ජෝසප්වරුන් කුසලානය මරදානට රැගෙන යයි

515

පුරා මාස පහකට ආසන්න කාලයක් පුරාවට පැවති සිංගර් කුසලාන පාසල් ක්‍රිකට් තරගාවලියේ පළමු පෙළ දෙදින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ඊයේ (08) මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය හා මහනුවර ත්‍රිත්ව විද්‍යාලය අතර කොළඹ කොල්ට්ස් පිටියේ දී ආරම්භ විය.

සාන්ත ජෝසප් විද්‍යාලය සිය පළමු ඉනිමට ලබාගත් ලකුණු 300ට එරෙහිව ත්‍රිත්ව විද්‍යාලය ඔවුන්ගේ පළමු ඉනිම වෙනුවෙන් ලබා ගත්තේ ලකුණු 173ක් නිසාවෙන් අවසන් මහා තරගයේ පළමු ඉනිමේ ජයක් ලබා ගත් සාන්ත ජෝසප් විද්‍යාලය දෙදින ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගන්නා ලදි.

අවසන් සටනේ දී නායක ඩැනියල් දක්ෂ පිතිකරණයක

මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය හා මහනුවර ත්‍රිත්ව විද්‍යාලය අතර පැවැත්වෙන සිංගර් …

තරගයේ දෙවන දිනය වූ අද (9) දිනයේ ආරම්භය තරමක් පමා වූයේ තණතීරුව අවට ප්‍රදේශය තෙත බරිත ස්වභාවයක් ඉසිලීම නිසාවෙනි. දෙවන දිනය ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ත්‍රිත්ව විද්‍යාලය එක් කඩුල්ලක් දැවී ලකුණු 35ක් ලබාගෙන සිටියේය. දිනය ආරම්භ කරමින් ජෙෆ් වීරසිංහ හා පුබුදු බණ්ඩාර ත්‍රිත්ව විද්‍යාලයට සාර්ථක ආරම්භයක් ලබා දුන් අතර ඔවුන් දෙදෙනා එක්ව දෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 45ක් සබඳතාවයක් ගොඩනංවන ලදි.

4 පහර 3ක් සමඟ ලකුණු රැස්කරගත් ජෙෆ් හා පුබුදු පිළිවෙළින් ලකුණු 24කට හා ලකුණු 18කට ක්‍රීඩාගාරයට හරවා යැවීමට සාන්ත ජෝසප් විද්‍යාලයේ පන්දු යවන්නන් සමත් විය. අනතුරුව පිටියට පිවිසි ත්‍රිත්ව විද්‍යාලයේ නායකයා වන දකුණතින් පිත්ත හසුරුවන හසිත බෝයගොඩ, දුනිත් වෙල්ලාලගේ ඇතුළු සාන්ත ජෝසප් විද්‍යාල පන්දු යවන්නන්ගේ අභියෝග හමුවේ නොසැලී ඉදිරියට යාමට වෑයම් කළ ද එය සාර්ථක නොවීය.

කෙසේ වෙතත් නායක බෝයගොඩ පන්දු 34ක දී ලකුණු 35ක් ලබා ගත්තේ 4 පහර 3ක් හා 6 පහර දෙකක් කොල්ට්ස් පිටිය සිසාරා එල්ල කරමිනි. අවසානයේ බෝයගොඩගේ යම් කලබලකාරී තත්වයක් නිසාවෙන්දෝ දුනිත්ගේ පන්දුවකට කඩුල්ල මුවාකිරීමේ වරදට හසුව දැවී ගියේ ත්‍රිත්ව විද්‍යාලයේ 5 වැනි කඩුල්ල ලෙසයි. බෝයගොඩගේ කඩුල්ල ඉක්මනින් දවා ගැනීමට සාන්ත ජෝසප් විද්‍යාලයට අවස්ථාව ලැබීම තරගයේ වාසිය තවදුරටත් ඔවුන්ගේ දෙසට නතුකර ගැනීමට එක් හේතුවක් විය.

19න් පහළ පාසල් එක්දින පිටියේ වීරයා “පොඩි මෙන්ඩා”

ඔහු ක්‍රිකට් දුටුවේ බහ තෝරන්නටත් ප්‍රථමයෙනි. ගෙදර තනිකරම ක්‍රිකට් ය. තාත්තාගේත් අයියාගේත්…

ලකුණු 121ක් වන විට ත්‍රිත්ව විද්‍යාලයේ මුල්පෙළ ප්‍රබල කඩුලු හයක් දැවී ගොස් තිබූ අතර දකුණතින් පිත්ත හසුරුවන තිසරු රශ්මික (ලකුණු 29) හා කඩුලු රකින පිතිකරුවෙක් වන අශාන් ලොකුකැටිය (ලකුණු 21) ත්‍රිත්ව විද්‍යාලයේ පසුපෙළ සවිමත් කරනු පිණිස ඉවසිලිවන්ත පිතිකරණයක නිරත වුවත්, ඔවුන් දෙදෙනාට ද සාන්ත ජෝසප් විද්‍යාලයේ වේගපන්දු යවන්නන් හමුවේ එම කාර්ය සාර්ථකව අවසන් කිරීමට නොහැකි විය.

අවසානයේ සාන්ත ජෝසප් විද්‍යාලය සිය පළමු ඉනිමට ලබාගත් ලකුණු 300ට එරෙහිව ත්‍රිත්ව විද්‍යාලයට සිය පළමු ඉනිම වෙනුවෙන් සියල්ලන්ම දැවී ලබා ගැනීමට හැකි වුනේ ලකුණු 173ක් පමණි. ඒ නිසාවෙන් තරගයේ පළමු ඉනිමේ ජය ලබාගත් සාන්ත ජෝසප් විද්‍යාලය 2017/18 පාසල් දෙදින ක්‍රිකට් තරගාවලියේ ශූරයින් ලෙස කිරුළු දිනා ගත්තේය.

පන්දු යැවීමේ දී දක්ෂ ලෙස පන්දු යැවූ වමතින් පා දඟපන්දු යවන දුනිත් වෙල්ලාලගේ ලකුණු 40කට කඩුලු 4ක් දවා ගත් අතර දකුණතින් මඳ වේගපන්දු යවන ලක්ෂාන් ගමගේ ලකුණු 42කට කඩුලු 3ක් දවා ගන්නා ලදි.

දුනිත් වෙල්ලාලගේ හා නායක ජෙහාන් ඩැනියල් ජයග්‍රහණයේ සතුට සමරමින්

මෙම දෙදින ක්‍රිකට් තරගාවලියේ ගියවර (2016/17) ශූරතාවය දිනා ගත්තේ ආනන්ද විද්‍යාලය විසිනි. ඔවුන් හමුවේ අනුශූරයින් බවට පත්වූයේ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයයි. එසේම පසුගිය 28 වැනිදා නිමා වූ 2017/18 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ දී බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය පරාජය කළ රිච්මන්ඩ් විද්‍යාලය එහි ශූරතාවයට හිමිකම් කීමට සමත් විය.

සාන්ත ජෝසප් විද්‍යාල පළමු ඉනිම – 300 (82.4): ජෙහාන් ඩැනියල් 86, දුනිත් වෙල්ලාලගේ 42, රෙවාන් කෙලී 39, තිසරු රශ්මික 3/43.

ත්‍රිත්ව විද්‍යාල පළමු ඉනිම  – 173 (69): හසිත බෝයගොඩ 35, තිසරු රශ්මික 29, දුනිත් වෙල්ලාලගේ 4/40, ලක්ෂාන් ගමගේ 3/42.

තරගයේ වීරයා – ජෙහාන් ඩැනියල් (සාන්ත ජෝසප් විද්‍යාලය)

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<