රිච්මන්ඩ් – නාලන්ද තරගය හෙට (14) තවත් උණුසුම් වන ලකුණු!

413
Singer U19 Schools Cricket

වයස අවුරුදු 19න් පහළ සිංගර් පාසල් ක්‍රිකට් තරග වාරයේ අද (13) පැවති පළමු කාණ්ඩයේ තරග අතුරින් ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය සහ කොළඹ නාලන්දා විද්‍යාලය අතර තරගය ජයග්‍රහණය දෙපසටම දෝලනය වෙමින් යන අපූරු තරගයක් බවට පත්ව තිබේ. එබැවින් ජයග්‍රාහකයෙකු පිලිබඳ නිවැරදි අවබෝධයක් ලබන්නට හෙට (14) දිනය වනතුරු බලා සිටින්නට සිදුවේ. අද ප්‍රථම දිනයට ක්‍රියාත්මක වූ තවත් තරග ද කිහිපයකි.

පසුගිය ලිපි: නිස්සංකගේ පිත්ත ඉසිපතනයට නොසිතූ ජයක් ගෙන එයි.

ත්‍රිත්ව විද්‍යාලය සහ කෑගල්ල සාන්ත මරියා විද්‍යාලය අතර තරගය

අස්ගිරි ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මෙම තරගයේ ප්‍රථම දිනයේ නිමාව සනිටුහන් වන විට ත්‍රිත්ව විද්‍යාලය තරගයේ වැඩි වාසිය හිමිකර ගැනීමට සමත් වී තිබිණි. කාසියේ වාසිය ජයගත් ත්‍රිත්ව විද්‍යාලය මුලින්ම පන්දුවට පහර දීම තෝරාගත් අතර ඔවුන් කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 308ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවන්නට තීරණය කළහ.

ත්‍රිත්ව විද්‍යාලයේ වර්තමානයේ හොඳම දක්ෂතා අතර සිටින ශම්මුගනාදන් ශැනොගීත් එහිදී නොදැවී ලකුණු 151ක් රැස් කළේ ශ්‍රී ලංකාවෙන් බිහි වන තවත් අනාගත ක්‍රිකට් තරුවක් ගැන ඉඟි පහළ කරමිනි. කළණ ද සොයිසා නොදැවී ලකුණු 67යි.

පිලිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි කෑගල්ල සාන්ත මරියා පිතිකරුවෝ දිනය නිමාවන විට කඩුලු 4ක් දැවී ලකුණු 63ක් ලබාගෙන අසීරු තත්වයක පසුවෙති.

ත්‍රිත්ව විද්‍යාලය කඩුලු 2ක් දැවී ලකුණු 308 (පන්දුවාර 64.1) ශම්මුගනාදන් ශැනොගීත් 151*, කළණ ද සොයිසා 67*, හසිත බොල්ගොඩ 46.

සාන්ත මරියා විද්‍යාලය කඩුලු 4ක් දැවී ලකුණු 63 (පන්දුවාර 23) ලහිරු කුලසිරි 16, සඳරු ශ්‍රියසාන්ත 15*, තිසර ඩිල්ශාන් 2/10, හසිත බොල්ගොඩ 1/8.


කොළඹ නාලන්ද විද්‍යාලය සහ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය අතර තරගය

නාලන්ද විද්‍යාලය සත්කාරකත්වය දරන මෙම තරගය අද පැවතියේ ප්‍රථම දිනයටයි. ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ ආරාධනයට අනුව පිටියට පිවිසි කොළඹ නාලන්දා පිතිකරුවන්ට රැස් කිරීමට හැකි වූයේ ලකුණු 190ක් පමණි. එහිදී කසුන් සඳරුවන් ලකුණු 45ක් රැස් කිරීමට සමත් වූ අතර කවිශ්ක සහ තවීෂ අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියේය.

දිනය නිමාවන වන විට සිය ප්‍රථම ඉනිම ක්‍රීඩා කරන රිච්මන්ඩ් පිතිකරුවෝ කඩුලු 5ක් දැවී ලකුණු 112ක් ලබාගෙන සිටිති. තරගයේ ප්‍රථම දිනය ගෙවී ගිය අයුරු සලකා බැලූ විට මෙම තරගය හෙට දිනයේදී තව තවත් උණුසුම් වන බව කිව හැකිය.

කොළඹ නාලන්දා විද්‍යාලය සියල්ලන්ම දැවී ලකුණු 190 (පන්දුවාර 54.3) කසුන් සඳරුවන් 45, දිල්හාර පොල්ගම්පළ 27, මාලිංග අමරසිංහ 23, කවිශ්ක විජයසිරි 2/18, තවීෂ අභිෂේක් 2/33.

ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය කඩුලු 5ක් දැවී ලකුණු 112 (පන්දුවාර 38) චාමිකර හේවගේ 35, සුරංග විජේවර්ධන 2/21.


මොරටු විද්‍යාලය සහ අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය අතර තරගය

අද ප්‍රථම දිනයට ක්‍රියාත්මක වූ පළමු කාණ්ඩයේ තවත් තරගයක් වූ මෙය කරන්දෙනිය ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. මෙහිදී කාසියේ වාසිය ජයගත් අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල් නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව මොරටු විද්‍යාලයට ලබා දුන්නේ අඩු ලකුණු ගණනක් තුල ඔවුන්ව දවා ගැනීමේ බලාපොරොත්තුවෙනි. එම බලාපොරොත්තු සඵල කරමින් මොරටු පිතිකරුවන් සියලු දෙනාම ලකුණු 123ක් තුල දවා ගන්නට ධර්මාශෝක පන්දු යවන්නෝ සමත් වූහ. මදුශ්ක ප්‍රනාන්දු පමණක් අර්ධ ශතකයක් රැස්කල අතර කවිඳු නදීශාන් කඩුලු 3ක් බිඳ හෙලන ලදී.

පිලිතුරු ඉනිම ක්‍රීඩා කරන ධර්මාශෝක විද්‍යාලය අද දිනය නිමාවන විට කඩුලු 6ක් දැවී ලකුණු 219ක් ලබා සිටියි. ධර්මාශෝකය වෙනුවෙන් සුපිරි ඉනිමක් ක්‍රීඩා කරමින් සිටින රවිඳු ක්‍රිශාන්ත නොදැවී ලකුණු 117යි.

මොරටු විද්‍යාලය සියල්ලන්ම දැවී ලකුණු 123 (පන්දුවාර 33.3) මදුශ්ක ප්‍රනාන්දු 55, නිමේෂ් මෙන්ඩිස් 2/29, කවිඳු නදීශාන් 3/14, ලොහාන් ද සොයිසා 2/27.

ධර්මාශෝක විද්‍යාලය කඩුලු 6ක් දැවී ලකුණු 219 (පන්දුවාර 61) රවිඳු ක්‍රිශාන්ත 117*, දිනුක ඩිල්ශාන් 34, නිරාජ් කණිෂ්ක 2/19, ජනිත් සෙව්මිත් 2/67.


සාන්ත තෝමස් විද්‍යාලය සහ සාන්ත ඇලෝසියස් විද්‍යාලය අතර තරගය

සාන්ත තෝමස් විද්‍යාලීය ක්‍රීඩා පිටියේදී පැවැත්වෙන මෙම තරගයත් අද ක්‍රියාත්මක වූයේ ප්‍රථම දිනයටයි. එහිදී කාසියේ වාසිය දිනාගත් සත්කාරකයෝ මුලින්ම පන්දුවට පහර දීමට තීරණය කළහ. ඒ අනුව පිටියට පිවිසි ඔවුන්ට ලබාගත හැකි වූයේ ලකුණු 162ක් පමණි. තෝමස් විද්‍යාලය වෙනුවෙන් ගුණවර්ධන ලකුණු 45ක් රැස් කරද්දී හරීන් වීරසිංහ (5/43) සහ රවිඳු සංජන (3/26) කඩුලු 8ක් ඔවුන් දෙදෙනා අතරේ බෙදා ගැනීමට සමත් විය.

දිනය නිමාවන විට ගාල්ල සාන්ත ඇලෝසියස් විද්‍යාලය කඩුලු 2ක් දැවී රැස් කරගෙන සිටින ලකුණු ගණන 50කි. හෙට තරගයේ අවසන් දිනයයි.

සාන්ත තෝමස් විද්‍යාලය සියල්ලන්ම දැවී ලකුණු 162 (පන්දුවාර 78.1) පී. ගුණවර්ධන 45, හරීන් වීරසිංහ 5/43, රවිඳු සංජන 3/26.

සාන්ත ඇලෝසියස් විද්‍යාලය කඩුලු 2ක් දැවී ලකුණු 50 (පන්දුවාර 20) රවිඳු සංජන 26*.

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට