ඩිල්ෂාන් මුණවීර තුන් ඉරියව් දක්ෂතා දක්වයි

109

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ ආරාධිත සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (18) දින නිමා වූ බදුරලිය සහ මීගමුව අතර තරගයේ දී මීගමුව කණ්ඩායමේ නායක ඩිල්ෂාන් මුණවීර තුන් ඉරියව් දක්ෂතා දැක්වීම කැපී පෙනුනි. 

මග්ගොන සරේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ දී ඩිල්ෂාන් මුණවීර තම ඉනිම ආරම්භ කරමින් පන්දු 38කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 49ක් රැස්කර ගැනීමට සමත් විය. ඔහු පන්දු යැවීමේ දී ප්‍රතිවාදී ඉනිමේ කඩුලු 4ක් ලකුණු 24කට දවා ගනිමින් දක්ෂතා දැක්වීම ද කැපී පෙනුනි. 

කාසියේ වාසිය දිනාගත් සත්කාරක බදුරලිය ක්‍රීඩා සමාජයේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි මීගමු ක්‍රීඩකයෝ සියලු දෙනා දැවී ලකුණු 285ක් රැස්කර ගත්හ. පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි සත්කාරක බදුරලිය ක්‍රීඩකයන්ට සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 196ක් පමණි. ඒ අනුව මීගමුව ක්‍රිකට් සමාජයට ලකුණු 89ක ජයග්‍රහණක් හිමි විය. 

මෙම තරගයේ දී දෙපිලේ ක්‍රීඩකයෝ අර්ධ ශතක 5ක් ලබා ගැනීම කැපී පෙනුනි. මීගමුව ක්‍රීඩා සමාජය වෙනුවෙන් අශේන් සිල්වා පන්දු 92කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 74ක් ද, මාධව වර්ණපුර පන්දු 75කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 69ක් සහ රොස්කෝ තට්ටිල් පන්දු 28කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 52ක් රැස්කර ගැනීමට සමත් විය. 

මෙම ඉනිමේ කඩුලු 4ක් දැවී ලකුණු 190ක් රැස්කර ගෙන සිටින විට පිටියේ එක්වූ මාධව වර්ණපුර සහ රොස්කෝ තට්ටිල් 5 වැනි කඩුල්ලට ලකුණු 81ක සබඳතාවක් එක් කිරීමට සමත් වූහ.

කඩුලු ලබා ගැනීමේ දී ලහිරු සමරකෝන් කඩුලු 3ක් දවාගත් අතර නායක අලංකාර අසංක කඩුලු 2ක් දවා ගැනීමට සමත් විය. 

පිළිතුරු ඉනිම වෙනුවෙන් දුෂාන් හේමන්ත සහ ඉන්දීය ක්‍රීඩක වයිභා මාලි අර්ධ ශතක වාර්තා කිරීමට සමත් විය. ඒ අතුරින් දුෂාන් හේමන්ත පන්දු 55කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 51ක් රැස්කර ගත් අතර වයිභා මාලි පන්දු 67කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 52ක් රැස්කර ගත්තේය. ඔවුන් දෙදෙනා අතර 7 වැනි කඩුල්ලේ සබඳතාව ලකුණු 80කි.  

කඩුලු දවා ගැනීමේ දී ඩිල්ෂාන් මුණවීරට අමතරව සහන් අදීශ කඩුලු 3ක් දවා ගත්තේය. 

Group A 

මීගමුව ක්‍රිකට් සමාජය : කඩුලු 8ක් දැවී 285 (50) ඩිල්ෂාන් මුණවීර 49, අශේන් සිල්වා 74, පසිඳු ලක්ෂාන් 20, මාධව වර්ණපුර 69, රොස්කෝ තට්ටිල් 52, ලහිරු සමරකෝන් 3/53, අලංකාර අසංක 2/39. 

බදුරලිය ක්‍රීඩා සමාජය : සියලු දෙනා දැවී 196 (38.2) සාලින්ද උෂාන් 25, ටී. එන්. සම්පත් 23, දුශාන් හේමන්ත 51, වයිභා මාලි 52, ඩිල්ෂාන් මුණවීර 4/24, සහන් අදීශ 3/52. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<