ඉදිරියේ දී පැවැත්වෙන කොදෙව් ටෙස්ට් තරග සංචාරය ඇතුළු ටෙස්ට් තරග සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට අවශ්‍ය දක්ෂයින් සොයා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලැබූ සුපිරි පළාත් සිව්දින ක්‍රිකට් තරගාවලිය පසුගිය දා නිමා වුයේ ගාල්ල කණ්ඩායමට සමස්ත ශූරතාවය දිනා ගනිමිනි.

එම ක්‍රිකට් තරගාවලියේ දී පිතිකරණ අංශයෙන් හා පන්දු යැවීමේ අංශයෙන් විශිෂ්ට දස්කම් දැක්වූ ක්‍රීඩකයින් කිහිප දෙනෙකුගේ දස්කම් පිළිබඳව අවධානය යොමු කරමු.

ගාලු ක්‍රීඩකයෝ සුපිරි හතරේ ශූරතාවය දිනති

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් පළාත් සුපිරි ක්‍රිකට් තරගාවලිය අද (24) නිමා වූයේ..

වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවන්

රොෂේන් සිල්වා (ගාල්ල)

ශූරතාවය දිනාගත් ගාල්ල කණ්ඩායම් වෙනුවෙන් වැදගත් මෙහෙයක් ඉටු කළ පිතිකරුවෙකු ලෙස රොෂේන් සිල්වා හැඳින්වීමට හැකිය.

ඔහු මෙවර තරගාවලිය තුළ ගාල්ල කණ්ඩායම නියෝජනය කරමින් තරග 3කට සහභාගී වී ඉනිම 5ක් සඳහා පිතිකරුවෙක් ලෙස ක්‍රීඩා කළේය. එම ඉනිම පහේ දී ලකුණු 535ක් ඔහු විසින් ලබා ගත්තේ වෙනත් කිසිදු පිතිකරුවෙක් හට තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා ලෙස වැජඹීමට අවස්ථාව නොදෙමිනි.

එම ලකුණු ප්‍රමාණය රැස්කර ගැනීමට රොෂේන් වර්ණවත් 4 පහර 48ක් හා මනරම් 6 පහර 3ක් අන්තර්ගත කර ගන්නා ලදි. ඔහුගේ පිතිකරණය එතරම් සාර්ථකය. නොදැවී ලකුණු 231*ක් ලබා ගැනීම මෙම තරගාවලිය තුළ රොෂේන් ලබාගත් වැඩිම ලකුණු ප්‍රමාණයයි. එම ලකුණු ප්‍රමාණය ලබා ගත්තේ දිනේෂ් චන්දිමාල් නායකත්වය දරණ කොළඹ කණ්ඩායමට එරෙහිවයි.

මරදාන සාන්ත ජෝසප් විද්‍යාලයෙන් ක්‍රිකට් ක්‍රීඩාවට පිවිසි දකුණතින් පිත්ත හසුරුවන රොෂේන් කොළඹ කණ්ඩායම වෙනුවෙන් ලබාගත් නොදැවුණු ද්විත්ව ශතකයට අමතරව තවත් ශතක දෙකක් හා එක් අර්ධ ශතකයක් ලබා ගැනීමට සමත් විය. මෙම තරගාවලියේ ඔහුගේ ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යය 178.33ක් වැනි ඉහළ අගයක පැවතුණි.

@ ශ්‍රී ලංකා ක්‍රිකට්

නිරෝෂන් දික්වැල්ල (මහනුවර)

මහනුවර කණ්ඩායමේ උපනායකයා ලෙස මෙන්ම කඩුලු රකින ක්‍රීඩකයා ලෙස ක්‍රීඩා කළ නිරෝෂන් දික්වැල්ල තරග 2ක දී මහනුවර කණ්ඩායමේ නායකත්වය දැරුවේ නිත්‍ය නායක ඇන්ජලෝ මැතිව්ස් ක්‍රීඩා නොකිරීම නිසාවෙනි.

තරග තුනකට සහභාගී වෙමින් ඉනිම හයක පිතිකරණයේ නිරත වූ වමතින් පිත්ත හසුරුවන දික්වැල්ල මෙම තරගාවලිය තුළ ලකුණු 315ක් රැස්කර ගත්තේය. ඔහුගේ ලකුණු රැස්කර ගැනීමේ සාමාන්‍යය ලකුණු 105කි. එසේම ඔහුගේ ප්‍රහාරාත්මක වේගය 75.90ක් වන අතර එක් ශතකයකින් හා අර්ධ ශතක දෙකකින් ඔහුගේ ඉනිම් කිහිපය වර්ණවත් කර ගැනීමට දික්වැල්ල සමත් විය. එම ලකුණු රැස්කර ගැනීම සඳහා 4 පහර 28ක් දික්වැල්ලගේ පිත්තෙන් වාර්තා විය.

මහේල උඩවත්ත (මහනුවර)

වමතින් පිත්ත හසුරුවන මහේල උඩවත්ත එන්. සී. සී. ක්‍රිකට් සමාජයේ ක්‍රීඩකයෙකු වන අතර තරගාවලියේ දී නියෝජනය කළේ මහනුවර කණ්ඩායමයි.

උඩවත්ත මෙම තරගාවලියේ ඉනිම තුනක් සඳහා පිතිකරණයෙන් දායක වූ අතර එහි දී ඔහු එක් ශතකයක් හා අර්ධ  ශතකයක් සමඟින් ලකුණු 283ක් ලබා ගත්තේ ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යය ලකුණු 56.60ක් ලෙස සටහන් කරමිනි. එම ලකුණුවලට 4 පහර 39ක් ඇතුලත් වේ.

පසුගිය දා නිමාවූ දේශීය ප්‍රිමියර් ලීග් අන්තර් සමාජ සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ දී පිතිකරණයෙන් දස්කම් දැක්වූ උඩවත්ත එම තරගාවලියේ දී ද ලකුණු 376ක් ලබා ගනිමින් වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවන් අතර තෙවැන්නා බවට පත් විය.

>> සීමිත පන්දුවාර තරගාවලියේ පන්දුවෙන්, පිත්තෙන් වැඩ පෙන්වූ දක්ෂයෝ

අශාන් ප්‍රියන්ජන් (දඹුල්ල)

දඹුල්ල කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවා වන අශාන් ප්‍රියන්ජන් මෙවර තරගාවලිය තුළ ලකුණු 282ක් ලබා ගනිමින් පිතිකරුවන් ලැයිස්තුවේ සිව්වැනි ස්ථානය දිනා ගත්තේ ඉනිම් 6කට දායක වෙමිනි.

4 පහර 33ක් සමඟින් එම ලකුණු ප්‍රමාණය ලබාගත් ප්‍රියන්ජන් මෙවර තරගාවලිය තුළ එක් ශතකයක් (මහනුවරට එදිරිව) හා අර්ධ ශතකයක් (ගාල්ලට එදිරිව) රැස් කිරීමට සමත් විය. මහනුවර කණ්ඩායමට එරෙහිව ලබාගත් ලකුණු 156 මෙවර තරග වාරය තුළ ප්‍රියන්ජන් එක් ඉනිමක දී ලබාගත් වැඩිම ලකුණු ප්‍රමාණය ලෙස දත්ත වාර්තාවල සටහන් වී ඇත.

@ශ්‍රී ලංකා ක්‍රිකට්
වැඩිම කඩුලු ප්‍රමාණයක් දවාගත් පන්දු යවන්නන්

නිසල තාරක (ගාල්ල)

නිසල තාරක ගමගේ යන නම ඔබට එතරම් හුරුපුරුදු නොවූවත් දේශීය ක්‍රිකට් තරගාවලි තුළ නිසල ඉතාමත් ජනප්‍රිය හා දක්ෂ චරිතයකි. වයස අවුරුදු 27ක් වන නිසල ගාල්ල මහින්ද විද්‍යාලයෙන් ක්‍රිකට් ක්‍රීඩාවට පැමිණි දකුණතින් මඳ වේගපන්දු යවන්නෙකි.

කොල්ට්ස් ක්‍රිකට් සමාජය තුළ දැක්වූ දස්කම් නිසා ඔහු සුපිරි පළාත් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ගාල්ල කණ්ඩායම නියෝජනය කිරීමට වරම් දිනා ගත්තේය. තවමත් එකදු තරගයක් සඳහා හෝ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කිරීමට වරමක් නොලද නිසල, මෙවර තරග වාරය තුළ ඉනිම 5ක දී පන්දු යවමින් කඩුලු 11ක් දවා ගැනීමට සමත් වී ඇත. එහි දී ඔහු ප්‍රතිවාදී පිතිකරුවන්ට ලබා දී ඇත්තේ ලකුණු 269ක් පමණි.

එක් පන්දුවාරයක් තුළ දල වශයෙන් ලකුණු 4.15ක් ලබා දුන් නිසල දඹුල්ල කණ්ඩායමට එරෙහිව එක් ඉනිමක් තුළ කඩුලු 5ක් දවා ගැනීමට ද සමත් විය. මෙම තරගාවලියේ දැක්වූ දස්කම් නිසා නිසල එළඹෙන කොදෙව් තරග සංචාරය වෙනුවෙන් නම් කරනු ලබන ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් සංචිතයට ඇතුලත් වීමට වැඩි ඉඩකඩක් ඇත.

ලහිරු ගමගේ (දඹුල්ල)

දකුණතින් මඳ වේගපන්දු යවන ලහිරු ගමගේ සුපිරි පළාත් සිව්දින ක්‍රිකට් තරගාවලියේ දී සහභාගී වූයේ තරග දෙකකට පමණක් වුවත්, ඔහු එම තරග දෙක තුළ දී කඩුලු 10ක් දවා ගැනීමට සමත් වූයේ තරගාවලිය තුළ වැඩිම කඩුලු දවා ගත් පන්දු යවන්නන්ගේ ලැයිස්තුවේ දෙවන ස්ථානය දිනා ගනිමිනි.

පන්දුවාර 53යි එක් පන්දුවක් එම ඉනිම් 3 තුළ යොමු කළ ගමගේ සිය පන්දු හමුවේ ප්‍රතිවාදී පිතිකරුවන්ට ලබා දී ඇත්තේ ලකුණු 169ක් පමණි.

ලකුණු 71කට කඩුලු 5ක් දවා ගැනීම එක් ඉනිමක් තුළ ඔහු යැවූ හොඳම පන්දු යැවීම ලෙස සටහන් වී ඇත. එක් ඉනිමක දී කඩුලු පහක් දවාලු අවස්ථාවන් දෙකක් ලබා ගත් ගමගේ එක් පන්දුවාරයකට දළ වශයෙන් ලකුණු 3.17ක් පමණ පිතිකරුවන්ට ලබා දී ඇත.

>> ගමගේ, උදාන සහ රජිතගෙන් වැඩි දස්කම්

කසුන් රාජිත (මහනුවර)

මාතර සාන්ත සර්වේසස් විද්‍යාලයේ ආදි සිසුවෙක් වන කසුන් රාජිත බ්ලුම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජයේ දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයෙකි.

සුපිරි පළාත් සිව්දින ක්‍රිකට් තරගාවලියේ දී මහනුවර කණ්ඩායම නියෝජනය කරන ලද රාජිත තරග දෙකක් සඳහා සහභාගී වී කඩුලු 10 දවා ගත්තේ 20.50ක කඩුලු දවා ගැනීමේ සාමාන්‍යයක් රඳවා ගනිමිනි.

රාජිත මෙම තරගාවලිය තුළ පන්දුවාර 53ක් ක්‍රියාත්මක කර ඇති අතර එම පන්දුවාර ප්‍රමාණය තුළ ලකුණු 205ක් ප්‍රතිවාදී කණ්ඩායම් වෙත ලබා දී ඇත. ඒ නිසා ඔහුගේ එක් පන්දුවාරයකට ලබා දී ඇති ලකුණු ප්‍රමාණය දල වශයෙන් ලකුණු 3.68ක් පමණ වේ.

2018 සුපිරි පළාත් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය ගාල්ල කණ්ඩායම විසින් දිනා ගන්නා ලදි. මැයි මස 2 වැනිදා ආරම්භ වීමට නියමිත  සුපිරි පළාත් ක්‍රිකට් තරගාවලියේ එක්දින තරගාවලිය අවසානයේ දී ද එම තරගාවලියේ දී දස්කම් දැක්වූ ක්‍රීඩකයින් පිළිබඳව ඔබව දැනුවත් කිරීමට අප සූදානම් රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<