දේශීය ක්‍රිකට් පිටිය උණුසුම් කරවන ශ්‍රී ලංකා ක්‍රිකට් අන්තර් දිස්ත්‍රික් එක්දින තරගාවලිය අද (22) ක්‍රීඩාංගන 7කදී ක්‍රියාත්මක විය. දිවයිනේ දිස්ත්‍රික්ක 24ක් එකම ශූරතාවයක් උදෙසා සටන් වදින මෙම දැවැන්ත තරගාවලියේ අද දිනයේ තම දිස්ත්‍රික්කය ජයග්‍රහණය කරා කැටුව ගිය ප්‍රමුඛයින් බවට පත්වන්නට ටී. එම්. සම්පත්, සංජික රිද්ම සහ උදාර ජයසුන්දර වැනි ක්‍රීඩකයන් සමත් වූහ.

මඩකලපුව සහ අම්පාර අතර තරගය

ටී. එම්. සම්පත්ගේ සුපිරි තුන් ඉරියව් දක්ෂතා වලින් පෝෂණය වූ මඩකලපුව දිස්ත්‍රික්කය මෙම තරගයෙන් ලකුණු 83ක පහසු ජයක් හිමිකර ගන්නට සමත් වූයේ ප්‍රතිවාදී අම්පාර දිස්ත්‍රික්කය පරාජය කරමිනි. අම්පාර දිස්ත්‍රික් කණ්ඩායමේ ආරාධනයෙන් ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් මඩකලපුව කණ්ඩායම ලකුණු 290ක් රැස් කරගත් අතර ඉන් ලකුණු 126ක්ම ටී. එම්. සම්පත්ගේ පිතිහරඹ දස්කම්ය.

එතකින් නොනැවතුනු ඔහු පන්දුවෙන් කඩුලු 2ක් දවා ගනිමින් අම්පාර දිස්ත්‍රික් පිතිකරුවන් ලකුණු 207කට සීමා කිරීමට උපකාරී විය. තරගය පැවැත්වුනේ කොළඹ BRC පිටියේදීයි.

මඩකලපුව – සියල්ලන්ම දැවී ලකුණු 290 (පන්දුවාර 50)
ටී. එම්. සම්පත් 126, රුමේෂ් බුද්ධික 34, භානුක රාජපක්ෂ 32, ඇන්ඩි සොලමන්ස් 29, චානක විජේසිංහ 27, හශේන් රාමනායක 20, අලංකාර අසංක 3/38, සාලිය සමන් 3/64.

අම්පාර – සියල්ලන්ම දැවී ලකුණු 207 (පන්දුවාර 36.4)
සාලිය සමන් 65, අලංකාර අසංක 46, විශ්ව විජේරත්න 29, මතීෂ පෙරේරා 23, ඇන්ඩි සොලමන්ස් 2/16, ටී. එම්. සම්පත් 2/24, භානුක රාජපක්ෂ 2/26, හශේන් රාමනායක 2/42.


පුත්තලම සහ කෑගල්ල අතර තරගය

පිට පිටම ශතක වාර්තා කරමින් කෑගල්ල දිස්ත්‍රික්කය ජයග්‍රහණය කරා රැගෙන ගිය කුසල් පෙරේරාගේ දායකත්වය නොමැති වුවද අද තරගයෙන් කඩුලු 3ක ජයක් වාර්තා කරගන්නට කෑගල්ල කණ්ඩායම සමත් විය. ප්‍රතිවාදී පුත්තලම කණ්ඩායම කාසියේ වාසිය දිනාගෙන නියමිත පන්දුවාර 50 අවසානයේදී ලබාගත් ලකුණු 252ක ඉලක්කය හඹායාමට කෑගල්ල කණ්ඩායමේ සදීර සමරවික්‍රම ලබාගත් ලකුණු 74 බෙහෙවින් උපකාරී වූ අතර පන්දු යවන්නෙකු ලෙස ප්‍රසිද්ධ නිසල තාරක (49*) සහ ප්‍රියමාල් පෙරේරා (38*) තරග අවසානය තෙක්ම කඩුලු ආරක්ෂා කර ගනිමින් තම කණ්ඩායමේ ජයග්‍රහණය ස්ථිර කළහ.

කෙසේවෙතත් පුත්තලම කණ්ඩායමේ තික්ෂිල ද සිල්වා පිත්තෙන් ලකුණු 59ක් ලබාගනිමින් සහ පන්දුවෙන් කඩුලු 2ක් බිඳ හෙලමින් දැක්වූ තුන් ඉරියව් දක්ෂතා කෑගලු ජයත් සමග ඵල රහිත විය. තරගය කොළඹ කෝල්ට්ස් පිටියේදී පැවැත්විණ.

පුත්තලම – කඩුලු 8ක් දැවී 252 (පන්දුවාර 50)
තික්ෂිල ද සිල්වා 59, ඉසුරු උදාන 55, රුක්ෂාන් ප්‍රනාන්දු 39*, ඉශාන් ජයරත්න 3/46, නුවන් කුලසේකර 2/36

කෑගල්ල – කඩුලු 7ක් දැවී ලකුණු 256 (පන්දුවාර 43.2)
සදීර සමරවික්‍රම 74, නිසල තාරක 49*, ප්‍රියමාල් පෙරේරා 38*, අවිශ්ක ප්‍රනාන්දු 27, අසිත ප්‍රනාන්දු 2/25, ශෙහාන් ජයසූරිය 2/36, තික්ෂිල ද සිල්වා 2/53.


බදුල්ල සහ රත්නපුර අතර තරගය

බදුල්ල දිස්ත්‍රික්කයට මෙම තරගයෙන් ලකුණු 35ක ජයක් හිමිකර දීම සඳහා වැඩි වශයෙන්ම ආධාර වූයේ සංජික රිද්ම දැක්වූ තුන් ඉරියව් දක්ෂතායි. ඔහු නොදැවී ලකුණු 51ක් රැස් කර ගනිමින් බදුලු ඉනිම ලකුණු 237ක් දක්වා ඉහළ නංවන්නට උපකාරී වූ අතර පන්දුවෙන් කඩුලු 3ක් බිඳ දමමින් රත්නපුර ඉනිම ලකුණු 202කට සීමා කළේය.

ඔහුට අමතරව ලකුණු 60ක් රැස් කරගත් හිමාෂ ලියනගේ ද, කඩුලු 3ක් බිඳ හෙලූ සීක්කුගේ ප්‍රසන්නද මෙම තරගයේ බදුල්ල දිස්ත්‍රික්කය වෙනුවෙන් ඉහළ දක්ෂතා දැක්වූ ක්‍රීඩකයින් ලෙස කැපී පෙනුණි. කොළඹ SSC පිටියේදී පැවති මෙම තරගයේ කාසියේ වාසිය හිමිවූයේද බදුල්ල දිස්ත්‍රික්කයටයි.

බදුල්ල – සියල්ලන්ම දැවී ලකුණු 237 (පන්දුවාර 49.2)
හිමාෂ ලියනගේ 60, සංජික රිද්ම 51*, ජනක පෙරේරා 27, ජනිත් ද සිල්වා 26, අජන්ත මෙන්ඩිස් 21, ශිරාන් ප්‍රනාන්දු 4/40, චරිත් ප්‍රනාන්දු 2/34, නවීන් කවිකාඔර 2/41.

රත්නපුර – සියල්ලන්ම දැවී ලකුණු 202 (පන්දුවාර 46.4)
සජිත් දිසානායක 46, දමිත් ප්‍රියදර්ශන 44, චරිත් ප්‍රනාන්දු 21*, සීක්කුගේ ප්‍රසන්න 3/42, සංජික රිද්ම 3/43, ජනක පෙරේරා 2/14.


කළුතර සහ කොළඹ අතර තරගය

කටුනායකදී පැවැත්වුණු  මෙම තරගය කඩුලු 7කින් ජයගත් කොළඹ දිස්ත්‍රික්කය තරගාවලිය තුළදී දෙවරක්ම ප්‍රතිවාදී කළුතර දිස්ත්‍රික්කය පරාජය කිරීමට සමත් විය. කොළඹ දිස්ත්‍රික්කයේ ඇරයුමෙන් ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් කළුතර පිතිකරුවන්ගේ ඉනිම ලකුණු 167කට සීමාවුනු අතර වනිඳු හසරංග (5/22) සහ විශ්ව ප්‍රනාන්දු (3/38) කළුතර කණ්ඩායමේ කඩුලු 8ක්ම බිඳ හෙළීමට සමත් වූහ.

පිළිතුරු ඉනිමේදී රොන් චන්ද්‍රගුප්ත (70*) සහ අශාන් ප්‍රියන්ජන් (34*) සාර්ථක ලෙස පන්දුවට පහර දෙමින් කොළඹ දිස්ත්‍රික්කයට තම ජයග්‍රාහී කඩයිම පසුකර යාමට සවියක් වූහ. ඒ සඳහා වැයවූයේ පන්දුවාර 33ක් සහ එක් පන්දුවක් පමණි.

කළුතර – සියල්ලන්ම දැවී ලකුණු 167 (පන්දුවාර 36.5)
ලසිත් ප්‍රනාන්දු 35, මාධව ප්‍රනාන්දු 30, හසන්ත ප්‍රනාන්දු 29, වනිඳු හසරංග 5/22, විශ්ව ප්‍රනාන්දු 3/38.

කොළඹ – කඩුලු 3ක් දැවී ලකුණු 171 (පන්දුවාර 33.1)
රොන් චන්ද්‍රගුප්ත 70*, අශාන් ප්‍රියන්ජන් 34*, මාධව වර්ණපුර 33, මලිඳු මධුරංග 23, ගයාන් සිරිසෝම 3/58.


කිලිනොච්චිය සහ යාපනය අතර තරගය

කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පන්දුවට පහර දීමේ දුර්වලතාවය නිසාම අඩු ලකුණු තරගයක් බවට පත්වූ මෙම තරගයේ ජයග්‍රහණය යාපනය දිස්ත්‍රික්කයට කඩුලු 7කින් හිමිවිය. කාසියේ වාසිය දිනාගත් කිලිනොච්චි කණ්ඩායම මුලින් පන්දුවට පහර දෙමින් ලකුණු 157කට දැවී ගිය අතර ඉනිමේ සාර්ථක එකම පිතිකරු ලෙස සංගීත් කුරේ ලකුණු 81ක් රැස් කළේය. රමිත් රඹුක්වැල්ල කඩුලු 3යි.

අදාළ ඉලක්කය පසුකර යාමට පන්දුවාර 27යි එක් පන්දුවක් පමණක් වැයකල යාපනය දිස්ත්‍රික්කය වෙනුවෙන් සාර්ථක පිතිකරණයක යෙදීමට තරංග පරණවිතාන (79*) සමත් විය. තරගය කොළඹ පී. සරා ඕවල් පිටියේදී ක්‍රියාත්මක විය.

කිලිනොච්චිය – සියල්ලන්ම දැවී ලකුණු 157 (පන්දුවාර 43)
සංගීත් කුරේ 81, රමිත් රඹුක්වැල්ල 3/18, ප්‍රවීන් මධුසංක 2/14, ජීවන් මෙන්ඩිස් 2/28, චාමික කරුණාරත්න 2/37.

යාපනය – කඩුලු 3ක් දැවී ලකුණු 158 (පන්දුවාර 27.1)
තරංග පරණවිතාන 79*, විනුක් වික්‍රමනායක 38, සිතාර ගිම්හාන් 32.


අනුරාධපුරය සහ මන්නාරම අතර තරගය

කාසියේ වාසිය දිනාගත් මන්නාරම දිස්ත්‍රික්කයේ ආරාධනයෙන් මුලින් පන්දුවට පහර දුන් අනුරාධපුර දිස්ත්‍රික්කය ලකුණු 170කදී සියලු කඩුලු අහිමිකර ගත්හ. ඉනිමේ එකම අර්ධ ශතක ලාභියා ලෙස අදීශ නානායක්කාර ලකුණු 54ක් රැස් කරද්දී උදිත් මධුශාන් කඩුලු 3කට හිමිකම් කීවේය. පන්දුවෙන් අනුරාධපුර කණ්ඩායමේ කඩුලු 2ක් බිඳ හෙලූ උදාර ජයසුන්දර සිය පිත්තෙන් අගනා ලකුණු 94ක් රැස්කර ගනිමින් මන්නාරම දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය මුද්‍රා තැබීය.

මෙම තරගාවලිය පුරාවට සාර්ථක පිතිකරුවෙකු බවට පත්ව සිටින උදාර ජයසුන්දරට අද තම පෞද්ගලික ශතකය අහිමි වී ගියද මන්නාරම දිස්ත්‍රික්කයට කඩුලු 8ක ජයක් හිමිකර දීමට ඔහුගේ විශිෂ්ට දක්ෂතා මනා පිටිවහලක් බවට පත්විය. තරගය පැවැත්වුනේ කොළඹ NCC පිටියේදීයි.

අනුරාධපුරය – සියල්ලන්ම දැවී ලකුණු 170 (පන්දුවාර 43.2)
අදීශ නානායක්කාර 54, නිපුන් කරුණානායක 29, අකීල් ඉන්හම් 23, උදිත් මධුශාන් 3/32, උදාර ජයසුන්දර 2/19, අමිල අපොන්සු 2/30, සහන් නානායක්කාර 2/44.

මන්නාරම – කඩුලු 2ක් දැවී ලකුණු 171 (පන්දුවාර 36.1)
උදාර ජයසුන්දර 94, ලහිරු මිලන්ත 53.


ගාල්ල සහ මාතර අතර තරගය

දැවැන්ත හයේ පහරකින් මාතර දිස්ත්‍රික්කයට ජයග්‍රහණය හිමිවූ මෙම තරගය පනාගොඩ යුධ හමුදා පිටියේදී ක්‍රියාත්මක විය. කාසියේ වාසිය දිනාගත් මාතර දිස්ත්‍රික්කයේ ඇරයුමෙන් මුලින් පන්දුවට පහර දුන් ගාල්ල දිස්ත්‍රික්කයට රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 130ක් පමණි. ගාලු ඉනිම බිඳ දැමූ අරවින්ද අකුරුගොඩ සහ ශම්මුගනාදන් ශැනොගීත් කඩුලු 3 බැගින් දවා ගැනීමට සමත් වූහ.

මෙම ඉලක්කය හඹා යෑමට ප්‍රතිවාදී මාතර දිස්ත්‍රික්කයට වැයවුනේ පන්දුවාර 17යි පන්දු 3ක් පමණි. ළහිරු උදාර (54*) සහ ඇන්ජෙලෝ පෙරේරා (42*) නොදැවී තම දිස්ත්‍රික්කයේ ජය තහවුරු කරද්දී දැවී ගිය එකම පිතිකරුවා ලෙස ශම්මුගනාදන් ශැනොගීත් ලකුණු 29ක් රැස් කළේය.

ගාල්ල – සියල්ලන්ම දැවී ලකුණු 130 (පන්දුවාර 27.1)
මින්හාජ් ජලීල් 32, දිල්හාන් කුරේ 20, අරවින්ද අකුරුගොඩ 3/10, ශම්මුගනාදන් ශැනොගීත් 3/29, ෆර්වීස් මහරූෆ් 2/20.

මාතර – එක් කඩුල්ලක් දැවී ලකුණු 136 (පන්දුවාර 17.3)
ලහිරු උදාර 54*, ඇන්ජෙලෝ පෙරේරා 42*,
ශම්මුගනාදන් ශැනොගීත් 29.

Match Highlights