ජයග්‍රහණය මහින්ද හා ජනාධිපති පාසල්වලට

307

සිංගර් වයස අවුරුදු 19න් පහළ අන්තර් පාසල් පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ තරග කිහිපයක් අද (15) නිමාව දුටුවේ ගාල්ල මහින්ද විද්‍යාලය හා කෝට්ටේ ජනාධිපති විද්‍යාලය පූර්ණ ජයග්‍රහණ වාර්තා කරමිනි. එයට සමගාමීව සාන්ත ජෝසප් විද්‍යාලය හා සාන්ත පැට්‍රික් විදුහල අතර පැවැත්වෙන “පාලක කුසලාන” (Rector’s trophy) තරගය ද අද ආරම්භ විය.

අන්තර් පළාත් කුසලානයට 15න් පහළ ක්‍රීඩකයින් සූදානම්

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව නගා සිටුවීමේ බීජාංකුර නැතහොත් ජාතික සිහිනය ජය ගැනීමට වෙර දරණ යොවුන් ක්‍රීඩකයින්ගේ තිඹිරිගෙය වන “ප්‍රීමා කුසලාන වයස අවුරුදු 15න් …

ගාල්ල මහින්ද විද්‍යාලය හා මාතර සාන්ත තෝමස් විද්‍යාලය  

සාන්ත තෝමස් විද්‍යාලය කාසියේ වාසිය ජයග්‍රහණය කරමින් මහින්ද විද්‍යාලයට පළමුව පිතිකරණය සඳහා අවස්ථාව ලබා දුන්නේය. මාතර උයන්වත්ත පිටියේ දී අද අවසන් වූ මෙම තරගය මහින්ද විද්‍යාලය ඉනිමකින් හා ලකුණු 104කින් ජයග්‍රහණය කළේය.

අශේන් කණ්ඩම්බි ඇතුළු මහින්ද විද්‍යාලයේ ක්‍රීඩකයෝ පළමු ඉනිම ලකුණු 292ක් දක්වා ඔසවා තැබුවේ, සාන්ත තෝමස් විද්‍යාලයට දැඩි පීඩනයක් ලබා දෙමිනි. එහි දී අශේන් ලකුණු 75ක් ලබාගත් අතර, විනුර දුල්සර හා ආර්. එච්. වැලිහිඳ ලකුණු 51ක් ලබාගෙන අශේන් දැමූ අඩිතාලම තව තවත් ශක්තිමත් කළේය. පසුව ඔවුන් සිය පළමු ඉනිම අත්හිටුවීමට තීරණය කළේය. ලහිරු ඩිල්ශාන් කඩුලු 2යි.

පිළිතුරු පළමු ඉනිම දියත් කළ සාන්ත තෝමස් විද්‍යාලයට සියල්ලන්ම දැවී ලබා ගැනීමට හැකි වූයේ, ලකුණු 132කි. ඉනිමක පරාජයෙන් ගැලවීමට ලකුණු 155ක ඉලක්කයක් ද සහිතව යළිත් පිටියට පැමිණි සාන්ත තෝමස් ක්‍රීඩකයින්ට සියල්ලන්ම දැවී රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 51කි.

මෙම තරගය පුරාවට මහින්ද ක්‍රීඩක කවිඳු එදිරිවීර කඩුලු 7ක් දවා ගැනීමට සමත් විය.

මහින්ද විද්‍යාලය පළමු ඉනිම – 292/5 dec (71.3): අශේන් කණ්ඩම්බි 75, විනුර දුල්සර 68, ආර්. එච්. වැලිහිඳ 51, නවෝද් පරණවිතාන 45, ලහිරු ඩිල්ශාන් 2/32.

සාන්ත තෝමස් විද්‍යාලය පළමු ඉනිම – 137/10 (56.3): කවිඳු එදිරිවීර 3/48, කුශාන් පුංචිහේවා 2/29.

සාන්ත තෝමස් විද්‍යාලය දෙවන ඉනිම (F/O) – 51/10 (27.4): කවිඳු එදිරිවීර 4/13, අශේන් කණ්ඩම්බි 3/14.


ලුම්බිණි විද්‍යාලය හා කෝට්ටේ ජනාධිපති විද්‍යාලය

කෝට්ටේ ජනාධිපති විද්‍යාලයට කඩුලු 7ක ජයග්‍රහණයක් හිමි කර දුන් මෙම තරගය කොළඹ කෝල්ට්ස් පිටියේ දී පැවැත්විය.

කාසියේ වාසියේ ද සමඟින් පළමුව පිටියට අවතීර්ණ වූ ලුම්බිණි ක්‍රීඩකයින් සිය පළමු ඉනිමට සියල්ලන්ම දැවී රැස්කර ගත්තේ ලකුණු 107කි. එහි දී පූර්ණ සඳරුවන් ලකුණු 25ක් ලබා ගන්නා ලදි. තනුල චමෝද් කඩුලු 3යි.

පිළිතුරු පළමු ඉනිම ආරම්භ කළ ජනාධිපති විද්‍යාලය වෙනුවෙන් ඉරංග හශාන් ලකුණු 60ක් ලබාගෙන ඔවුන්ගේ ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ, ජනාධිපති විද්‍යාලයේ පළමු ඉනිම ලකුණු 212ක් ලෙස සනිටුහන් කරමිනි. පන්දු යැවීමේ දී කවීන් පීරිස් කඩුලු 5ක් දවා ගන්නා ලදි.

ලකුණු 105ක අවාසියක් ද සහිතව සිය දෙවන ඉනිම දියත් කළ ලුම්බිණි විද්‍යාලයට සත්සර මදුමාල්ගේ ඉවසිලිවන්ත පිතිකරණය නිසා ඉනිමක පරාජයෙන් ගැලවීමට හැකි විය. එහි දී මදුමාල් ලකුණු 35ක් රැස්කර ගන්නා ලදි. දක්ෂ පන්දු යැවීමක නිරත වූ හශිදු ප්‍රමුඛ කඩුලු 5ක් දවා ගන්නා ලදි. පසුව  දෙවන ඉනිම ඇරඹූ ජනාධිපති විද්‍යාල ක්‍රීඩකයෝ කඩුලු 3ක් දැවී ලකුණු 48ක් ලබාගෙන තරගයේ ජය තහවුරු කළහ.

ලුම්බිණි විද්‍යාලය පළමු ඉනිම – 107/10 (45.3): පූර්ණ සඳරුවන් 25, හේමාල් ලංකාර 24, තනුල චමෝද් 3/21, දිනිත් නෙළුම්දෙණිය 2/14, රිසාස් මව්රොශාන් 2/33.

ජනාධිපති විද්‍යාලය පළමු ඉනිම – 212 (64): ඉරංග හශාන් 60, තනුල චමෝද් 33, රිෆාස් මවුරෝස් 32, කවීන් පීරිස් 5/56, චේමිත පීරිස් 3/41, ධනංජය දාබරේ 2/63.

ලුම්බිණි විද්‍යාලය දෙවන ඉනිම – 152/10 (42.1): සත්සර මදුමාල් 35, හශිදු ප්‍රමුඛ 5/42.

ජනාධිපති විද්‍යාලය දෙවන ඉනිම – 48/3 (16.4):


මහනුවර සාන්ත සිල්වෙස්ටර් හා වෙන්නප්පුව සාන්ත ජෝසප් විද්‍යාලය

පල්ලෙකැලේ බන්ධනාගාර පිටියේ දී ඊයේ (14) ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය.  මෙම තරගය ජය පරාජයෙන් තොරව අවසන් වුවත්, සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය පළමු ඉනිමේ ජයග්‍රහණයක් ලබා ගන්නා ලදි.

සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය වෙනුවෙන් එම්. පවිත්රන් ලකුණු 51යි. කනිශ්ක නානායක්කාර කඩුලු 2ක් දවා ගනිමින් ජෝසප් වාස් විද්‍යාලය වෙනුවෙන් සහය වූයේ, සිය ප්‍රතිවාදීන්ව ලකුණු 214කට සීමා කරමිනි.

පිළිතුරු පළමු ඉනිම දියත් කළ ජෝසප් වාස් විද්‍යාලය සිය පිළිතුරු ඉනිමට රැස්කර ගත්තේ, ලකුණු 120ක් පමණි. එවැනි මට්ටමකට ඔවුන්ගේ පිතිකරණය දුර්වල කළ බී. ආර්. ඒ. එම්. බාලසූරිය, ජයසේකර හා අත්තනගල්ල කඩුලු 3 බැඟින් දවා ගන්නා ලදි.

පසුව තවත් ලකුණු 94ක් ඉදිරියෙන් පසුවෙමින් සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය ඔවුන්ගේ දෙවන ඉනිම ආරම්භ කරන ලදි. ඔවුන් එම ඉනිමට ලකුණු 85ක් එක්කොට ඉනිම අත්හිටුවා ජෝසප් වාස් විද්‍යාලයට සිය ජයග්‍රහණයට ලකුණු 180ක ඉලක්කයක් ලබා දුන්න ද, තරගයේ අවසාන දිනය අවසානයේ කඩුලු 5ක් දැවී ඔවුන්ට ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 58ක් පමණි. එහි දී ද බාලසූරිය කඩුලු 2ක් දවා ගන්නා ලදි.

සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය පළමු ඉනිම – 214/10 (90.1): එම්. පවිත්රන් 51, ආර්. එම්. එම්. ජේ. රාජපක්ෂ 39, එම්. ඒ. කේ. එන් මුණවීර 30, බී. ආර්. ඒ. එම් . බාලසූරිය 24, කනිශ්ක නානායක්කාර 2/09.

සාන්ත ජෝසප් වාස් විද්‍යාලය පළමු ඉනිම – 120/10 (43.4): බී. ආර්. ඒ. එම්. බාලසූරිය 3/13, කේ. ජයසේකර 3/22, එන්. එච්. අත්තනගල්ල 3/37.

සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය දෙවන ඉනිම –  85/9 dec  (36): කනිශ්ක නානායක්කාර 3/20, කනිශ්ක ප්‍රනාන්දු 2/02 , නෙරංජන රොද්‍රිගෝ 2/16.

සාන්ත ජෝසප් වාස් විද්‍යාලය දෙවන ඉනිම – 58/5 (20): බී. ආර්. ඒ. එම්. බාලසූරිය 2/03.


සාන්ත ජෝසප් විද්‍යාලය හා සාන්ත පැට්‍රික් විද්‍යාලය

“පාලක කුසලානය” (Rector’s trophy) ලෙස හඳුන්වනු ලබන කුසලානය උදෙසා පැවැත්වෙන ක්‍රිකට් තරගය අද මරදාන සාන්ත ජෝසප් විද්‍යාලයේ සත්කාරකත්වය ඇතිව ආරම්භ විය. තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ සාන්ත පැට්‍රික් විද්‍යාලය පළමුව පන්දු යැවීමට තීරණය කරන ලදි.

තණතීරුවේ හැසිරීම් හොඳින්ම දන්නා සාන්ත ජෝසප් විද්‍යාලය ඔවුන්ගේ පළමු ඉනිම සාන්ත පැට්‍රික් පන්දු යවන්නන් හමුවේ යම්තාක් මට්ටමකට හෝ සාර්ථක කර ගත්තේය. එහි දී ජොහාන් ද සිල්වා ලකුණු 62ක් ලබා ගැනීමට පිටිය සිසාරා විසිරුණු පිතිකරණයක් දියත් කළේ, ඔහුගේ අර්ධ ශතකයට ද මඟ විවර කරගෙනයි.

ඔහුට සහයක් වුනු සචින්ත මහින්දසිංහ හා ඩිනාල් අනුරුද්ධ පිළිවෙළින් ලකුණු 59*ක් හා ලකුණු 45ක් ලබා ගත්තේ සාන්ත පැට්‍රික් පන්දු යවන්නන්ට සැලකිය යුතු අභියෝගයක් ලබා දමෙිනි. ජේ. අනොජන් කඩුලු 3යි.

තරගයේ පළමු දිනය අවසන් වන විට සාන්ත පැට්‍රික් පළමු ඉනිමට ද, තිත තැබීමට සාන්ත ජෝසප් පන්දු යවන්නන්ට හැකි විය. එහි දී අශෙන් ඩැනියල් හා දුනිත් වෙල්ලාගේ පිළිවෙළින් කඩුලු 5ක් හා 4ක් දවා ගනිමින් සුපිරි පන්දු යැවීමක නිරත වූයේ, පැට්‍රික් පිතිකරුවන් මවිත කරවමිනි. තරගයේ පළමු දිනය අවසන් වන විට, සාන්ත ජෝසප් විද්‍යාලය, සාන්ත පැට්‍රික් පළමු ඉනිමට වඩා ලකුණු 247ක් ඉදිරියෙන් පසුවන්නේ තරගයේ වැඩි වාසිය ඔවුන් සන්තකයේ රඳවා ගෙනයි.

සාන්ත ජෝසප් විද්‍යාලය පළමු ඉනිම – 285/8 dec (63.5): ජොහාන් ද සිල්වා 62, සචින්ත මහින්දසිංහ 59*, ඩිනාල් අනුරුද්ධ 45, කැමරන් දුරුගේ 42, යෙසිත් රූපසිංහ 26, ජේ. අනොජන් 3/68.

සාන්ත පැට්‍රික් විද්‍යාලය පළමු ඉනිම –  38/10 (22.3): අශේන් ඩැනියල් 5/06, දුනිත් වෙල්ලාගේ 4/10.

මෙම තරගයේ දෙවන හා අවසන් දිනය හෙට (16) පැවැත්වේ.

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න –ක්‍රිකට් ක්‍රීඩා පිටුවට