ගාල්ල සාන්ත ඇලෝසියස් විද්‍යාලයට කඩුලු 8ක ජයක්

1099
Singer U19 Schools Cricket October 10th roundup

සිංගර් වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලියේ අද (10) පැවති තරග අතුරින් ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය පරදවා ගාල්ල සාන්ත ඇලෝසියස් විද්‍යාලය ලබාගත් ජයග්‍රහණය කැපී පෙනුණු අතර දිනයේ පැවති අනෙකුත් තරග අද ප්‍රථම දිනයට පැවති ඒවා විය.

පසුගිය ලිපි: තිසරු සහ ශනොගීත් ත්‍රිත්ව විද්‍යාලයට සුපිරි ජයක් හිමිකර දෙයි

ගාල්ල සාන්ත ඇලෝසියස් විද්‍යාලය සහ ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය අතර තරගය

කටුනේරිය සාන්ත සෙබස්තියන් ක්‍රීඩාංගණයේදී පැවති මෙම තරගයෙන් ගාල්ල සාන්ත ඇලෝසියස් විද්‍යාලයට කඩුලු 8ක පහසු ජයක් හිමිවිය. කාසියේ වාසිය ජයග්‍රහණය කළ ඇලෝසියස් නායකයා ප්‍රථමයෙන්ම පන්දුවට පහර දීමට තීරණය කළ අතර ඒ අනුව ඔවුන් පළමු ඉනිමට රැස්කල ලකුණු සංඛ්‍යාව 269කි. ඒ වෙනුවෙන් කවිශ්ක ඩිල්ශාන් නොදැවී ලකුණු 80ක් රැස්කල අතර පන්දු යැවීමේදී සිසිත මදනායක කඩුලු 3ක් බිඳ හෙලන ලදී.

පිලිතුරු ඉනිම ක්‍රීඩා කල බණ්ඩාරනායක පිතිකරුවන් ලකුණු 167කට සියල්ලන්ම දැවී ගිය අතර එම අසාර්ථකත්වය හේතුවෙන් සිය දෙවන ඉනිම සඳහා නැවතත් පිතිකරණයේ යෙදෙන්නට ඔවුන්ට සිදු විය. එහිදී ද ඔවුන්ට රැස් කරගත හැකි වූයේ ලකුණු 155ක් පමණි. එබැවින් අද සවස් භාගයේදී තරග ජයග්‍රහණය සඳහා අවශ්‍ය වූ ලකුණු 54ක ඉලක්කය කඩුලු 2ක් පමණක් දැවී, පන්දුවාර 12යි පන්දු 2ක් තුල සපුරා ගත් සාන්ත ඇලෝසියස් ක්‍රීඩකයෝ පූර්ණ තරග ජයග්‍රහණයක හිමිකරුවන් බවට පත්වූහ.

සාන්ත ඇලෝසියස් විද්‍යාලය සියල්ලන්ම දැවී ලකුණු 269 (පන්දුවාර 71)

කවිශ්ක ඩිල්ෂාන් 80*, පසිඳු නානායක්කාර 47, රවිඳු සංජන 31, සිසිත මදනායක 3/48.

ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය සියල්ලන්ම දැවී ලකුණු 167 (පන්දුවාර 56.3)

සසිරි අධිකාරි 52, හිමත් ජයවීර 25, රවිඳු සංජන 2/19, හරීන් බුද්දිල 4/57, කවිශ්ක ඩිල්ශාන් 2/36.

ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය (දෙවන ඉනිම) සියල්ලන්ම දැවී ලකුණු 155 (පන්දුවාර 53.5)

සසිරි අධිකාරි 82, හසිත තිමල් 40, කවිශ්ක ඩිල්ශාන් 4/25, හරීන් වීරසිංහ 30/2.

සාන්ත ඇලෝසියස් විද්‍යාලය (දෙවන ඉනිම) කඩුලු 2ක් දැවී ලකුණු 54 (පන්දුවාර 12.2)

අශේන් බණ්ඩාර 30.


සාන්ත ජෝසප් වාස් විද්‍යාලය සහ මොරටු විද්‍යාලය අතර තරගය

මොරටු විද්‍යාලය සත්කාරකත්වය දරන මෙම තරගය අද ක්‍රියාත්මක වූයේ ප්‍රථම දිනයටයි. කාසියේ වාසිය ජයගත් ජෝසප් වාස් නායකයා ප්‍රථමයෙන් පිතිකරණයේ යෙදීම තෝරාගත් අතර ප්‍රතිවාදීන්ට වඩාත් හුරුපුරුදු මොරටු තණතිල්ලේ සුපරික්ෂාකාරී පිති හරඹයක නියැලෙමින් ලකුණු 332ක හොඳ ලකුණු සංඛ්‍යාවක් ලකුණු පුවරුවේ සටහන් කරන්නට සමත් විය. ජෝසප් වාස් ඉනිම බිඳ වැටෙන්නට ඉඩ නොදුන් ධනංජය පෙරේරා (110) සහ මදුෂාන් රණතුංග (108) අනර්ඝ ශතක දෙකක් ලබා ගනිමින් දිනයේ වැඩි ගෞරවය ජෝසප් වාස් විද්‍යාලයට ලබා දුන්හ.

ජෝසප් වාස් ඉනිම නිමාවන විට අද දිනයේ ක්‍රියාත්මක කරන්නට නියමිතව තිබූ පන්දුවාර ගණන අවසන් වී තිබුණු බැවින් මොරටු විද්‍යාලයට පිලිතුරු ඉනිම ක්‍රීඩා කිරීම සඳහා හෙට උදෑසන වනතුරු බලා සිටින්නට සිදුවේ.

සාන්ත ජෝසප් වාස් විද්‍යාලය සියල්ලන්ම දැවී ලකුණු 332 (පන්දුවාර 90.3)

මදුෂාන් රණතුංග 108, ධනංජය පෙරේරා 110, ප්‍රසාද් පෙරේරා 62.


මාරිස්ටෙලා විද්‍යාලය සහ සාන්ත ජෝසප් විද්‍යාලය අතර තරගය

අද ප්‍රථම දිනයට ක්‍රියාත්මක වූ අනෙක් තරගය වන මෙය සාන්ත ජෝසප් විදුහල් ක්‍රීඩා පිටියේදී පැවැත්විණි. කාසියේ වාසියේ දිනා මුලින්ම පන්දුවට පහර දුන් මාරිස්ටෙලා පිතිකරුවන්ට එතරම් සෑහීමකට පත්විය හැකි ලකුණු සංඛ්‍යාවක් ලබා ගැනීමට නොහැකි වූ අතර ඔවුන් සියලු දෙනාටම සිදු වූයේ ලකුණු 150ක් තුල දැවී යන්නටයි. මාරිස්ටෙලා විද්‍යාලය වෙනුවෙන් දුෂාන් ගුරුගේ ලකුණු 32ක් රැස් කල අතර හරීන් (3/28) සහ ඒකනායක (4/42) අතරේ මාරිස්ටෙලා කඩුලු 7ක් බෙදී ගියේය.

පිලිතුරු ඉනිම ක්‍රීඩා කරන සාන්ත ජෝසප් පිතිකරුවෝ දිනය නිමාවන විට මාරිස්ටෙලා ප්‍රථම ඉනිම අභිබවා යමින් කඩුලු 2කට ලකුණු 151ක් රැස් කරගෙන සිටිති.

මාරිස්ටෙලා විද්‍යාලය සියල්ලන්ම දැවී ලකුණු 150 (පන්දුවාර 46.5)

දුෂාන් ගුරුගේ 32, සචිඳු කොළඹගේ 24, හරීන් පෙරේරා 3/28, ආර්. ඒකනායක 4/42.

සාන්ත ජෝසප් විද්‍යාලය කඩුලු 2ක් දැවී ලකුණු 151 (පන්දුවාර 46)

රේවන් කෙලී 76, පී. පෙරේරා 56.

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට