ශ්‍රී ලංකා ‘ඒ’ නායකත්වය සිරිවර්ධනට, සම්මු සහ මිලන්තට කුළුඳුල් කැඳවීම්

1505
- Siriwardana to lead SL A; Sammu and Milantha earn

එළඹෙන ඔක්තෝබර් 24 වනදා දඹුල්ලේදී ඇරඹෙන කොදෙව් ‘ඒ’ කණ්ඩායමට එරෙහි එක්දින තරඟාවලිය සඳහා වන ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ නායකත්වයට මැදපෙල පිතිකරුවෙකු වන මිලින්ද සිරිවර්ධන පත්කර ඇත.

පසුගිය ලිපි: 17 දෙනෙක් කොන්ත්‍රාත්තුවට එකඟ වෙයි

තිස් හැවිරිදි මිලින්ද ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම වෙනුවෙන් එක්දින තරංග 14කට ක්‍රීඩා කර ඇති අතර ඔහු අවසන් වරට ක්‍රීඩා කල තරඟය වන්නේ අගෝස්තු මාසයේදී ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවති ප්‍රථම එක්දින තරඟයයි. ප්‍රවේගකාරී ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක ද එළඹෙන සිම්බාබ්වේ තරංග සංචාරයට එක්වන්නට පෙරාතුව ‘ඒ’ කණ්ඩායමට නම් කොට ඇති අතර කොදෙව්වන්ට එරෙහි අවසන් සිව්දින තරඟයේදී පිළිවෙලින් ලකුණු 79ක් සහ 48ක් වාර්තා කළ වමත් පිතිකරු සඳුන් වීරක්කොඩි ද කණ්ඩායමට කැඳවා ඇත.

සිංගර් වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස සම්මානයට පාත්‍ර වු රිච්මන්ඩ් විද්‍යාලයේ චරිත් අසලංක සිව්දින තරඟ සංචිතයෙන් නොවෙනස්ව තම ස්ථානය රැකගෙන තිබියදී 19න් පහල යොවුන් කණ්ඩායමේදී ඔහුගේ දෙවැනියා ලෙස කටයුතු කළ ආනන්දයේ සම්මු අශාන් ශ්‍රී ලංකා ‘ඒ’ සංචිතයේ නවතම යෞවනයා ලෙස තරඟාවලියට එක්වෙයි.

මීට පෙර පැවති තරඟාවන් හිදී එංගලන්ත ලයන්ස් කණ්ඩායමට එරෙහිව සහ පකිස්තාන ‘ඒ’ කණ්ඩායමට එරෙහිව දැඩි පීඩනයකට ලක්වූ විසිදෙහැවිරිදි කඩුළු රකින ක්‍රීඩක මිනෝද් භානුක ද, හිටපු සාන්ත පීතර විද්‍යාලීය පිතිකරු ලහිරු මිලන්ත ද සංවර්ධන කණ්ඩායම වෙනුවෙන් දැක්වු දක්ෂතා සැලකිල්ලට ගෙන සංචිතයට එක්කර ඇත.

ෂෙහාන් ජයසූරිය සහ දසුන් ශානක පහළොස් දෙනාගේ සංචිතයේ තවදුරටත් රැඳී සිටියදී විශේෂඥ වේග පන්දු යවන්නන් ලෙස බිනුර ප්‍රනාන්දු සහ කසුන් රාජිත සංචිතයේ අසුන් ගන්නේ නවක වේගපන්දු යවන්නන් වන කේෂාන් විජේරත්න සහ අනුක් ප්‍රනාන්දු ද සමඟයි.

කුරුණෑගල මලියදේව විදුහලේ ආදි ශිෂ්‍යයෙකු වන විජේරත්න එල්. බී. ෆිනෑන්ස් කණ්ඩායම වෙනුවෙන් වෙළඳසේවා ක්‍රිකට් තරඟාවලියේදී දස්කම් දැක්වු විලසින්ම සංවර්ධන කණ්ඩායමේ ද, අප්‍රිකානු සහ සිම්බාබ්වේ සංචාරයන් වලදීද දස්කම් දැක්වීය.

පෙර පැවති සීමිත ඕවර තරඟාවලියේදී ඕස්ට්‍රේලියානුවන්ට අභියෝගයක් වූ වමත් දඟපන්දු යවන ක්‍රීඩක අමිල අපෝන්සු ද 2005 දී ප්‍රථම පෙළ වරම් ලබමින් තරඟ 57කදී කඩුළු 37ක් දවාගෙන සිටින අලංකාර අසංක සමඟින් තරඟාවලියට එක්වේ.

එක්දින තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා ‘ඒ’ සංචිතය.

මිලින්ද සිරිවර්ධන (නායක), ධනුෂ්ක ගුණතිලක, සඳුන් වීරක්කොඩි, මිනෝද් භානුක, ෂෙහාන් ජයසුරිය, ලහිරු මිලන්ත, චරිත අසලංක, සම්මු අශාන්, අනුක් ප්‍රනාන්දු, දසුන් ශානක, අමිල අපෝන්සු, අලංකාර අසංක, කසුන් රාජිත, බිනුර ප්‍රනාන්දු, කේෂාන් විජේරත්න.

ප්‍රථම එක්දින තරඟය – ඔක්: 24 වන දින රන්ගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී.
දෙවන එක්දින තරඟය – ඔක්: 27 වන දින කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩාංගනයේදී.
තෙවන එක්දින තරඟය – ඔක්: 30 වන දින කොළඹ ආර්.ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් පිටුවට

Crawler