සත්කාරක සාන්ත ජෝසප් විද්‍යාලයට පහසු ජයක්

582
U19 School Cricket

වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් තරග වාරයේ අද (11) පැවති තරග වලදී පූර්ණ තරග ජයග්‍රහණයක් සාන්ත ජෝසප් විද්‍යාලයට හිමිවූ අතර ජෝසප් වාස් සහ මොරටු විද්‍යාලය අතර තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය. නිමාවූ තරග දෙක අතුරින් සාන්ත ජෝසප් වාස් විද්‍යාලයේ ධනංජය පෙරේරා සහ මදුෂාන් රණතුංග යන ක්‍රීඩකයින් දෙපල පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද දැක්වූ විස්මිත දක්ෂතා කාගේත් වැඩි අවධානයට ලක්විය.

පසුගිය ලිපි: ගාල්ල සාන්ත ඇලෝසියස් විද්‍යාලයට කඩුලු 8ක ජයක්

මාරිස්ටෙලා විද්‍යාලය සහ සාන්ත ජෝසප් විද්‍යාලය අතර තරගය

සාන්ත ජෝසප් විදුහල් ක්‍රීඩා පිටියේදී පැවැත්වුනු මෙම තරගයේදී ඊයේ ප්‍රථම ඉනිමේ ජයග්‍රහණය තහවුරු කරගත් සාන්ත ජෝසප් ක්‍රීඩකයින්ට අද පූර්ණ තරග ජයක් කරා යාමේ ඉඩ ප්‍රස්ථාව උදා විය. ඔවුන් මෙම තරගය ජය ගත්තේ කඩුලු 10කිනි.

කාසියේ වාසියේ දිනා මුලින්ම පන්දුවට පහර දුන් මාරිස්ටෙලා පිතිකරුවන් තමන්ට එතරම් හුරුපුරුදු නොවූ සාන්ත ජෝසප් තණතීරුවේදී එතරම් දක්ෂතා අතරට පැමිණීමට නොහැකි විය. සත්කාරක සාන්ත ජෝසප් පන්දු යවන්නන් පිටියේ වාසියෙන් උපරිම ඵල නෙලා ගනිමින් මාරිස්ටෙලා පිතිකරුවන්ට ප්‍රබල තර්ජනයක් ඇති කළ අතර එහි ප්‍රතිඵලය වූයේ ඔවුන් ලකුණු 150ක් වැනි අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී යාමයි. හොඳින් පන්දු යැවීමේ නිරත වුනු හරීන් (3/28) සහ ඒකනායක (4/42) මාරිස්ටෙලා කඩුලු 7කට වග කියන්නට සමත් විය.

පිලිතුරු ඉනිම ක්‍රීඩා කල සාන්ත ජෝසප් පිතිකරුවෝ කඩුලු 8ක් දැවී ලකුණු 251ක් රැස් කරගෙන සිටියදී තම ඉනිම අත් හිටුවන්නට තීරණය කළේ පූර්ණ තරග ජයග්‍රහණයක් හිමිකර ගැනීමට වාසනාව ඇත්දැයි උරගා බැලීමටයි. සාන්ත ජෝසප් ප්‍රථම ඉනිම වෙනුවෙන් රේවන් කෙලී (76) සහ ප්‍රශාන් පෙරේරා (56) අර්ධ ශතක රැස් කළහ.

සාන්ත ජෝසප් ප්‍රථම ඉනිමට වඩා ලකුණු 101ක් පසුපසින් සිටිමින් සිය දෙවැනි ඉනිම ඇරඹූ මාරිස්ටෙලා පිතිකරුවෝ එහිදී ද ලකුණු 160කට දැවී ගියහ. සාන්ත ජෝසප් ජය පහසු කල ජෙහාන් සහ හරීන් කඩුලු 3 බැගින් බිඳ හෙලන්නට සමත් විය. තරගය ජය ගැනීම සඳහා අවශ්‍ය වූ ලකුණු 60ක ඉලක්කයට කිසිදු පිතිකරුවෙකු නොදැවී ලඟා වුනු සත්කාරක සාන්ත ජෝසප් විද්‍යාලය මෙම තරගයෙන් පහසු ජයක් ලබන්නට සමත් විය.

මාරිස්ටෙලා විද්‍යාලය සියල්ලන්ම දැවී  ලකුණු 150 (පන්දුවාර 46.5) දුෂාන් ගුරුගේ 32, සචිඳු කොළඹගේ 24, හවින් පෙරේරා 3/28, ආර්. ඒකනායක 4/42.

සාන්ත ජෝසප් විද්‍යාලය කඩුලු 8ක් දැවී ලකුණු 251 (පන්දුවාර 63.5) රේවන් කෙලී 76, තශාන් පෙරේරා 56,  නිපුන් සුමනසිංහ 43, රවිඳු ප්‍රනාන්දු 4/59.

මාරිස්ටෙලා විද්‍යාලය (දෙවන ඉනිම) සියල්ලන්ම දැවී ලකුණු 160 (පන්දුවාර 43.2) ජී. ලසිත් 81, ෂෙහාන් මනීෂ 25, ජෙහාන් ප්‍රනාන්දුපුල්ලේ 3/24, හරීන් කුරේ 3/39.

සාන්ත ජෝසප් විද්‍යාලය (දෙවන ඉනිම) කිසිවෙකු නොදැවී ලකුණු 60 (පන්දුවාර 17.1) රේවන් කෙලී 30*, තශාන් පෙරේරා 26*.


සාන්ත ජෝසප් වාස් විද්‍යාලය සහ මොරටු විද්‍යාලය අතර තරගය

මොරටු විද්‍යාලය සත්කාරකත්වය දැරූ මෙම තරගයේ දී වාර්තා වූ ශතක තුන හේතුවෙන්ම තරගය නිමාවට පත්වූයේ ජය පරාජයකින් තොරවයි. කාසියේ වාසිය ජයගත් ජෝසප් වාස් නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහර දීම තෝරාගත් අතර තමන්ට ආගන්තුක වූ මොරටු තණතිල්ලේ දී ප්‍රවේසම් සහගත පිතිකරණයක නියැලෙමින් ලකුණු 332ක හොඳ ලකුණු සංඛ්‍යාවක් ලබා ගන්නට සමත් විය. ජෝසප් වාස් ඉනිම ඉහලින්ම ඔසවා තැබූ ධනංජය පෙරේරා (110) සහ මදුෂාන් රණතුංග (108) අගනා ශතක දෙකක් රැස්කර ගනිමින් තරගයේ වැඩි වාසිය ජෝසප් වාස් විද්‍යාලයට ලබා දුන්හ.

පිලිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි මොරටු විද්‍යාලීය පිතිකරුවන්ට සියලු දෙනාම දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 159ක් පමණි. එහිදී මදුෂ්ක ප්‍රනාන්දු පමණක් අර්ධ ශතකයක් රැස් කිරීමට සමත් වූ අතර ප්‍රථම ඉනිමේ දී පිත්තෙන් සාර්ථක වී ශතක දෙකක් රැස් කල ධනංජය පෙරේරා සහ මදුෂාන් රණතුංග මෙවර පන්දුවෙන්ද සාර්ථක වෙමින් මොරටු පිතිකරුවන් පස් දෙනෙකු නැවත ක්‍රීඩාගාරයට හරවා යවන්නට සමත් විය.

දිනය නිමාවන විට දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටි ජෝසප් වාස් පිතිකරුවන් කඩුලු 2ක් දැවී ලකුණු 186ක් රැස් කරගෙන සිටි අතර තරගය පුරාවට විස්මිත දස්කම් දැක්වූ ධනංජය පෙරේරා නොදැවී ලකුණු 105ක් ද, මදුෂාන් රණතුංග නොදැවී ලකුණු 55ක් ද රැස් කරගෙන සිටියහ.

සාන්ත ජෝසප් වාස් විද්‍යාලය සියල්ලන්ම දැවී ලකුණු 331 (පන්දුවාර 90.3) මදුෂාන් රණතුංග 108, ධනංජය පෙරේරා 110, ප්‍රසාද් පෙරේරා 62, ශේෂාද නිකේන්ද්‍ර 3/69, ඉසුරු ජයරංග 3/48.

මොරටු විද්‍යාලය සියල්ලන්ම දැවී ලකුණු 149 (පන්දුවාර 56.2) මදුෂ්ක ප්‍රනාන්දු 53, ධනංජය පෙරේරා 3/26, මදුෂාන් රණතුංග 2/33.

සාන්ත ජෝසප් වාස් (දෙවන ඉනිම) කඩුලු 2ක් දැවී ලකුණු 186 (පන්දුවාර 50) ධනංජය පෙරේරා 105*, මදුෂාන් රණතුංග 55*.

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට