ගාෆිල්ඩ් සෝබර්ස්, වෙස්ලි හෝල්ට ඉගැන්වූ කදිම පාඩම

173
@Getty Images

අද වන විට ක්‍රිකට් ක්‍රීඩාවට අත්‍යාවශ්‍යම කොට්ඨාශයක් ලෙස පා දඟපන්දු යවන්නන් හැඳින්විය හැකියි.  බොහෝ කණ්ඩායම් තමන්ගේ පන්දු බලඇණියට පා දඟපන්දුකරුවන් එක් කරගන්නේ ප්‍රතිවාදී කණ්ඩායම්වලට ඔවුන්ගෙන් එල්ල වන තර්ජනය සුළුපටු නොවන නිසා.

ශ්‍රී ලාංකිකයින් අවතැන් කළ නයිරෝබියේ ‘අෆ්‍රිඩි’ සුළි කුණාටුව

1996 ඔක්තෝබර් 4 වැනිදා කෙන්යාවේ නයිරෝබි නුවර හරහා චණ්ඩ මාරුතයක් හමා ගියේය. පෙර දැනුම්…

1960 දශකයේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමක් ඉන්දියාවේ සංචාරයක නිරත වෙමින් සිටියා. බටහිර ඉන්දීය කණ්ඩායමේ බොහෝ පිතිකරුවන් ඉන්දියානු දඟ පන්දු යවන්නන් හමුවේ දැඩි අපහසුතාවයකට ලක්වුනා. එවර තරගාවලියේ සිදු වූ අපූරු සිදුවීමක් ශ්‍රීමත් ගාෆිල්ඩ් සෝබර්ස් පසු කලෙක හෙළි කළා. 

මෙම සිදුවීමට සම්බන්ධ වුනේ ශ්‍රීමත් ගාෆිල්ඩ් සෝබර්ස්, වේගපන්දු යවන්නෙකු ලෙස ක්‍රිකට් ලෝකය බියෙන් සලිත කළ ශ්‍රීමත් වෙස්ලි හෝල් සහ ඉන්දියානු දඟපන්දු යවන ක්‍රීඩක භගවත් චන්ද්‍රසේකර්.

“හැටේ දශකයේ යම් දිනක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ඉන්දියාවේ සංචාරය කරමින් සිටියා. එය පුහුණු තරඟයක් මගේ මතකයේ හැටියට. භගවත් චන්ද්‍රසේකර්ගේ ගුග්ලි පන්දුව හඳුනා ගත නොහැකිව අප කණ්ඩායමේ මුල්පෙළ පිතිකරුවන් සෑහෙන අසරණ වෙමින් සිටියේ. අපේ ඉනිමේ මුල්පෙළ කඩුලු හයක් දැවී අසීරූ වූ අවස්ථාවක වෙස්ලි හෝල් පිතිකරණයට පිවිසියා. 

මට භගවත් චන්ද්‍රසේකර්ගේ ගුග්ලි පන්දුව ඉතා පහසුවෙන්ම හඳුනා ගත හැකි වූ නිසා ප්‍රශ්නයක් තිබුණේ නැහැ. මම තීරණය කලා වෙස්ලිට යම් උපදෙසක් දිය යුතු බවට. ඔහු ක්‍රීඩාගාරයෙන් පිටියට පිවිසෙන විට මා ඔහු හමුවීමට හතර සීමාව කිට්ටුවටම ගියා.

” නායකතුමා, මට ඔහුගේ දඟපන්දු හඳුනාගත නොහැකියි” 

වෙස්ලිගේ මුහුණේ තිබුණේ අසරණ සහ බැරෑරුම් පෙනුමක්.

“මම ඔබට උදව් කරන්නම් වෙස්, රොහාන් කන්හායි වැන්නෙකුටත් හඳුනාගත නොහැකි වූ චන්ද්‍රසේකර්ගේ දඟපන්දු ඔබ වැන්නෙකු හඳුනාගන්නේ කොහොම ද?”

” ඔබ එය කරන්නේ කෙසේ ද නායකතුමනි? “

එවර වෙස්ලි හෝල්ගේ මුහුණේ ඇඳී ගියේ අතිශයින්ම විශ්මයට පත්වූ පෙනුමක්.

“වෙස් මා අනුගමනය කරන්න, ඔහු ගුග්ලි පන්දුව යවන විට මම මගේ පිත්ත සිරුරට එපිටින් තබා ගන්නම්”

“ඔබ ක්‍රීඩකයින් පුහුණුකර තිබෙනවා නේද? ඔබ ඔවුන්ට කියා දෙන්නේ පන්දු යවන්නාගේ අතට වැඩි අවධානයක් දෙන්න කියා නේද? මම කොහොමද පන්දු යවන්නාගේ අතටත් ඔබටත් එකවර අවධානයක් දෙන්නේ?” 

වෙස්ලි දිගින් දිගටම නෝක්කඩු ස්වරූපයකින් කියාගෙන කියාගෙන ගියා.

“වෙස්, ඔබට යාන්තම් හෝ අවස්ථාවක් ඇත්තේ මගේ පිත්තට අවධානයක් යොමු කළොත් පමණයි” මා කියා සිටියා. අවසානයේ කිරීමට වෙන කිසිත් නැතිවූ නිසා ඔහු ඊට එකඟ වුනා.

වෙස්ලි පන්දුවට පහර දීමට පැමිණි වහාම චන්ද්‍රසේකර් ඔහුට සාමාන්‍ය පා දඟපන්දු දෙකක් එල්ල කළා. ඊළඟට ඔහු ගුග්ලි පන්දුවක් යැවීමට සූදානම් වන දුටු මම වහාම පිත්ත ශරීරයට පිටින් තබාගෙන පිතිකරණ අන්තයේ සිටි වෙස්ලිට සංඥා කළා. ඒ පන්දුවට වෙස්ලි මිඩ් විකට් හරහා අලංකාර ෆ්ලික් පහරක් එල්ල කළා. චන්ද්‍රසේකර් පමණක් නොව එදා ක්‍රීඩා පිටියේ සිටි සියලුම දෙනා පුදුමයෙන් ගල්ගැසී බලාගෙන සිටියා. 

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ නම් දැරූ සුපිරි පිතිකරුවන්ට හඳුනාගත නොහැකි මගේ ගුග්ලි පන්දුව වෙස්ලි හෝල් හඳුනා ගත්තේ කෙසේද? චන්ද්‍රසේකර් සෑහෙන කල්පනා කරනු මා නිරීක්ෂණය කළා.

චන්ද්‍රසේකර් ක්‍රියාත්මක කළ එම පන්දුවාරය දිවා ආහාරයට පෙර යැවූ අවසාන පන්දුවාරය නිසා වෙස්ලි හෝල් වෙත තවත් පන්දුවක් යවන්න චන්ද්‍රසේකර්ට එවෙලේ ඉඩ ලැබුණේ නැහැ.

විවේකය අතරේ ක්‍රීඩක විවේකාගාරයට ගිය මට අපූරු කතවක් අහන්න ලැබුණා. වෙස්ලි හෝල් කිහිප දෙනෙකුට කියා තිබුණා නායකතුමාට චන්ද්‍රසේකර්ගේ ගුග්ලි පන්දුව හඳුනා ගත නොහැකි බවත්, තමාට එය හරිම පහසු බවකුත්. සමහර අය ඔහුව විශ්වාස කර තිබුණා.

මම හිතාගත්තා වෙස්ලිට හොඳ පාඩමක් උගන්වන්න.

විවේකයට පසු තරගය නැවත ආරම්භ වූ පසු නැවත පන්දු යැවීමට චන්ද්‍රසේකර් කැඳවා තිබුණා. ඔහුගේ හිතේ කොනක වෙස්ලි හෝල් එල්ල කළ ෆ්ලික් පහර තදින්ම සනිටුහන්ව තිබුණා. ඔහුගේ හිතේ වෙස්ලි හෝල් තමාගේ පන්දුව හඳුනා ගැනීම ගැන තිබුණේ දැඩි සැකයක්. 

එවරත් චන්ද්‍රසේකර් සාමාන්‍ය පා දඟපන්දු දෙකක් මුලින්ම වෙස්ලිට එල්ල කළා. ඔහු ඒ පන්දු දෙකම පහසුවෙන් කවර් පෙදෙසට තල්ලු කළා. මට හොඳටම විශ්වාසයි ඊළඟ පන්දුව ගුග්ලි පන්දුවක් බවට. 

චන්ද්‍රසේකර් දිවවිත් පන්දුව යොමු කළා. ඔව්, එය ඔහුගේ මාරාන්තික ගුග්ලි පන්දුවයි. මා එය හඳුනා ගත්තත් කිසිම වෙනසක් නැතිව නොසෙල්වී බලා සිටියා. වෙස්ලි හෝල් එම පන්දුවට ඉතාම අලංකාර කවර් ඩ්‍රයිව් පහරක් එල්ල කළා. නමුත් පන්දුව පිත්තත් පාදයත් පරයාගොස් කෙළින්ම මැද ඉන්නේ වැදුණා.

වෙස්ලි හෝල් ගල්ගැසුණු ඉරියව්වකින් මොහොතක් මා දෙස බලා සිට ක්‍රීඩාගාරයට පියමැන්නා.

මා නැවත විවේකාගාරයට ගිය අවස්ථාවේ කෙළින්ම වෙස්ලි මා වෙත දිව ආවා.

“නායකතුමා ඔබ එවර නම් ඒ ගුග්ලි පන්දුව නම් හඳුනා ගත්තේ නැහැ නේද?”

“නැහැ වෙස්, මට අහන්නට ලැබුණා ඔබට මටත් වඩා හොඳින් චන්ද්‍රසේකර්ගේ ගුග්ලි පන්දුව හඳුනා ගත හැකි බවක්. ඉතින් මා සිතුවා ඔබට මගේ උදව් අවශ්‍ය වෙන එකක් නැති වෙයි කියා” මා උස් හඬින් සිනහා වෙමින් පැවසුවා.”

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<