කුසල්ගේ නොදැවුණු ඉනිම මාතලේට ජය ගෙනෙයි

380
SLC Inter District Cricket Tournament

දේශීය ක්‍රිකට් තරු එකිනෙක ගැටෙන අන්තර් දිස්ත්‍රික් එක්දින තරගාවලියේ උණුසුම අදත් (24) ක්‍රීඩාංගණ දෙකක දී පැතිරී ගියේය. එහි දී මාතර දිස්ත්‍රික්කය කඩුලු 6කින් හම්බන්තොට දිස්ත්‍රික්කය පරාජය කිරීමට සමත් වූ අතර මාතලේ දිස්ත්‍රික්කය, නුවරඑළිය දිස්ත්‍රික්කය හමුවේ කඩුලු 5ක ජයක් ලැබීමට සමත් විය.

ජයසිංහ ගෙන ආ ජයග්‍රහණය

විවිධ බාධා මැදින් වුවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් – දිස්ත්‍රික් එක්දින තරගාවලියේ තවත් තරඟයක්…

මාතර සහ හම්බන්තොට අතර තරගය

හම්බන්තොට දිස්ත්‍රික් නායක මනෝජ් දේශප්‍රිය කාසියේ වාසිය දිනාගෙන ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළ නමුත් මාතර දිස්ත්‍රික් වේග පන්දු බල ඇණිය හමුවේ එය එතරම් පහසු නොවීය. තවමත් 19 හැවිරිදි වියේ පසුවන නාලන්ද විද්‍යාලයේ හිටපු වේග පන්දු යවන ක්‍රීඩකයෙකු වන මාලිංග අමරසිංහ වේලාසනින්ම හම්බන්තොට කඩුලු 3ක් බිඳ හෙළමින් මාතර දිස්ත්‍රික්කයට ජය මාවත විවර කර දීමට සමත් විය.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ කඩුලු 4ක්ම ලකුණු 7ක් තුළ දී බිඳ වැටුනු අතර අවසානයේ ඔවුන්ට සිදුවූයේ පන්දුවාර 26යි පන්දු 4ක් අවසානයේ ලකුණු 84කට දැවී යන්නටයි. ශෙනාල් සිල්වා හම්බන්තොට ඉනිම වෙනුවෙන් රැස්කල ලකුණු 30 එම ඉනිමේ වාර්තා වූ වැඩිම ලකුණු සංඛ්‍යාව බවට පත්විය.

මාතර දිස්ත්‍රික්කයේ කැපී පෙනෙන පන්දු යවන්නා බවට පත්වූ මාලිංග අමරසිංහ ලකුණු 17කට කඩුලු 3ක් බිඳ හෙළමින් සිය දක්ෂතා දැක්විය. මීට අමතරව දුෂ්මන්ත චමීර ද කඩුලු 2ක් බිඳ හෙලමින් මාලිංගට සහාය විය.

ලකුණු 85ක පහසු ඉලක්කයක් හඹා ගිය මාතර දිස්ත්‍රික්කය මුල සිටම ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වෙමින් පන්දුවාර 16ක් ගතවීමටත් පෙර තම ජයග්‍රහණය තහවුරු කර ගැනීමට සමත් විය. වමත් කඩුලු රකින ක්‍රීඩක සඳුන් වීරක්කොඩි සහ ළහිරු උදාර පන්දුවාර 3ක් ගතවෙද්දී මාතර ලකුණු පුවරුව ලකුණු 30ක් දක්වා ගෙන ආහ. වීරක්කොඩි ඉක්මනින් ලකුණු 21ක් වාර්තා කරද්දී ත්‍රිත්ව විද්‍යාලයීය නායක ශැනොගීත් ශම්මුගනාදන් ලකුණු 19ක් රැස් කරමින් මාතර දිස්ත්‍රික්කයට කඩුලු 6ක පහසු ජයක් අත්කර දුන්නේය.

හම්බන්තොට – සියල්ලන්ම දැවී ලකුණු 84 (පන්දුවාර 26.1) ශෙනාල් සිල්වා 30, මාලිංග අමරසිංහ 3/17, දුෂ්මන්ත චමීර 2/19.

මාතර – කඩුලු 4ක් දැවී ලකුණු 85 (පන්දුවාර 15.4) සඳුන් වීරක්කොඩි 21, ශැනොගීත් ශම්මුගනාදන්  19.


නුවරඑළිය සහ මාතලේ අතර තරගය

නුවරඑළිය දිස්ත්‍රික්කයේ නායකත්වය හොබවන පබසර වඩුගේ කාසියේ වාසිය දිනාගෙන මුලින්ම පන්දුවට පහර දීමට තීරණය කළ නමුත් ඔවුන්ට පන්දුවාර 43ක් ගතවන විට සියල්ලන්ම දැවී රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 184ක් පමණි. කෙසේ වෙතත් වමත් ප්‍රවේගකාරී පිතිකරු රුවිඳු ගුණසේකර ලකුණු 30ක් වාර්තා කිරීමට සමත් වූ අතර ඉනිමේ වැඩිම ලකුණු ලාභියා ලෙස ප්‍රිමෝෂ් පෙරේරා ලකුණු 35ක් රැස්කර ගත්තේය. මාතලේ දිස්ත්‍රික්කය වෙනුවෙන් කල්හාර පීරිස්ගේ පන්දු යැවීම කැපී පෙනුනු අතර ලකුණු 25ක් පමණක් ප්‍රතිවාදීන්ට ලබාදී ඔහු කඩුලු 5ක්ම බිඳ හෙලීමට සමත් විය.

කෙසේවෙතත් මෙම ඉලක්කය හඹා ගිය මාතලේ දිස්ත්‍රික්කයට සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට නොහැකි වූ අතර රුවිඳු ගුණසේකර වේලාසනින්ම කඩුලු 3ක් බිඳ හෙලමින් නුවරඑළිය දිස්ත්‍රික්කයට යම් බලාපොරොත්තුවක් ගෙන දුන්නේය. නමුත් පස්වැනි කඩුල්ල වෙනුවෙන් පිටියේ එක්වුණු සමීර සඳමාල් සහ කුසල් එදුසූරිය ලකුණු 84ක සාර්ථක සබඳතාවයක් ගොඩ නගමින් මාතලේ දිස්ත්‍රික්කයට ජය මාවත පෙන්වීමට සමත් වූහ.

දකුණත් පිතිකරු කුසල් එදුසූරිය නොදැවී ලකුණු 90ක් රැස්කර ගත් අතර එයට හතරේ පහර 11ක් සහ එක් හයේ පහරක් අන්තර්ගත විය. ඔහුගේ මෙම සාර්ථක පිතිකරණය නිසාම මාතලේ දිස්ත්‍රික්කයට පන්දුවාර 36යි පන්දු 5ක් ගතවෙද්දී කඩුලු 5ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසුකර යාමට හැකිවිය.

නුවර එළිය – සියල්ලන්ම දැවී ලකුණු 184 (පන්දුවාර 43) ප්‍රිමෝෂ් පෙරේරා 35, රුවිඳු ගුණසේකර 30, ශානුක දුලාජ් 29, නිලංක සඳකැන් 23, කල්හාර පීරිස් 5/25.

මාතලේ – කඩුලු 5ක් දැවී 185 (පන්දුවාර 36.5) කුසල් එදුසූරිය 90*, සමීර සඳමාල් 31, රුවිඳු ගුණසේකර 3/44, සචිත්‍රපෙරේරා 2/54.

  තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට