බංගලාදේශය සමග මේ දිනවලදී පැවැත්වෙන එක්දින තරඟාවලියට සහභාගි වීමේ අවස්ථාව අහිමි වුනු දකුණත් මැදපෙළ පිතිකරු චාමර කපුගෙදර අද (29) අන්තර් දිස්ත්‍රික් එක්දින තරඟාවලියේ දී නොදැවී ශතකයක් වාර්තා කරමින් මහනුවර කණ්ඩායම අවසන් පූර්ව වටය තෙක් ඔසවා තැබීමට සමත් විය. මීට අමතරව අද පැවැත්වුනු අනෙකුත් තරග වලදී කොළඹ, මන්නාරම සහ කෑගල්ල යන දිස්ත්‍රික්ක අවසන් පූර්ව වටයේ තමාට හිමි ස්ථාන වෙන්කර ගත්හ.

මහනුවර සහ යාපනය අතර තරගය

කොළඹ CCC පිටියේදී මෙම තරඟයේ දී කාසියේ වාසිය තමන්ගේ වාසියට හරවාගත් මහනුවර නායකයා පිතිකරණ පාරාදීසයක් ලෙස දිස්වුනු තණතීරුවේ මුලින් පන්දුවට පහර දීමට තීරණය කළේය. නමුත් ඔවුන්ගේ එම තීරණයට එතරම් නැණවත් තීරණයක් නොවන බවට ඒත්තු ගැන්වූ යාපනය පන්දු යවන්නන් මහනුවර ඉනිමේ පළමු කඩුලු 5 ලකුණු 70ක් තුලදී බිඳ හෙලන්න්ට සමත් වූහ.

නමුත් කණ්ඩායම වැටී සිටි අසීරු තත්වය තේරුම් ගත් සචිත්‍ර සේනානායක අද චාමර කපුගෙදර හා එක්වී ශතක සබඳතාවයක් පිහිටුවමින් මහනුවර ඉනිම ලකුණු 273ක් දක්වා ඉහළ දැමීය. පීඩනය යටතේ සුපිරි පිතිකරණය නිරත වුනු චාමර කපුගෙදර පන්දු 111කදී හතරේ පහර 9ක් සහ හයේ පහර 2ක් සමගින් නොදැවී ලකුණු 100ක් රැස් කළේය.

මෙම ඉලක්කය හඹායාම සඳහා පිටියට පිවිසි යාපනය පිතිකරුවන්ට ලකුණු 166ක් තුළදී අනපේක්ෂිත ලෙස සියලුම කඩුලු අහිමි විය. අගනා පන්දු යැවීමක නිරත වුනු කසුන් මධුශංක කඩුලු 3ක් බිඳ හෙලූ අතර සචිත්‍ර, වැන්ඩර්සේ සහ රත්නායක අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියේය. ඒ අනුව මෙම තරඟය ලකුණු 107කින් ජයගත් මහනුවර දිස්ත්‍රික්කය අවසන් පූර්ව වටයේ තම අසුන වෙන් කර ගත්හ.

මහනුවර – කඩුලු 7ක් දැවී ලකුණු 273 (පන්දුවාර 50)
චාමර කපුගෙදර 100*, සචිත්‍ර සේනානායක 53*, ඕෂධ ප්‍රනාන්දු 36, ශම්මු අශාන් 24, ජීවන් මෙන්ඩිස් 3/17, දුලාංජන මෙන්ඩිස් 2/38.

යාපනය – සියල්ලන්ම දැවී ලකුණු 166 (පන්දුවාර 27.4)
රමිත් රඹුක්වැල්ල 47, මනෝජ් සරත්චන්ද්‍ර 27, තරංග පරණවිතාන 24, තිලකරත්න ඩිල්ශාන් 17, කසුන් මධුශංක 3/45, සචිත්‍ර සේනානායක 2/26, ජෙෆ්රි වැන්ඩර්සේ 2/29.


ත්‍රිකුණාමලය සහ මන්නාරම අතර තරගය

ප්‍රතිවාදී ත්‍රිකුණාමල දිස්ත්‍රික්කය අන්ත අසරණ කළ මන්නාරම ක්‍රීඩකයින් මෙම තරඟය ලකුණු 201කින් ජයග්‍රහණය කළ අතර ඒ සමඟින් ඔවුන් අවසන් පූර්ව වටයේ තමාට හිමි ස්ථානය වෙන්කර ගත්හ. කාසියේ වාසිය ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයට වාසිදායක අන්දමින් පෙරලී ගියත් පනාගොඩ තණතීරුවේ මුලින් පන්දුවට පහර දීමේ අභියෝගය භාරගත් මන්නාරම පිතිකරුවන් කඩුලු 9කට ලකුණු 272ක් රැස් කළහ. මේ දිනවල ජාතික කණ්ඩායමේ ස්ථානය අහිමිව සිටින වමත් පිතිකරු ළහිරු තිරිමාන්න අද මන්නාරම පිළ වෙනුවෙන් හතරේ පහර 4ක් සහ හයේ පහර 4ක් සමගින් ලකුණු 74ක් රැස් කළේය.

මෙම ලකුණු සංඛ්‍යාව හඹා යන්නට උත්සාහ දැරූ ත්‍රිකුණාමල පිතිකරුවන්ගේ ඉනිම පන්දුවාර 20ක් ගත වීමටද මත්තෙන් ලකුණු 71කින් නිමාව දුටුවේය. දුරකථන අංකයක් ලෙසින් දිස්වුනු ත්‍රිකුණාමල ලකුණු පුවරුවට සුමින්ද ලක්ෂාන් එක්කල ලකුණු 19 ඉනිමේ වැඩිම ලකුණ ලෙස වාර්තා විය. ත්‍රිකුණාමල ඉනිම සුණුවිසුණු කර දැමූ වමත් වේග පන්දු යවන ක්‍රීඩක චතුර පීරිස් සහ පිතිකරුවෙකු ලෙස නම් දරා සිටින උදාර ජයසුන්දර අද කඩුලු 4 බැගින් බිඳ හෙලූහ.

මන්නාරම – කඩුලු 9ක් දැවී ලකුණු 272 (පන්දුවාර 50)
ළහිරු තිරිමාන්න 74, ජනිත් ලියනගේ 49, ළහිරු මිලන්ත 43, ශොහාන් රංගික 3/55, බුද්ධික සඳරුවන් 2/47, ළහිරු ශ්‍රී ලක්මාල් 2/54.

ත්‍රිකුණාමලය – සියල්ලන්ම දැවී ලකුණු 71 (පන්දුවාර 18.4)
සුමින්ද ලක්ෂාන් 19, ශොහාන් රංගික 15, චතුර පීරිස් 4/23, උදාර ජයසුන්දර 4/15.


කොළඹ සහ මාතර අතර තරගය

අද සන්ධ්‍යා කාලයේ දී කොළඹ කෝල්ට්ස් ක්‍රීඩා පිටියේ බල පැවැත්වුනු අයහපත් ආලෝක තත්වය නිසා මෙම තරගයේ තීරණය ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව ගණනය කෙරුණි. ඒ අනුව උණුසුම් අන්දමින් ගලාගෙන ගිය මෙම තරඟයේ අවසන් තීරණය ලකුණු 10කින් කොළඹ දිස්ත්‍රික්කයට හිතකර විය. කාසියේ වාසිය පරාජය වීම නිසා ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට සිදුවූ කොළඹ දිස්ත්‍රික්කය ඉනිම අවසානයේදී සියල්ලන්ම දැවී ලකුණු 209ක් රැස් කිරීමට සමත් වූහ. ඒ වෙනුවෙන් මාධව වර්ණපුර හතරේ පහර 7ක් සහ එක් හයේ පහරක් සමගින් රැස්කල ලකුණු 86 මනා පිටුවහලක් ලබා දුනි. පන්දුවෙන් සාර්ථක වුනු ළහිරු කුමාර අද ලකුණු 21කට කඩුලු 4ක් බිඳ දැමීය.

කොළඹ ඉනිමේ ජයග්‍රාහී ඉලක්කය හඹාගිය මාතර පිතිකරුවන් කඩුලු 5ක් දැවී ලකුණු 106ක් ලබා සිටියදී අයහපත් ආලෝක තත්වය හේතුවෙන් තරඟය නතර කෙරුණු අතර නැවත තරගය ආරම්භ කිරීමට අවස්ථාවක් උදා නොවීය. මාතර ඉනිම වෙනුවෙන් සඳුන් වීරක්කොඩි අර්ධ ශතකයක් වාර්තා කළ අතර නායක ෆර්වීස් මහරූෆ් නොදැවී ලකුණු 25ක් රැස් කරගෙන සිටියේය. කෙසේවෙතත් ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව අද මාතර දිස්ත්‍රික්කයට අවාසනාවන්ත ලෙස තරගාවලියෙන් ඉවත් වීමට සිදුවිය.

කොළඹ – සියල්ලන්ම දැවී ලකුණු 209 (පන්දුවාර 46.2)
මාධව වර්ණපුර 86, ලසිත් අබේරත්න 47, ළහිරු මධුශංක 24, ළහිරු කුමාර 4/21, දුශ්මන්ත චමීර 3/48, මාලිංග අමරසිංහ 2/29.

මාතර – කඩුලු 5ක් දැවී ලකුණු 106 (පන්දුවාර 20)
සඳුන් වීරක්කොඩි 51, ෆර්වීස් මහරූෆ් 25, විශ්ව ප්‍රනාන්දු 2/18, අශාන් ප්‍රියන්ජන් 2/21.


කෑගල්ල සහ බදුල්ල අතර තරගය

ඉතාමත් අඩු ලකුණු සංඛ්‍යාවකට සීමිත වුනු මෙම තරගයේ ක්‍රියාත්මක වූයේ හරියටම පන්දුවාර 61ක් පමණි. කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහර දුන් කෑගල්ල දිස්ත්‍රික් ඉනිම ලකුණු 148කට සීමාවුනු අතර සීක්කුගේ ප්‍රසන්න ඒ අතරතුර කඩුලු 3ක් බිඳ දමා තිබුණි. කෑගලු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා ලෙස හශාන් දුමිඳු ලකුණු 46ක් රැස් කළේය.

දඟ පන්දු යවන්නන්ගේ පාරාදීසයක් බවට පත්ව තිබූ කටුනායක FTZ තණතීරුවේ දී මෙම අඩු ලකුණු සංඛ්‍යාව හඹා යන්නට උත්සාහ දැරූ බදුල්ල දිස්ත්‍රික් පිතිකරුවන් සියලු දෙනාම ඉලක්කය වෙත ළඟා වීමට අපොහොසත් වී ලකුණු 73කට දැවී ගියහ. ඒ පන්දුවාර 20යි පන්දු 3කට පමණක් මුහුණ දෙමිනි. බදුල්ල දිස්ත්‍රික්කය වෙනුවෙන් ඉලක්කම් දෙකේ ලකුණක් හෝ වාර්තා කරන්නට සමත් වූයේ හිමාෂ ලියනගේ සහ දුශාන් විමුක්ති පමණි. තණතීරුවේ උපරිම සහය ලබාගත් වමත් දඟ පන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය සහ දකුණත් දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජය බදුලු කණ්ඩායමේ කඩුලු 4 බැගින් බිඳ හෙලූහ. ඒ අනුව ලකුණු 75කින් ජයග්‍රහණය වාර්තා කළ කෑගල්ල දිස්ත්‍රික්කය අවසන් පූර්ව වටයේ සිය ස්ථානය තහවුරු කර ගත්හ.

කෑගල්ල – සියල්ලන්ම දැවී ලකුණු 148 (පන්දුවාර 40.3)
හශාන් දුමිඳු 46, පසිඳු ලක්ශංක 31, සහන් ආරච්චිගේ 30, සීක්කුගේ ප්‍රසන්න 3/29, ජනක සම්පත් 2/17.

බදුල්ල – සියල්ලන්ම දැවී ලකුණු 73 (පන්දුවාර 20.3)
හිමාෂ ලියනගේ 26, දුශාන් විමුක්ති 10, ප්‍රභාත් ජයසූරිය 4/8, අකිල ධනංජය 4/16, සහන් ආරච්චිගේ 2/21.

Match Highlights