ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සියලු පුහුණු කඳවුරු තහනම්!

1044

ක්‍රිස්තියානි පල්ලි සහ තරු පහේ හෝටල් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු ත්‍රස්තවාදී ප්‍රහාරයත් සමඟ ශ්‍රී ලංකාව තුළ හට ගෙන ඇති අස්ථාවර ආරක්ෂිත තත්ත්වය සලකා බලමින් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වීමට නියමිතව තිබූ සියලුම පුහුණු සැසි අවලංගු කර දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පාලනාධිකාරිය මීට සුළු මොහොතකට පෙර කටයුතු කළේය.

ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතයේ ප්‍රබල වෙනස්කම්

එළඹෙන මැයි මස 30 වැනිදා එංගලන්තයේ දී ආරම්භ වීමට නියමිත 12 වැනි ලෝක ……..

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පිටත්ව යෑමට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම තුන් දින නේවාසික යුද හමුදා පුහුණු සැසියකට සහ රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ දී දින පහක පුහුණු කඳවුරකට සහභාගි වීමට නියමිතව සිටියේය. එහෙත් 359 දෙනෙකුට මරු කැඳවමින් සහ 500කට අධික පිරිසක් තුවාලකරුවන් බවට පත් කරමින් එල්ල වුණු අයි. එස්. ප්‍රහාරය නිසා ඒ සියල්ල අවලංගු කර දැමීමට තීරණය කර තිබේ.

මෙම පුහුණුව අඟහරුවාදා සිට හබරණ, මාදුරු ඔය විශේෂ බළකා පුහුණු කඳවුරේ දී නේවාසිකව පැවැත්වීමට නියමිතව තිබුණි. එය අවසානයේ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඉලක්ක කර ගනිමින් වූ පුහුණු කඳවුර රංගිරි දඹුලු අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිතව තිබුණි. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයින් එකට සිටීම යනු ම්ලේච්ඡ ත්‍රස්තයින්ට එය පහසු ඉලක්කය වන බැවින් එම පුහුණු කඳවුරු සියල්ල අතහැර දැමීමට ඒකමතිකවම තීරණය වී තිබේ.

මේ සම්බන්ධව ThePapare.com වෙත කරුණු දක්වා සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු ප්‍රධානී අසන්ත ද මෙල් මහතා පැවසූවේ, ශ්‍රී ලංකා කණ්ඩායම එකට පුහුණු වීම් සිදු කිරීම යනු ශ්‍රී ලංකාව තුළ සැරි සරන ත්‍රස්තයින්ට එය පහසු ඉලක්කයක් වන බවත්, එම තත්ත්වය සැලකිල්ලට ගනිමින් එම සියලු පුහුණු වීම් අතහැර දැමීමට තීරණය කළ බවයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු ලෙසින් ද කටයුතු කරන අසන්ත මහතා,  “දැන් තියෙන තත්ත්වයත් එක්ක අපේ ළමයින් ගෙවල්වලින් එළියට බහින්නත් බය වෙලයි ඉන්නේ. ආවත් ඔවුන්ට එක හිතකින් පුහුණු වීම් කරන එකත් අමාරුයි. ඒ වගේම තමයි අපේ ටීම් එකේ අය එකට ඉන්නවා කියන්නේ ත්‍රස්තවාදීන්ටත් ලොකු ඉලක්කයක්” යැයි සඳහන් කර සිටියේය.  

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම ලබන මැයි 07 වැනිදා පිටත්ව යෑමට නියමිතව තිබේ. එහෙත් දැන් ඇතිවී තිබෙන අස්ථාවරත්වය තත්ත්වය මත ඊට පෙර ශ්‍රී ලංකාවේ ඇතුළත පුහුණු සැසියකට සහභාගි වීම ද අවදානම් තත්ත්වයකට පත්ව තිබේ.

ඒ පිළිබඳව ද අදහස් දක්වා සිටි ද මෙල් මහතා, “ලෝක කුසලානයට කලින් පුහුණු වීම් කරනව ද නැද්ද කියන එක කියන්න බෑ. මොකද එහෙම අපි කියලා ඒක ත්‍රස්තවාදීන් දැනගත්තොත් ඔවුන්ට ඕන ඉලක්කය අපිම ලබා දුන්නා වගේ වැඩක් වෙනවා. ඔවුන්ටත් ඕන ලෝකෙම අවධානය දිනා ගන්න වැඩ කරන්න. එතන දී ක්‍රිකට් ටීම් එකට ගැහුවා කියන්නේ මුළු ලෝකෙම හෙල්ලෙන වැඩක්. ඒ නිසා ලෝක කුසලානයට පිටත්ව යන්න කලින් අපි ප්‍රැක්ටිස් කරනව ද කියන එක කියන්න බෑ” යැයි මෙල් මහතා පවසයි. මෙම තත්ත්වය මත ශ්‍රී ලංකා කණ්ඩායම කලින්ම එංගලන්තය බලා යන්නේ ද යන්න කරන ලද ප්‍රශ්න කිරීමේ දී, “බෑ. අපිට එහෙම යන්නත් අවස්ථාවක් නෑ. මොකද අපිට එහෙට යන්න වීසා එක ලැබෙන්නේ මැයි මාසෙ 06 වැනිදා. එහෙම ගියත් අපිට පුහුණු වීම් සඳහා කිසිම සූදානමක් කරගන්නත් විදියක් නැති වෙනවා” යැයි ද පවසා සිටියේය.

ලෝක කුසලාන තරගාවලියේ ආරම්භයට සති 3කට ආසන්න කාලයකට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්තය බලා පිටත්ව යන අතර ඒ අතරතුර කාලයේ දී  ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම, ස්කොට්ලන්තය සමඟ එක්දින තරග 2කට සහභාගි වීමට නියමිතව තිබේ. ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා පළමු සටන නවසීලන්තය සමඟ ජුනි මස 01 වැනිදා කාඩිෆ් හිදී පැවැත්වෙනු ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<