ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනයේ අවිශ්වාස පුද්ගලයන් එළියට?

400

ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනයේ සේවය කරන සියලුම සේවකයන් අතරින් අවිශ්වාස පුද්ගලයන්ව එළියට දමා විශ්වාස පුද්ගලයන් සමග ඉදිරි පරිපාලනය කිරීමට එහි කළමනාකාරීත්වය තීරණය කර ඇතැයි “දිවයින” ට වාර්තා වේ.

ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනයේ සිදුවන ඇතැම් සිදුවීම් පිළිබඳව මාධ්‍ය වාර්තා පළවීම මගින් ශ්‍රී ලංකා ක්‍රිකට්‌ පරිපාලනයට කළු පැල්ලමක්‌ එක්‌වීම වලක්‌වා ගැනීම සඳහා මෙම තීරණය ප්‍රධාන පරිපාලකයන් විසින් සෙසු අංශ ප්‍රධානීන් ගෙන්වා දැනුම් දී තිබේ.

ඒ අනුව ඉදිරියේදී වත්මන් පරිපාලනය අවිශ්වාස කරන සියලුම සේවකයන් ඉවත් කර විශ්වාසවන්ත සේවකයන් පත්කරමින් පරිපාලනය සිදුකරන බව පෙරේදා පැවැති ක්‍රිකට්‌ ආයතනය රැස්‌වීමකදී කළමනාකාරිත්වය විසින් වැඩිදුරටත් අදාළ පාර්ශ්ව දැනුවත් කර තිබේ.

කිසිදු මාධ්‍ය හිතවතකු සමග මින් ඉදිරියට ගනු දෙනු කිරීමෙන් වැලකී සිටින ලෙසත්, අනවශ්‍ය දුරකථන සංවාදවල නොයෙදන ලෙසත් අදාළ රැස්‌වීමේදී වැඩිදුරටත් කළමණාකාරීත්වය දන්වා ඇතැයි වාර්තා වේ.

ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනයේ විධායක සභාවේ බහුතරයක්‌ පවුල් පිටින් එංගලන්තයේ සංචාරයක නිරත වන බවට පසුගියදා මාධ්‍ය විසින් වාර්තා කිරීමත් සමග එම සිදුවීම සහ ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනයේ ස්‌ථාවරය පිළිබඳව ඊයේ රාත්‍රියේදී විශේෂ මාධ්‍ය හමුවක්‌ද පැවැත්විණි.

ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනයේ මාධ්‍ය අංශය, පුහුණු අංශය සහ ලේකම්වරු ඇතුළු විවිධ අංශ සඳහා අලුතින් සේවකයන් කිහිප දෙනකුම පසුගියදා බඳවා ගැනුණ අතර ඉදිරියේදී තවත් කිහිප දෙනෙකු බඳවා ගැනීමට නියමිත බව වැඩිදුරටත් වාර්තා වේ. ඒ අතරතුර විධායක සභාවට අවිශ්වාස පුද්ගලයන්ගේ කොන්ත්‍රාත්තු දික්‌ නොකිරීමටද තීරණය කර තිබේ.

තවත් පුවත් සිංහලෙන් කියවන්න – පිවිසෙන්න