චන්ද්‍රගුප්ත 58, අකිල ධනංජය 4/111, නිසල තාරක 3/68.

කෝල්ට්ස් ක්‍රිකට් සමාජය (දෙවන ඉනිම) – කඩුලු 6ක් දැවී ලකුණු 316 (පන්දුවාර 85)

හෂාන් දුමිඳු 69, ප්‍රියමාල් පෙරේරා 63*, ඇන්ජෙලෝ ජයසිංහ 52, සදීර සමරවික්‍රම 48, සචිත් පතිරණ 4/86.


මුවර්ස් ක්‍රීඩා සමාජය සහ යුධ හමුදා ක්‍රීඩා සමාජය අතර තරගය

ප්‍රථම ඉනිමේ ජයග්‍රහණය මුවර්ස් ක්‍රීඩා සමාජයට හිමිවූ මෙම තරගයේ කැපී පෙනෙන ක්‍රීඩකයා බවට පත්වූයේ ප්‍රථම ඉනිමේ හතරේ පහර 20ක් සහ හයේ පහර 5ක් සමඟින් නොදැවී ලකුණු 181ක් වාර්තා කළ ශානුක දුලාජ්ය. වමතින් පිත්ත හසුරුවන මැද පෙළ පිතිකරුවෙකු වන ඔහුගේ මෙම දැවැන්ත ඉනිම මුවර්ස් ජයග්‍රහණය පසුපස තිබූ යෝධ සෙවනැල්ල බවට පත්විය.

ප්‍රථම ඉනිමේ ජයග්‍රහණය ස්ථිර වීමත් සමඟ තරග  ජයග්‍රහණයක් කරා ඉව ඇල්ලූ මුවර්ස් ක්‍රීඩකයින් ලකුණු 354ක ඉලක්කයක් යුධ හමුදා පිළට ලබා දී ඉනිම අත්හිටවූ නමුත් තරගය නිමා වෙද්දී ඔවුන්ට දවා ගැනීමට හැකි වූයේ යුධ හමුදා පිතිකරුවන් තිදෙනෙකු පමණි.

මුවර්ස් ක්‍රීඩා සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 376 (පන්දුවාර 97.5)

ශානුක දුලාජ් 181*, රුවිඳු ගුණසේකර 45, පබසර වඩුගේ 40, සීක්කුගේ ප්‍රසන්න 3/124, අසේල ගුණරත්න 2/34.

යුධ හමුදා ක්‍රීඩා සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 242 (පන්දුවාර 79)

මංජුල ද සොයිසා 90*, දුශාන් විමුක්ති 30, නිලංක සඳකැන් 4/68.

මුවර්ස් ක්‍රීඩා සමාජය (දෙවන ඉනිම) – කඩුලු 8ක් දැවී ලකුණු 219 (පන්දුවාර 51.4)

ප්‍රිමෝශ් පෙරේරා 65, තිලාන් තුෂාර 52*, විරාජ් පුෂ්පකුමාර 3/48, දුශාන් විමුක්ති 2/41, අසේල ගුණරත්න 2/39.

යුධ හමුදා ක්‍රීඩා සමාජය (දෙවන ඉනිම) – කඩුලු 3ක් දැවී ලකුණු 169 (පන්දුවාර 29)

දුශාන් විමුක්ති 54*, ලියෝ ෆ්‍රැන්සිස්කෝ 37, සංජික රිද්ම 33*, නිලංක සඳකැන් 2/40.


සිංහල ක්‍රීඩා සමාජය සහ NCC අතර තරගය

දේශීය ක්‍රිකට් පිටියේ ප්‍රබල ක්‍රීඩා සමාජ දෙකක් එකිනෙකා හා ගැටුනු මෙම තරගය අවසානයේ නිමා වූයේ ජය පරාජයෙන් තොරවයි. නමුත් ප්‍රථම ඉනිමේ ජයග්‍රහණය තමන් සතු කර ගනිමින් වැඩි ප්‍රසාද ලකුණු ගණනක උරුම කරුවන් බවට පත්වන්නට NCC කණ්ඩායම සමත් විය. පෞද්ගලිකව තම ශතකය කරා යාමට නොහැකි වුවත් ප්‍රථම ඉනිමේ ලකුණු 95ක් ලබමින් තරගය පුරාවට කඩුලු 7ක් බිඳ හෙලූ චතුරංග ද සිල්වා මෙම තරගය NCC පිළ දෙසට හරවා දුන් ක්‍රීඩකයා බවට පත්විය. ප්‍රබල SSC කණ්ඩායම ඔවුන්ට හොඳින් හුරුපුරුදු SSC තණතීරුව තුලදීම ලකුණු 219කට සීමා කිරීම සඳහා ඔහු ලකුණු 72ට කඩුලු 6ක් දවාලමින් දැක්වූ සුපිරි දක්ෂතා මහෝපකාරී විය.

අද දිනයේ NCC පිතිකරුවන් තරග ජයග්‍රහණය සඳහා ලකුණු 407ක දැවැන්ත ඉලක්කයක් SSC පිළට හිමිකර දුන් අතර එය හඹා යමින් සිටි SSC කණ්ඩායම තරගය ජය පරාජයෙන් තොරව අවසන් වනවිට කඩුලු 4ක් දැවී ලකුණු 172ක් ලබා සිටියහ.

NCC – සියල්ලන්ම දැවී ලකුණු 392 (පන්දුවාර 106.3)

චතුරංග ද සිල්වා 95, ජෙහාන් මුබාරක් 81, ෆර්වීස් මහරූෆ් 59, නිමේශ ගුණසිංහ 47, කසුන් මධුශංක 3/82, විමුක්ති පෙරේරා 2/60.

සිංහල ක්‍රීඩා සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 219 (පන්දුවාර 60)

ධනුෂ්ක ගුණතිලක 112*, චතුරංග ද සිල්වා 6/72.

NCC (දෙවන ඉනිම) – කඩුලු 4ක් දැවී ලකුණු 232 (පන්දුවාර 44)

නිරෝෂන් දික්වැල්ල 79, චතුරංග ද සිල්වා 52*, සඳුන් වීරක්කොඩි 38, ඇන්ජෙලෝ පෙරේරා 30*, ධනුෂ්ක ගුණතිලක 3/75.

සිංහල ක්‍රීඩා සමාජය (දෙවන ඉනිම) – කඩුලු 4ක් දැවී ලකුණු 172 (පන්දුවාර 46.1)

ධනුෂ්ක ගුණතිලක 54, චරිත් අසලංක 50*, ඩිලන් ජයලත් 45*, අනුක් ප්‍රනාන්දු 1/15.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට