88 වැනි ජෝන් ටාබට් මලල ක්‍රීඩා උළෙලේ අභිෂේක

1216

ජාතික මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ තිඹිරිගෙය බඳු “ශ්‍රීමත් ජෝන් ටාබට් මලල ක්‍රීඩා තරගාවලිය” 88 වැනි වරටත් පවත්වා අවසන්. තරගාවලියේ ජ්‍යේෂ්ඨ අංශය සඳහා වයස් කාණ්ඩ 3ක් යටතේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී විය. සමස්ත තරගාවලියේ දී නව තරග වාර්තා 23ක් බිහි වූ අතර තරගාවලියේ සමස්ත බාලක ශූරතාවය සාන්ත පීතර විද්‍යාලය විසින් දිනා ගන්නා විට බාලිකා ශූරතාවය වලල ඒ. රත්නායක විද්‍යාලය විසින් දිනා ගන්නා ලදි.

බාලක ශූරතාව සාන්ත පීතර විදුහලට; බාලිකා ශූරතාව වලල ඒ. රත්නායක විදුහලට

88 වන ශ්‍රීමත් ජෝන් ටාබට් මලල ක්‍රීඩා තරගාවලිය අද (21) කොළඹ සුගතදාස ධාවන පථයේ දී සාර්ථකව නිමාවට පත්විය. තරගාවලියේ සමස්ත බාලක…….

තරගාවලිය සඳහා සහභාගී වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා දෙස හැරී බලන විට පෙරට වඩා තරමක් උද්යෝගිමත් මට්ටමේ තරගාවලියක් මෙවර පැවැත්වූ බව සඳහන් කළ යුතුමය. පාසල් මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් තරගාවලිය වෙනුවෙන් සූදානම් වීම හා දෙමාපියන්ගේ ද පෙරට වඩා කැපවීමක් තරගාවලියේ දක්නට ලැබීම ද සතුටට කරුණකි.

උතුරට ගිය රිටි පැනීම

සාමාන්‍යයෙන් රිටි පැනීමේ ඉසව් ගැන සඳහන් කරන විට උතුරු පළාත නිතැතින්ම සිහිවන අතර ශ්‍රී ලංකා කාන්තා රිටි පැනීමේ  ජාතික වාර්තාව පවා උසුලන්නේ උතුරෙන් ජාතික තලයට පිවිසි ක්‍රීඩිකාවක් වන අනීතා ජෙගදීස්වරන් වීම ඊට එක් හේතුවකි.

කෙසේ නමුත් තරගාවලියේ පළමු දිනයේ වාර්තා වූ ජයග්‍රහණ හා තරග වාර්තා අතර ප්‍රථමයෙන්ම 18න් පහළ බාලක රිටි පැනීමේ ඉසව්වේ ද අණසක පතුරවන්නට උතුරු පළාත් ක්‍රීඩකයෝ සමත් වූහ.

තෙල්ලිප්පලෙයි මහජන විද්‍යාලයේ ක්‍රීඩකයින් ඉසව්වේ සියලුම පදක්කම් උතුරට රැගෙන ගියේ සෙසු පළාත්වල ක්‍රීඩකයින්ට පදක්කමක් සිහිනයක් කරමිනි. එස්. සුහෙර්දන් හා  එස්. ජම්සන් ක්‍රීඩකයින් මීටර් 4.00ක දක්ෂතාවයක් වාර්තා කරමින් ද, ඒ. ජිනොයන් මීටර් 3.60ක දක්ෂතාවයක් වාර්තා කරමින් ද ඉසව්ව අවසන් කරන ලදි.

සාන්ත පීතර විදුහලේ අනාගත තරුව හිරුෂ

කොළඹ සාන්ත පීතර විද්‍යාලය මෑත කාලයේ දී මලල ක්‍රීඩාවට අනුපමේය සේවාවක් ඉටු කරන බව විද්වතුන්ගේ මතයයි. මෙවර තරගාවලියේ බාලක ශූරතාව පවා කොළඹ සාන්ත පීතර විද්‍යාලය දිනා ගත්තේ ඒ නිසාමය.  

තරගාවලියේ දින තුන පුරාම කතාබහට ලක්වූ ක්‍රීඩකයෙක් වූ අතර ඔහු සාන්ත පීතර විද්‍යාලයේ හිරුෂ හෂෙන් ය. තරගාවලියේ පළමු දිනයේ දී ම වයස අවුරුදු 16න් පහළ බාලක දුර පැනීමේ ඉසව්වේ දී මීටර් 7.16ක දක්ෂතාවයක් වාර්තා කරමින් නව තරග වාර්තාවක් පිහිටුවීමට ඔහු සමත් විය.

2007 වසරේ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයේ එස්. රණසිංහ විසින් මීටර් 6.84ක දක්ෂතාවයක් වාර්තා කරමින් තබා තිබූ වාර්තාව ඒ සමඟින්ම බිඳ වැටුණි.

හිරුෂ දුර පැනීමේ ඉසව්ව අතරතුර

වයස අවුරුදු 16න් පහළ මීටර් 200 ඉසව්ව වෙනුවෙන් ද සහභාගී වූ හිරුෂ එහි දී තත්පර 22.70ක දක්ෂතාවයක් වාර්තා කරමින් ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට සමත් විය. මීටර් 100, මීටර් 400*4 හා මීටර් 100*4 ඉසව්වල දීත් රන් පදක්කම් දිනා ගනිමින් ඔහු සමස්ත  තරගාවලියේ දී දිනා ගත් රන් පදක්කම් ගණන 5ක්.

දිගු දුර රැජින පාරමී

තවත් සති දෙකකින් පසුව ආර්ජෙන්ටිනාවේ දී ආරම්භ වීමට නියමිත යොවුන් ඔලිම්පික් තරගාවලිය සඳහා සහභාගී වීමට නියමිත ශ්‍රී ලංකාවේ ප්‍රධානතම තුරුම්පුවක් වන කුලියාපිටියේ මධ්‍ය විද්‍යාලයේ පාරමී වසන්ති මාරිස්ටෙලා මෙවර තරගාවලියේදීත් සුපුරුදු පරිදීම නව තරග වාර්තා දෙකක් පිහිටුවීමට සමත් විය.

තරගය අතරතුර

පළමු දිනයේ සවස් යාමය මීටර් 2000 බාධක දිවීමේ ඉසව්වෙන් වාර්තා කළ නව වාර්තාව ද සමඟින් දිනය අවසන් කළ ඇය පසුදින උදෑසන දිනය ආරම්භ කළේ තවත් වාර්තාවක් තම නමට ඉදිරියෙන් සටහන් කර ගනිමිනි. වයස අවුරුදු 18න් පහළ බාලිකා මීටර් 2000 බාධක දිවීම වෙනුවෙන් ඇය මිනිත්තු 6.35.9ක කාලයක් වාර්තා කරමින් තම පළමු වාර්තාව පිහිට වූ අතර දෙවන දිනයේ දී මීටර් 3000 ඉසව්ව වෙනුවෙන් ද මිනිත්තු 9.58.3ක දක්ෂතාවයක් වාර්තා කරමින් තවත් තරග වාර්තාවක් බිහි කළාය. විශේෂ කරුණ නම් මේ වාර්තා කළ කාලය ශ්‍රී ලංකාවේ එතෙක් මෙතෙක් ඉතිහාසයේ මෙම ඉසව්ව වෙනුවෙන් වාර්තා කළ 5 වන හොඳම කාලයයි.

තවමත් වයස අවුරුදු 17ක දැරියක් වන ඇය ආසියානු කනිෂ්ඨ රන් පදක්කම් ලාභිනියක් ද වේ. අනාගත මලල ක්‍රීඩාවේ තවත් සිහිනයක් ලෙස ද හැඳින්විය හැකි පාරමී යොවුන් ශ්‍රී ලංකා කාන්තා රග්බි කණ්ඩායමේ ද සාමාජිකාවකි.

>> ඡායාරූප ඇල්බමය <<

රීඩ් මාවතේ ඔලිම්පික් සිහිනය සෙනිරු

එළඹෙන දෙසතියෙන් පසු ආර්ජෙන්ටිනාව බලා පිටත්වීමට නියමිත තවත් එක් ක්‍රීඩකයෙකු ලෙස සෙනිරු අමරසිංහගේ වැඩි දෙනෙක් අවධානය දිනා ගත් ඉසව්වක් ලෙස වයස අවුරුදු 18න් පහළ බාලක උස පැනීමේ ඉසව්ව සැලකෙන අතර එහි දී  මීටර් 2.10ක දක්ෂතාවයක් වාර්තා කරමින් ඔහු නව තරගාවලි වාර්තාවක් පිහිටුවනු ලැබීය. වර්තමාන ලෝක යොවුන් ශ්‍රේණිගත කිරීම්වල සිව්වැනි ස්ථානයෙහි පසුවන සෙනිරු, එළඹෙන තරගාවලියේ දක්ෂතා අතරට පැමිණීම සියල්ලන්ගේම බලාපොරොත්තුවයි.

15 වසරක වාර්තාවක් බිඳ හෙලූ බෙන්තොට ගාමිණී බාලිකාවෝ

2003 වසරේ දී වෙන්නප්පුව ශුද්ධ වූ පවුලේ කන්‍යාරාම බාලිකාවෝ විසින් තත්පර 49.96ක කාලයක් වාර්තා කරමින් තබා තිබූ වසර 15ක් පැරණි වාර්තාව මෙවර තත්පර 49.72ක කාලයක් වාර්තා කරමින් අලුත් කරන්නට බෙන්තොට ගාමිණී බාලිකාවෝ සමත් වූහ. දකුණු ආසියානු වාර්තාලාභී සහාය දිවීමේ කණ්ඩායම් සාමාජිකා ෂෙලින්ඩා ජැන්සන් හා යොවුන් කෙටිදුර ධාවන ශූරි සදීපා හෙන්ඩර්සන් නියෝජනය කළ ගේට්වේ ජාත්‍යන්තර පාසල පරාජය කරමින් මෙම ජයග්‍රහණය වාර්තා කිරීම විශේෂත්වයක්.

කේෂානි රන්දුලා, ගීත්මා පාරමී, චෙල්සි මෙලනි බෙන්තරගේ, සඳුනි මධුමාලිකා යන ක්‍රීඩිකාවන් මෙම දස්කමේ කොටස්කාරියන් වූ අතර පසුගිය දා බදුල්ලේ දී නිමාවුණු සහාය දිවීමේ සැණකෙළියේ දී ද නව තරග වාර්තාවක් බිහි කරමින් රන් පදක්කම දිනා ගැනීමට මෙම සිව්දෙනා සමත් විය. චෙල්සි මෙලනි හා කේෂානි රන්දුලා මීටර් 100 ඒකල ඉසව්වේ දී ද අවසන් තරගයෙහි සිව්වැනි හා සත්වැනි ස්ථාන දිනා ගත්හ.

ජයග්‍රාහී කණ්ඩායමේ ක්‍රීඩිකාවන් ජයග්‍රාහී අත්දැකීම් ThePapare.com අප සමඟින් බෙදා ගත්තේ මෙසේයි,

“ඇත්තටම ගොඩක් සතුටුයි, අවුරුදු 15ක රෙකොර්ඩ් එකක් කඩපු එක ගැන, ප්‍රබල පාසල් එක්ක තරග කරන්න ලැබුණු එක ගැන සතුටුයි, අපි හැමෝගෙම මහන්සිය හා අපේ පුහුණුකරුවන්ගේ දෙමාපියන්ගේ, අපිට උදව් කරපු හැමෝගෙම උත්සාහයේ ප්‍රතිඵලයක් මේක, ඉස්සරහටත් මේ වගේම දිනන්න පුළුවන් සහෝදරියෝ ටිකක් පාසලෙන් හදන්න බලාපොරොත්තු වෙනවා”

>> ඡායාරූප ඇල්බමය <<

ආර්ජෙන්ටිනා යන ජෝන් කොතලාවල තරුව – බෝගොඩ

වයස අවුරුදු 18න් පහළ මීටර් 400 බාලක ඉසව්වේ රන් පදක්කම දිනා ගන්නට සර් ජෝන් කොතලාවල විද්‍යාලයේ ඩිලාන් බෝගොඩ සමත් විය. ඔහු සිය මූලික වටයේ තරගයක දී තත්පර 48.23ක කාලයක් වාර්තා කරමින් නව තරග වාර්තාවක් බිහි කළ අතර ඒ නිසා ඔහු පහසුවෙන්ම අවසන් තරගය ජය ගනු දක්නට ලැබුණි.

එළඹෙන යොවුන් ඔලිම්පික් තරගාවලියේ දී මීටර් 400 ඉසව්ව වෙනුවෙන් සහභාගී වීමට ද නියමිත බෝගොඩ, ශ්‍රී ලංකා සංචිතයේ සිටින ප්‍රධානතම පදක්කම් බලාපොරොත්තු අතරින් කෙනෙකු වීම ද විශේෂත්වයකි.

20 වසරක වාර්තාවක් බිඳ හෙලූ කඳානේ යොවුන් ශූරිය මහේෂිකා

වයස අවුරුදු 16න් පහළ බාලිකා කවපෙත්ත විසිකිරීමේ ඉසව්ව නියෝජනය කරමින් 1998 වසරේ මීගමුව ආවේ මරියා කන්‍යාරාමයේ ක්‍රීඩිකා සඳමාලි වීරසිංහ විසින් මීටර් 32.89ක දක්ෂතාවයක් දක්වමින් පිහිටුවා තිබූ තරගාවලි වාර්තාවක් මෙවර මහේෂිකා අතින් බිඳ වැටුණේ වසර 24කට පසුවයි. කඳාන සාන්ත සෙබස්තියන් බාලිකා විද්‍යාලයේ හේෂානි මහේෂිකා මීටර් 37.09ක දක්ෂතාවයක් වාර්තා කරමින් මෙවර නව තරග වාර්තාව පිහිටු විය. ඇයගේ හොඳම දක්ෂතාවය මීටර් 38.49ක් ලෙස වාර්තා වූ අතර මහේෂි ජයග්‍රහණයෙන් පසු ThePapare.com සමඟින් අදහස් දැක්වූයේ මෙසේයි.

“ඇත්තටම මට ගොඩක් සතුටුයි, ගොඩක් පරණ රෙකෝඩ් එකක් බ්‍රේක් වුණේ, ඇත්තටම තවත් පාසල් තරගාවලියක් ළඟ දී එනවා, ඒකටත් හොඳින් සූදානම් වෙනවා, කවපෙත්ත ජාතික වාර්තාව බිඳින්න කවදාහරි බලාපොරොත්තුවෙන් ඉන්නවා,”

යොවුන් කෙටිදුර ශූරිය ෂෙලින්ඩා

2017 වසරේ වැඩියෙන්ම කතාබහට ලක්වුණු යොවුන් ක්‍රීඩිකාව ෂෙලින්ඩා යැයි කීවොත් නිවැරදිය. දකුණු ආසියානු ක්‍රීඩා උළෙල, යොවුන් ඔලිම්පික් ආසියානු තේරීම් තරග හා තරග වාර්තා සමඟින් ඇයගේ නාමය කිහිප විටකම ඇසෙනු අපට මතකය. ඇය අවුරුදු 18න් පහළ මීටර් 100 බාලිකා ඉසව්වේ තරග වාර්තාව දෙවන වතාවටත් අලුත් කිරීමට මේ වසරේ සමත් විය. තත්පර 12.43 ක කාලයක් වාර්තා කරමින් ඇය විසින්ම තබා තිබූ වාර්තාව තත්පර 12.41කින් අලුත් කළාය. ඇය ද යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙල වෙනුවෙන් ආර්ජෙන්ටිනාව බලා පිටත්වීමට නියමිතයි.

තරගාවලිය ආරම්භ කරමින් වාර්තා 3ක්

ශ්‍රී ලංකාවේ පැරණිම සහ ගෞරවාන්විතම පාසල් මලල ක්‍රීඩා තරගාවලිය වන ‘රිට්ස්බරි’ ශ්‍රීමත් ජෝන් ටාර්බට් (ජ්‍යෙෂ්ඨ) මලල ක්‍රීඩා ශූරතාවලිය ඊයේ (19)…….

අවසන් වශයෙන් තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා හා ක්‍රීඩිකාව ලෙස කොළඹ රාජකීය විද්‍යාලයේ සෙනිරු අමරසිංහත්, කුලියාපිටිය මධ්‍ය විද්‍යාලයේ පාරමී වසන්තිත් සම්මාන දිනා ගත්හ.

සමස්ත තරගාවලියේ බාලක ශූරතාවය ලකුණු 206ක් ලබා ගනිමින් කොළඹ සාන්ත පීතර විද්‍යාලය දිනා ගත්තේය.

මෑත කාලීන මලල ක්‍රීඩාව තුළ සාන්ත පීතර විද්‍යාලය තම නාමය ඉහළටම රැගෙන ගොස් හමාරය. ඒ  නිසාම අනාගත මලල ක්‍රීඩාවේ තරු ලකුණු රාශියක්ම සාන්ත පීතරයින් සතු බව සිහි කරන්නේ සොම්නසිනි.

ශ්‍රීමත් ජෝන් ටාබට් පාසල් මලල ක්‍රීඩා තරගාවලියේ සමස්ත බාලිකා ශූරතාවය ලකුණු 240ක් ලබාගත් වලල ඒ. රත්නායක විද්‍යාලයට

ඉතිහාසයේ සිටම කන්ද උඩරට සේම මුළුමහත් කාන්තා මලල ක්‍රීඩා ක්ෂේත්‍රයම පාහේ වලල විද්‍යාලයේ පුරුක් බව නොරහසකි. ඒ නිසාම එය අදටත් එලෙසම පවත්වා ගනිමින් කොළඹ ප්‍රධාන පෙළේ පාසල්වලට ඔවුන් අනාගතයේ දී ද හිසරදයක් වනු නොඅනුමානයි.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<