ශ්‍රී ලංකාවේ අනාගත ක්‍රිකට් අඹරට පායන යොවුන් ක්‍රිකට් තරුවලට දක්ෂතා දැක්වීමට වේදිකාවක් තනා දෙන ‘සිංගර් කුසලාන’ එක්දින ක්‍රිකට් තරගාවලියේ වයස අවුරුදු 17න් පහළ පළමු කාණ්ඩයේ තරග රැසක් පසුගිය දා නිමාවට පත්විය. එහි පළමු කාණ්ඩයේ තරග නියෝජනය කරමින් ජයග්‍රහණ වාර්තා කිරීමට ආනන්ද, ත්‍රිත්ව, ධර්මරාජ, තර්ස්ටන් විද්‍යාල සහ දෙබරවැව ජාතික පාසල සමත් විය.

නිපුන්ගේ තුන් ඉරියව් දක්ෂතා ජෝසප් වාස් විදුහලට ජය ගෙනෙයි

ශ්‍රී ලාංකේය ක්‍රීඩාව ඉහළ තලයකට ගෙන යාමට අවශ්‍ය ක්‍රිකට් අංකුර සොයා දෙන සිංගර් කුසලාන වයස අවුරුදු 17න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු කාණ්ඩය…

දෙබරවැව ජාතික පාසල සහ මාතර සාන්ත තෝමස් විද්‍යාලය

මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණු මෙම තරගයේ දෙපිළෙන්ම ඉතාමත් අඩු ලකුණු සංඛ්‍යා වාර්තා වුවද තරගකාරීත්වය නම් උපරිමයෙන්ම ගැබ්වී තිබුණි. අවසානයේ මාතර සාන්ත තෝමස් විද්‍යාලය පරදා ලකුණු 2ක තියුණු ජයක් හිමිකර ගැනීමට දෙබරවැව ජාතික පාසලට හැකි විය. මුලින් පන්දුවට පහර දුන් දෙබරවැව ජාතික පාසල පන්දුවාර 38ක් අවසානයේ ලකුණු 86කට දැවී ගිය අතර ඒ වන විට සාන්ත තෝමස් ක්‍රීඩකයින් පැමිණ සිටියේ ජයග්‍රහණය පෙනෙන තෙක් මානයටයි.

සුපිරි පන්දු යැවීමක නිරත වුනු නිමන්තන භාෂණ ලකුණු 9කට කඩුලු 6ක් බිඳ හෙලමින් තෝමස් විද්‍යාලය වෙනුවෙන් උපරිම සේවයක් ඉටු කළ ක්‍රීඩකයා බවට පත්විය. සතිර තීක්ෂණ ලකුණු 15ට කඩුලු 2යි. දෙබරවැව ජාතික පාසල වෙනුවෙන් එස්. හංසල ලකුණු 21ක් රැස්කර ගත්තේය. කෙසේ වෙතත් තෝමස් ක්‍රීඩකයින්ගේ බලාපොරොත්තු බොඳවී යන්නේ දෙබරවැව විද්‍යාලයේ පන්දු යැවීමේ දක්ෂතා හමුවේ සාන්ත තෝමස් ඉනිම ලකුණු  84කට සීමා වීමත් සමඟයි. ඒ වෙනුවෙන් එම්. ආර්. සූදීන් ලකුණු 16කට කඩුලු 4ක් දවා ගනිමින් ඉහළ දක්ෂතා ප්‍රකට කළේය. මීට අමතරව එස්. හංසල ද කඩුලු 2ක් දවා ගත්තේය.

දෙබරවැව ජාතික පාසල – සියල්ලන්ම දැවී ලකුණු 86 (පන්දුවාර 38): එස්. හංසල 21, නිමන්තන භාෂණ 6/09, සතිර තීක්ෂණ 2/15.

සාන්ත තෝමස් විද්‍යාලය මාතර – සියල්ලන්ම දැවී ලකුණු 84 (පන්දුවාර 31.1): මිහිසල් අමෝද 27, එම්. ආර්. සූදින් 4/16, එස්. හංසල 2/02.


ආනන්ද විද්‍යාලය සහ ගුරුකුල විද්‍යාලය අතර තරගය

ආනන්ද විද්‍යාලයට ලකුණු 17ක ජයක් හිමිවුණු මෙම තරගය මහර ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණි. තරගයේ මුලින් පන්දුවට පහර දුන් ඔවුන් පන්දුවාර 46යි පන්දු 5ක් අවසානයේ ‍රැස්කර ගත්තේ ලකුණු 118ක් පමණි. එහි දී කණිෂ්ක රන්තිලකගේ ලකුණු 30ක් වාර්තා කර ගත් අතර කවිඳු සඳරුවන් ලකුණු 26ට කඩුලු 3ක් බිඳ හෙලීය.

කෙසේ වෙතත් මෙම අඩු ලකුණු සංඛ්‍යාව හඹා ගිය ගුරුකුල විද්‍යාලය ලකුණු 101කට සීමා වීමත් සමඟම ආනන්ද විද්‍යාලයට නොසිතූ ජයක් හිමි විය. ඒ වෙනුවෙන් දෙනෙත් ප්‍රමෝද්‍ය ලකුණු 19කට කඩුලු 3ක් බිඳ හෙලමින් දස්කම් දක්වද්දී දසුන් සෙනවිරත්න සහ නදීශ කරුණාරත්න කඩුලු 2 බැගින් දවා ගනිමින් ආනන්ද විද්‍යාලයට ජය මාවත පෙන්වූහ.

ආනන්ද විද්‍යාලය – සියල්ලන්ම දැවී ලකුණු 118 (පන්දුවාර 46.5): කණිෂ්ක රන්තිලකගේ 30, ලක්ෂිත අමරසේකර 19, කවිඳු සඳරුවන් 3/26, ලික්ෂාන් සසංග 2/22.

ගුරුකුල විද්‍යාලය – සියල්ලන්ම දැවී ලකුණු 101 (පන්දුවාර 45.4): නුවන්ත මධුෂාන් 24, දෙනෙත් ප්‍රමෝද්‍ය 3/19, දසුන් සෙනවිරත්න 2/16, නදීශ කරුණාරත්න 2/25.


ත්‍රිත්ව විද්‍යාලය සහ සාන්ත ආනා විද්‍යාලය අතර තරගය

කොළඹින් දුර බැහැර කුරුණෑගල දී පැවති මෙම තරගය තියුණු තරගයකින් අනතුරුව ලකුණු 6කින් ජය ගැනීමට ත්‍රිත්ව විද්‍යාලය සමත් විය. ඒ ප්‍රතිවාදී සාන්ත ආනා ක්‍රීඩකයින් පරාජය කරමිනි. මුලින් පන්දුවට පහර දුන් ත්‍රිත්ව විද්‍යාලය සියල්ලන්ම දැවී රැස්කර ගත්තේ ලකුණු 129ක් පමණි. ඒ වෙනුවෙන් භාතිය දිසානායක ලකුණු 36ක් රැස් කර ගත් අතර හිරුෂ, අවිශ්ක, කවිඳු සහ ලසිත කඩුලු 2 බැගින් දවා ගත්හ.

මෙම ලකුණු පුවරුව හඹා යන්නට උත්සාහ ගත් සාන්ත ආනා විද්‍යාලය ලකුණු 123කට නතර කර ගන්නට ත්‍රිත්ව විද්‍යාලය සමත් විය. ඒ වෙනුවෙන් චානුක, භාතිය, නාගිත සහ නරේන්ද්‍යනාත් කඩුලු 2 බැගින් දවා ගනිමින් සුවිශේෂී දක්ෂතා දැක්වූහ. ලසිත් වර්ණකුලසූරිය ලකුණු 24ක් රැස් කරමින් සාන්ත ආනා විද්‍යාලයට ජයග්‍රහණයක් ගෙන දෙන්නට උත්සාහ කළ ද එම සැලසුම් ත්‍රිත්ව පන්දු යැවීම හමුවේ ව්‍යර්ථ විය.

ත්‍රිත්ව විද්‍යාලය – සියල්ලන්ම දැවී ලකුණු 129 (පන්දුවාර 40.5): භාතිය දිසානායක 36, හිරුෂ ද සිල්වා 2/15, අවිශ්ක රූපසිංහ 2/25, කවිඳු රණසිංහ 2/29, ලසිත වර්ණකුලසූරිය 2/31.

සාන්ත ආනා විද්‍යාලය – සියල්ලන්ම දැවී ලකුණු 123 (පන්දුවාර 48.3): ලසිත් වර්ණකුලසූරිය 24, චානුක කුමාරසිංහ 2/14, භාතිය දිසානායක 2/17, නාගිත විජේසුන්දර 2/21, නරේන්ද්‍යනාත් අශෝක් 2/28.


තර්ස්ටන් විද්‍යාලය සහ මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය අතර තරගය

ක්‍රිකට් ක්‍රීඩාවේ සුපිරි දස්කම් දක්වන පාසල් දෙකක් අතර පැවැත්වුණු මෙම තරගය තර්ස්ටන් විද්‍යාලයට ලකුණු 24ක ජයග්‍රහණයක් ගෙන දෙමින් නිමාවට පත්විය. ඒ අයහපත් ආලෝක තත්ත්වය නිසා නතර කෙරුණු තරගයේ ජයග්‍රහණය පැරබෝලා න්‍යායට අනුව ගණනය කිරීමත් සමඟයි. තරගයේ මුලින් පන්දුවට පහර දුන් තර්ස්ටන් විද්‍යාලය කඩුලු 9ක් දැවී ලකුණු 189ක් රැස්කළ අතර ටිතිර වීරසිංහ සහ ජයවිහාන් මහවිතාන ඒ සඳහා අර්ධ ශතක දෙකකින් දායක විය. පන්දු යැවීමේ දී නවීන් ප්‍රනාන්දු ලකුණු 43කට කඩුලු 4ක් බිඳ හෙලීය.

ඉන් අනතුරුව තමන්ට හුරුපුරුදු විද්‍යාලයීය ක්‍රීඩා පිටියේ දී පන්දුව මැනවින් හැසිර වූ තර්ස්ටන් ක්‍රීඩකයින් ප්‍රතිවාදී මාරිස් ස්ටෙල්ලා විද්‍යාලයේ කඩුලු 8ක් ලකුණු 147ක් තුල දී දවා ගැනීමට සමත් වූහ. මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය වෙනුවෙන් කෙවින් පෙරේරා ලකුණු 41ක් රැස් කරද්දී සඳරු, ශාලුක සහ ජයවිහාන් යන ක්‍රීඩකයින් කඩුලු 2 බැගින් බිඳ දැමීමට සමත් වූහ.

තර්ස්ටන් විද්‍යාලය – කඩුලු 9ක් දැවී ලකුණු 189 (පන්දුවාර 45): ටිතිර වීරසිංහ 66, ජයවිහාන් මහවිතාන 53, නවීන් ප්‍රනාන්දු 4/43, තිලිණ පෙරේරා 2/26.

මාරිස්ටෙලා විද්‍යාලය – කඩුලු 8ක් දැවී ලකුණු 147 (පන්දුවාර 37): කෙවින් පෙරේරා 41, නවීන් ප්‍රනාන්දු 30, චතුර අනුරාධ 21, සඳරු ඩයස් 2/17, ශාලුක බණ්ඩාර 2/18, ජයවිහාන් මහවිතාන 2/35.


ධර්මරාජ විද්‍යාලය සහ සාන්ත අන්තෝනි විද්‍යාලය අතර තරගය

ඉසුරු දයානන්දගේ අර්ධ ශතකයෙන් සහ උපේන්ද්‍ර වර්ණකුලසූරියගේ පිතිකරණයෙන් ශක්තිමත් වුනු ධර්මරාජ විද්‍යාලයට මෙහි දී ලකුණු 13ක ජයක් අත්විය. මුලින් පන්දුවට පහර දුන් ඔවුන් ඉනිම නිමාවීමට පන්දු 2ක් ඉතිරිව තිබිය දී ලකුණු 185කට දැවී ගියේය. ධර්මරාජය වෙනුවෙන් ඉසුරු දයානන්ද ලකුණු 57ක් රැස්කළ අතර මොහොමඩ් කමිල් කඩුලු 3ක් බිඳ දැමීමට සමත් විය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සාන්ත අන්තෝනි ක්‍රීඩකයින් තරගය නතර කරන විට රැස් කරගෙන සිටියේ කඩුලු 9ක් දැවී ලකුණු 162ක් පමණක් වන නිසා පැරබෝලා න්‍යායට අනුව ධර්මරාජ විද්‍යාලයට ලකුණු 13ක ජයක් හිමිකර දෙන්නට තරග තීරකයින් පියවර ගත්තේය. පන්දු යැවීමේ දී උපේන්ද්‍ර වර්ණකුලසූරිය ලකුණු 13කට කඩුලු 3ක් දවා ගත් අතර සාන්ත අන්තෝනි විද්‍යාලය වෙනුවෙන් හුදකලා සටනක නිරත වුනු ගිහාන් අචින්ත නොදැවී ලකුණු 72ක් රැස් කළේය.

ධර්මරාජ විද්‍යාලය – සියල්ලන්ම දැවී ලකුණු 185 (පන්දුවාර 49.4): ඉසුරු දයානන්ද 57, දුලාජ් බණ්ඩාර 36, මොහොමඩ් කමිල් 3/23, කල්හාර සේනාරත්න 2/02, ගයාන් සමරසිංහ 2/24, නවෝද්‍ය විජේකුමාර 2/38.

සාන්ත අන්තෝනි විද්‍යාලය – කඩුලු 9ක් දැවී ලකුණු 162/9 (පන්දුවාර 43.1): ගිහාන් අචින්ත 72*, උපේන්ද්‍ර වර්ණකුලසූරිය 3/13, නවින්ද ඩිල්ශාන් 2/15, විරාජිත් ඇහැලේපොළ 2/23.


වෙස්ලි විද්‍යාලය සහ බණ්ඩාරනායක විද්‍යාලය අතර තරගය

කණ්ඩායමකින් ඉහළ ලකුණු සංඛ්‍යාවක් වාර්තා වුනු එකම තරගය වන මෙම තරගයේ මුලින් පන්දුවට පහර දුන් වෙස්ලි විදුහල තමන්ට නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 275ක් රැස්කර ගන්නට සමත් විය. සුපිරි පිතිකරණයක යෙදුණු ප්‍රබෝද් පෙරේරා නොදැවී ලකුණු 95ක් රැස් කරගත් අතර ඔහුට ශතකය කරා යාමට ඉඩ ප්‍රස්ථාවක් උදා නොවීම මෙම තරගයේ දී වෙස්ලි කණ්ඩායම පැත්තෙන් සිදුවුනු එකම අවාසනාවන්ත සිදුවීම බවට පත්විය.

මෙම දැවැන්ත ඉනිම හඹා යාමට උත්සාහ කළ බණ්ඩාරනායක විද්‍යාලය ලකුණු 94කට දැවී යාමත් සමඟ වෙස්ලි විද්‍යාලයට ලකුණු 181ක සුපිරි ජයක් හිමි විය. පන්දු යැවීමේ දී ශෂී සෝමරත්න ලකුණු 29කට කඩුලු 3ක් දවා ගනිද්දී මොවින් සුබසිංහ සහ සනුර අමරසිංහ අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියේය. ඔවුන්ගේ පන්දු යැවීමේ දක්ෂතා හමුවේ බණ්ඩාරනායක විද්‍යාලයීය පිතිකරුවන්ට පිටියේ රැඳී සිටීමට හැකි වූයේ පන්දුවාර 25ක් පමණි. තරගය කොළඹ කැම්බල් ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණි.

වෙස්ලි විද්‍යාලය – කඩුලු 5ක් දැවී ලකුණු 275 (පන්දුවාර 50): ප්‍රබෝද් පෙරේරා 95*, තිසුරක අක්මීමන 61, ශෙනාල් දංගල්ල 59*, මොවින් සුබසිංහ 22, ජනිඳු ජයවර්ධන 3/24.

බණ්ඩාරනායක විද්‍යාලය – සියල්ලන්ම දැවී ලකුණු 94 (පන්දුවාර 25): ජනිඳු ජයවර්ධන 38, දිලීප සඳරුවන් 30, ශෂී සෝමරත්න 3/29, මොවින් සුබසිංහ 2/07, සනුර අමරසිංහ 2/10.

තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න  පාපන්දු ක්‍රීඩා පිටුවට