ආසියාව ජයග්‍රහණය කරන්නට සැරසෙන ශ්‍රී ලංකා බැඩ්මින්ටන් තරු

343

එළඹෙන 18 වැනිදා ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවර දී ආරම්භ වන ආසියානු ක්‍රීඩා උළෙල සඳහා තරග වදින ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංචිතයට ක්‍රීඩකයින් සිව්දෙනෙකුගෙන් හා ක්‍රීඩිකාවන් දෙදෙනෙකු ඇතුලත් කිරීමට ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සම්මේලනයේ තේරීම් කමිටුව විසින් තීරණය කර ඇත.

2018 ආසියානු ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකාවේ සූදානම කෙසේ ද?

ක්‍රීඩක ක්‍රීඩිකාවන් 185 දෙනෙකුගෙන් යුතු සංචිතයක් 18 වන ආසියානු ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට නියමිත බව වාර්තා වේ.

පිරිමි කණ්ඩායම

මේ කණ්ඩායම සඳහා අත්දැකීම් බහුල ක්‍රීඩකයින් දෙදෙනෙක් හා දක්ෂ තරුණ ක්‍රීඩකයින් දෙදෙනෙක් ද ඇතුලත් කර ඇත. ඒ අතරින් ක්‍රීඩකයින් කිහිප දෙනෙකුම පසුගිය දා නිමා වූ පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ඉතිහාසයේ පෙරළිකාරකම් කිහිපයක්ම සිදුකරන ලදි.

නිලූක කරුණාරත්න

ශ්‍රී ලංකාවේ සිටින දක්ෂ හා අත්දැකීම් බහුල ක්‍රීඩකයෙක් වන නිලූක කරුණාරත්න 2000 වර්ෂයේ දී ඉන්දුනීසියාවේ ජකර්තා නුවර දී පැවති ආසියානු ක්‍රීඩා උළෙලේ දී පළමු වතාවට ශ්‍රී ලංකා බැඩ්මින්ටන් කණ්ඩායම වෙනුවෙන් ජාත්‍යන්තර තරගයක් සඳහා සහභාගී විය.

ශ්‍රී ලංකා ජාතික බැඩ්මින්ටන් ශූරයා වන ඔහු 2002 හා 2010 යන වර්ෂවල දී පැවති ආසියානු ක්‍රීඩා උළෙල වල පිරිමි ඒකල තරග ඉසව්වල දී හොඳම ක්‍රීඩකයින් අවසන් 32 තරග වටය සඳහා ක්‍රීඩා කර ඇති අතර  2012 දී එංගලන්තයේ ලන්ඩන් නුවර දී පැවති ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ දී ඒකල තරග ඉසව්වේ හොඳම 16 දෙනාගේ තරග වටය දක්වා පැමිණීමට සමත්ව ඇත.

දිනූක කරුණාරත්න

නිලූකගේ සොහොයුරා මෙන්ම බැඩ්මින්ටන් පිටියේ දී නිලූකගේ සඟයා වන දිනූක කරුණාරත්න ශ්‍රී ලංකාවේ සිටින අත්දැකීම් බහුලතම පිරිමි බැඩ්මින්ටන් ක්‍රීඩකයෙකි.

ඔවුන් දෙදෙනාම මේ මස 18 වැනිදා ආරම්භ වන ආසියානු ක්‍රීඩා උළෙලේ බැඩ්මින්ටන් තරග ඉසව් සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට අවශ්‍ය සුදුසුකම් ලබාගෙන ඇත. දිනූක නිමා වූ පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ පිරිමි ඒකල තරග ඉසව්ව යටතේ සුපිරි 8 දෙනාගේ තරග ඉසව්ව දක්වා පැමිණීමට සමත්කම් දක්වන ලදි.

එසේම 2006 හා 2010 වර්ෂවල දී පැවති ආසියානු ක්‍රීඩා උළෙලේ වලදී ඒකල පිරිමි තරග ඉසව්වන් දෙකේ දී ම සුපිරි 16 දෙනාගේ තරග වටය දක්වා පැමිණීමට ඔහුට හැකි විය. ඒ දස්කම් නිසා නිලූක ඒකල තරග ඉසව් යටතේ ලොව 279 වැනි ස්ථානය දිනා ගැනීමට සමත් වූ අතර යුගල ඉසව්වල ලොව හොඳම ක්‍රීඩකයින් අතර 187 වැනි තැන දිනා ගැනීමට ඔහුට  අවස්ථාව උදා විය.

සචින් ඩයස්

ශ්‍රී ලංකාවේ දේශීය බැඩ්මින්ටන් පිටිය හා තරුණ ජාත්‍යන්තර බැඩ්මින්ටන් පිටිය ඉතාමත් වේගයෙන් අතික්‍රමණය කළ ක්‍රීඩකයෙක් ලෙස සචින් ඩයස්ව හැඳින්වීමට හැකිය. ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ඉතිහාසයේ වාර්තාවන් කිහිපයක්ම අලුතින් ලියන්නට සමත් වූ ක්‍රීඩකයෙක් බවට පත්වීමට ඔහුට අවස්ථාව ලැබුණේ නිමා වූ පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ පිරිමි යුගල බැඩ්මින්ටන් ඉසව්වේ අවසන් හතර දක්වා පැමිණීමට හැකි වීම නිසයි.

එසේම 2016 දී පැවති දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ දී ඒකල පිරිමි තරග ඉසව්වේ තෙවැනි තැන දිනා ගත් ඩයස් එම තරගාවලියේ යුගල තරග ඉසව්වේ දී ඩයස්, බුවනෙක ගුණතිලක හා එක්ව දෙවන තැන දිනා ගත්තේය. එය ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ඉතිහාසයට මෙන්ම ඔවුන් දෙදෙනාගේ පුද්ගලික ක්‍රීඩා දිවියට ද එය ඉතාමත් වටිනා සංධිස්ථානයක් විය.

“අනාගතය ගැන බයයි. ඒත් ජයග්‍රහණ අපිට බලාපොරොත්තුවක්” – සචින් සහ බුවනෙක

කනිෂ්ඨ ක්‍රීඩකයින් ලෙස ක්‍රීඩා කරන කාලයේ සිට ශ්‍රී ලංකාව ජාත්‍යන්තර තලයේ ඉදිරියට රැගෙන …

බුවනෙක ගුණතිලක

දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ශ්‍රී ලාංකීය බැඩ්මින්ටන් පිටියට පිවිසි බුවනෙක ගුණතිලක සිය පළමු ආසියානු ක්‍රීඩා උළෙල නියෝජනය කිරීමේ අපේක්ෂාවෙන් පසුවේ.

2016 වසරේ දී ඉන්දියාවේ දී පැවති දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ දී කණ්ඩායම් ඉසව්වෙන් දෙවන තැන හා පිරිමි යුගල හා මිශ්‍ර යුගල අංශයේ තෙවැනි තැන දිනා ගැනීම ගුණතිලක 2016 වසරේ දී සිය ක්‍රීඩා දිවියේ හොඳම දස්කම් අතරට පැමිණි වසර ලෙස හැඳින්වීම සඳහා ඇති හොඳම උදාහරණ කිහිපයකි. එසේම ගෝල්ඩ් කෝස්ට් නුවර පැවති 2018 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දී පිරිමි යුගල අංශයේ සිව්වැනි තැන දිනා ගැනීමට ද ඔහු සමත් විය.

කාන්තා කණ්ඩායම

තිලිණි හෙන්දහේවා

2014 වර්ෂයේ දී ස්කොට්ලන්තයේ පැවති පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දී ඇය පළමු වතාවට ශ්‍රී ලංකාව ජාත්‍යන්තර බැඩ්මින්ටන් තරගයක දී නියෝජනය කළ අතර චීනයේ දී පැවති තරුණ ඔලිම්පික් තරගාවලියේ දී ද ඇය ශ්‍රී ලංකාව නියෝජනය කළාය.

චීනයේ දී පැවති තරුණ ඔලිම්පික් තරගාවලියේ දී කාන්තා ඒකල තරග ඉසව්වේ හා මිශ්‍ර යුගල ඉසව්වේ 9 වන තැන දිනා ගත් අතර 2016 වසරේ දී ඉන්දියාවේ පැවති දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ දී රිදී පදක්කම් දිනා ගැනීමට හෙන්දහේවා සමත් වූවාය. ඊට අමතරව පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ මිශ්‍ර යුගල 16 දෙනාගේ තරග වටය දක්වා හා කාන්තා යුගල අංශයේ හොඳම 8 දෙනාගේ තරග වටය දක්වා පැමිණීමට ඇයගේ දස්කම් ප්‍රමාණවත් විය.

බැඩ්මින්ටන් පිටියේ සිය අණසක පතුරවන තිලිණි හෙන්දහේවා.

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් පිටියේ ජාතික ශූරිය ලෙස දශක ගණනාවක් සිය ආධිපත්‍ය පතුරවන්නට චන්ද්‍රිකා ද සිල්වා …

කවිදි සිරිමාන්නගේ

කවිදි සිරිමාන්නගේ ද 2018 ආසියානු ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකා බැඩ්මින්ටන් කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩිකාවන් වන අතර ඇය 2016 වසරේ දී පැවති දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ ඒකල හා මිශ්‍ර යුගල යන අංශයෙන් වලින් ලෝකඩ පදක්කම් දෙකක් දිනාගත්තාය.

එසේම ඕස්ට්‍රේලියාවේ පැවති පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දී මිශ්‍ර යුගල අංශය යටතේ 32 දෙනාගේ තරග වටය දක්වා පැමිණි අතර කාන්තා යුගල තරග ඉසව්වේ  අවසන් පූර්ව වටය දක්වා පැමිණීමට කවිදි සිරිමාන්නගේ සමත් විය.

මේ තරගාවලියේ සියලුම තොරතුරු ඔබේ වෙතට ගෙන ඒමට ThePapare.com සූදානමින් සිටියි. රැඳී සිටින්න ThePapare.com සමඟින්.

*මේ සංචිතය ක්‍රීඩා ඇමතිතුමාගේ අනුමැතිය සඳහා යොමු කර ඇති නමුත් ඒ සඳහා තවමත් එතුමාගේ අනුමැතිය ලැබී නොමැත.

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<