කිංග්ස්වුඩ් උත්සාහක දිනුම් දහයකින් අලුත් අවුරුද්දේ වැඩ අල්ලයි

297

සති දෙකක අලුත් අවුරුදු විවේකයෙන් පසු සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ දෙවන වටය අද (20) ආරම්භ වූයේ පළඟ ශූරතාවයේ පළමු තරගය සමඟිනි. B කාණ්ඩයෙන් පළඟ ශූරතාවයට පිවිසුණු ශ්‍රී සුමංගල විද්‍යාලය පරාජය කරමින් ලකුණු 58-18ක් ලෙස තරගයේ ජයග්‍රහණය හිමි කර ගන්නට A කාණ්ඩයේ සිට පැමිණි මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය සමත් විය. මෙම උණුසුම් තරගය පැවැත්වුණේ මහනුවර නිත්තවෙල ක්‍රීඩාංගණයේ දීයි.  

​සුමංගල හා ​කිංග්ස්වුඩ් ​පලඟ ශූරතාවය අරඹන්නට ​සූ​දානම්

වෙහෙසකාරී සති 5කින් පසු පාසල් රග්බි ලීගය දැන් කුසලාන ශූරතාවය හා පලඟ ශූරතාවය වෙනුවෙන් කාණ්ඩ දෙකකින් ක්‍රීඩා කිරීමට සූදානම්. පලඟ ශූරතාවයේ…

ශ්‍රී සුමංගල විද්‍යාලයීය B කණ්ඩායම ප්‍රබලම කණ්ඩායමක් වූ අතර ඔවුන් පරාජය වූයේ ඩී. එස්. සේනානායක විද්‍යාලයට පමණයි. අනෙක් අතට කිංග්ස්වුඩ් විද්‍යාලය A කාණ්ඩයේ ප්‍රබලම කණ්ඩායමක් වුනත් ඔවුන්ට ජය ගත හැකිව තිබූ තරග කිහිපයක් අවාසනාවන්ත ලෙස පරාජය විය. ඔවුන් සිය පළමු තරගයේ දී වෙස්ලි විද්‍යාලය පරාජය කළ අතර අනතුරුව මලියදේව විද්‍යාලය ද පරාජය කරන්නට සමත් විය.  

පළමු අර්ධයේ දී සුමංගල ක්‍රීඩකයින් කිංග්ස්වුඩ් විද්‍යාලයට ඉතා හොඳ අභියෝගයක් එල්ල කරන්නට සමත් වුනත් දෙවන අර්ධයේ දී කිංග්ස්වුඩ් ක්‍රීඩකයින් සම්පූර්ණයෙන් තරගය සුමංගල විද්‍යාලයෙන් උදුරා ගන්නට සමත් විය.

කිංග්ස්වුඩ් ක්‍රීඩකයින්ගේ පා පහරින් තරගය ආරම්භ වූ අතර පළමු මිනිත්තුවේම ඔවුන් සුමංගල ක්‍රීඩකයින්ට ප්‍රබල ආක්‍රමණයක් එල්ල කළේ සිය පසුපෙළ සමඟින් ආක්‍රමණයේ යෙදෙමිනි. පළමු මිනිත්තුවේ දී ම හිරුෂ සම්පත් හට උත්සාහක දිනුම් රේඛාව ඉක්මවා යාමට අවස්ථාවක් ලැබුනත් ඔහු අතින් පන්දුව අතහැරුණේ අවාසනාවන්ත ලෙසයි.

කෙසේ වෙතත් එම අත්වැරදීම ඉතා ඉක්මනින් නිවැරදි කර ගත් කිංග්ස්වුඩ් ක්‍රීඩකයින් සිය පසුපෙළට පණ දෙමින් සුළු කාලයක දී අලංකාර උත්සාහක දිනුම් දෙකක් වාර්තා කළේ සුමංගල ක්‍රීඩකයින්ට සිතා ගැනීමටවත් ඉඩ නොතබමිනි.

හතුරුසිංහගේ අලංකාර ධාවනයකින් පසු ආසිරි සෙනෙවිරත්න හා මොහොමඩ් ශෂාන් අතර දක්ෂ පන්දු හුවමාරුවකින් පසු ශෂාන් ලකුණු පුවරුව ක්‍රියාත්මක කරන්නට සමත් විය. තුන්වැනි මිනිත්තුවේ දී එම උත්සාහක දිනුම වාර්තා වූ අතර 6 වැනි මිනිත්තුවේ දී නැවත වතාවක් ක්‍රියාත්මක වූ ශෂාන්, සුමංගල ක්‍රීඩකයෙකුට අතහැරුණු පන්දුව රැකගෙන මීටර 35ක් අලංකාර ධාවනයක යෙදී දෙවැනි වතාවටත් ලකුණු රැස් කළේ තරගයට සුපිරි ආරම්භයක් ලබා ගනිමිනි. එම උත්සාහක දිනුම් දෙකම ප්‍රවර්තනය කරන්නට හිරුෂ සම්පත් හට හැකි වුණේ නැත. (කිංග්ස්වුඩ් 10-00 සුමංගල)    

සතියක නිහැඬියාවකින් පසු සුමංගලයින් පරාජයේ අවමානය දියකර හරියි

2019 සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ ‘බී කාණ්ඩය’ යටතේ මහනුවර ශ්‍රී සුමංගල විද්‍යාලය සහ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය අතර අද (31) පල්ලෙකැලේ දී පැවති…

සුමංගල ක්‍රීඩකයින් සිය සුපුරුදු රිද්මයට නැවත පිවිසීමට සෑහෙන වේලාවක් ගත කළ අතර 10 වැනි මිනිත්තුවේ දී සුමංගල අංක 8 ක්‍රීඩකයාට කහ කාඩ්පතක් හිමි වුණේ කිංග්ස්වුඩ් ක්‍රීඩකයෙකුට භයානක බාධා කිරීමක් සිදු කිරීම හේතුවෙනි. එහි වාසිය උපරිම ලෙස ප්‍රයෝජන ගත් කිංග්ස්වුඩ් ක්‍රීඩකයින් Line out අවස්ථාවක් ලබා ගත් අතර Rolling Maul අවස්ථාවක් ලබා ගත් ඔවුන් චතුර සොයිසාගේ සුරතින් තෙවැනි වතාවටත් ලකුණු රැස් කිරීමට සමත් විය. හිරුෂ අලංකාර ලෙස එහි ප්‍රවර්තනය සාර්ථක කර ගන්නා ලදි. (කිංග්ස්වුඩ් 17-00 සුමංගල)       

16 වැනි මිනිත්තුවේ දී සුමංගල ක්‍රීඩකයින් පළමු වතාවට කිංග්ස්වුඩ් අර්ධය ආක්‍රමණය කිරීමට සමත් වූ අතර ඔවුන් ආපසු පැමිණියේ ලකුණුත් සමඟයි. ආසිරි සෙනෙවිරත්න හට වැරදුණු පන්දු යොමු කිරීමක් ඩැහැගත් ඉශාන් දසනායක ක්ෂණිකව ධවල රේඛාව ඉක්මවා ගියේ තරගයේ උණුසුම තවත් වැඩි කරමිනි. උමේෂ් වීරකෝන් අමතර ලකුණු එකතු කළේ සුමංගල ක්‍රීඩකයින් නැවත තරගයට රැගෙන එමිනි. (කිංග්ස්වුඩ් 17-07 සුමංගල)       

අනතුරුව 24 වැනි මිනිත්තුවේ දී හිමි වූ දඬුවම් පහරක් සාර්ථක කර ගැනීමට සුමංගල ක්‍රීඩක උමේෂ් වීරකෝන් සමත් වූයේ නැත.

කිංග්ස්වුඩ් ක්‍රීඩකයින් ද ක්‍රමයෙන් පීඩනයකට ලක්වූ බව දක්නට ලැබුණු අතර ඔවුන් ද අතපසුවීම් කිහිපයක් සිදු කළේ සුමංගල ක්‍රීඩකයින්ට දඬුවම් පහර කිහිපයක් ලබා දෙමිනි. 24 වැනි මිනිත්තුවේ දී ලැබුණු දඬුවම් පහර සාර්ථක වුනත් 27 වැනි මිනිත්තුවේ දී ලැබුණු දඬුවම් පහර සාර්ථක කර ගැනීමට උමේෂ් මධුශාන් සමත් විය. (කිංග්ස්වුඩ් 17-10 සුමංගල)  

කිංග්ස්වුඩ් ක්‍රීඩකයින් පසුපසට ඇද දමමින් සුමංගල ක්‍රීඩක උමේෂ් වීරකෝන් අලංකාර Drop ගෝලයක් වාර්තා කළේ මීටර 50 සීමාවට ආසන්නයේ සිටයි. (කිංග්ස්වුඩ් 17-13 සුමංගල)       

කෙසේ වෙතත් එම ආක්‍රමණයට හෂාන් සංදීප උත්සාහක දිනුමකින් පිළිතුරු ලබා දෙන්නට සමත් විය. පළමු අර්ධය අවසානයට මොහොතක් තිබිය දී කිංග්ස්වුඩ් පසුපෙළ ක්‍රියාත්මක වූ අතර මිලාන් විරසිංහ පසුපෙළට එක් වී පන්දුව ඉදිරියට රැගෙන යාමෙන් අනතුරුව හෂාන් ලකුණු රැස් කරන්නට සමත් විය.

පළමු අර්ධය: කිංග්ස්වුඩ් විද්‍යාලය 22 (4T,1C) – 13 (1T,1C,1P,1DG) ශ්‍රී සුමංගල විද්‍යාලය

දෙවන අර්ධය ද ප්‍රබල ආක්‍රමණයක් සමඟ ආරම්භ කළ කිංග්ස්වුඩ් ක්‍රීඩකයෝ තුවාන් ෆරීඩ්ගේ සුරතින් සිය පස්වැනි උත්සාහක දිනුමත් වාර්තා කරන්නට සමත් විය. හිරුෂ අමතර ලකුණු රැස් කරන්නට සමත් වූයේ නැත. (කිංග්ස්වුඩ් 27-13 සුමංගල)

කිංග්ස්වුඩ් විද්‍යාලයේ ලකුණු මැෂිම දෙවන අර්ධයේ දී ආරම්භ වූ බවක් පෙනී ගිය අතර 40 වැනි මිනිත්තුවේ දී හෂාන් සංදීප සිය දෙවන උත්සාහක දිනුමත් වාර්තා කරන්නට සමත් විය. හිරුෂ සම්පත් අමතර ලකුණු එකතු කරන්නට සමත් විය. (කිංග්ස්වුඩ් 34-13 සුමංගල)    

44 වැනි මිනිත්තුවේ දී කිංග්ස්වුඩ් පසුපෙළ නැවතත් ක්‍රියාත්මක වූයේ පිටියේ දකුණු පසින් ලැබුණු Scrum අවස්ථාවක් සමඟයි. අලංකාර පන්දු හුවමාරු කිරීම් කිහිපයක් සමඟ පිටියේ වම් පස කොනෙන් ලකුණු රැස් කරන්නට හිරුෂ සම්පත් සමත් විය. අමතර ලකුණුත් ඔහුම එකතු කරන්නට සමත් විය. (කිංග්ස්වුඩ් 41-13 සුමංගල)

තවත් සුමංගල ක්‍රීඩකයෙකු කහ කාඩ්පතක් ලබා පිටියෙන් ඉවත් වූ අතර එහි වාසිය ඉක්මනින්ම උකහා ගත් දිනාල් ඒකනායක අලංකාර පන්දු හුවමාරු කිහිපයකට පසු ලකුණු රැස් කරන්නට සමත් විය. හිරුෂ අමතර ලකුණු එකතු කිරීමට සමත් වූයේ නැත. (කිංග්ස්වුඩ් 46-13 සුමංගල)

55 වැනි මිනිත්තුවේ දී කිංග්ස්වුඩ් විද්‍යාලයට උත්සාහක දිනුමක් පූජා කරන්නට සුමංගල ක්‍රීඩකයින් ක්‍රියා කළේ ඔවුන්ගේ අර්ධ ශතකයට දායක වෙමිනි. බිම වැටුණු පන්දුව ආරක්ෂා කරගන්නට සුමංගල ක්‍රීඩකයින් කිසිදු උනන්දුවක් නොදැක්වූ අතර පන්දුවට පා පහරක් දුන් හිරුෂ සම්පත් පහසුවෙන් පන්දුව හඹා ගොස් ලකුණු රැස් කරන්නට සමත් විය. එහි ප්‍රවර්තනය ඔහුම සාර්ථක කර ගන්නා ලදි. (කිංග්ස්වුඩ් 53-13 සුමංගල)    

කිංග්ස්වුඩ් උත්සාහක දිනුම් සංදර්ශනයෙන් මලියදේවය විඩාවට පත්වේ

2019 සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ A කාණ්ඩයේ තවත් තරගයක් අද (30) මහනුවර නිත්තවෙල ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණේ ප්‍රබල කිංග්ස්වුඩ්….

සුමංගල ක්‍රීඩකයින් තරගය අතහැර සිටි බවක් පෙනෙන්නට තිබුණේ ඔවුන් සිය උත්සාහක දිනුම් රේඛාව මත දී ම පන්දුව අතහැරීම නිසාවෙනි. කිසිවෙකුට පන්දුව රැක ගැනීමට උනන්දුවක් නොතිබුණු අතර නිපුන් ධර්මරත්න ක්ෂණිකව පන්දුව බිම ස්පර්ශ කර ලකුණු රැස් කරන්නට සමත් විය. හිරුෂගේ ප්‍රවර්තනය දෙවන වතාවටත් ගෝල කණුවේ වැදුණේ අවාසනාවන්ත ලෙසයි. (කිංග්ස්වුඩ් 58-13 සුමංගල)

අවසන් මිනිත්තු කිහිපයේ දී සුමංගල ක්‍රීඩකයින් සිය ගෞරවය සඳහා සටන් වැදුණු අතර අවසන් මිනිත්තුවේ දී අමේෂ් ජයසිංහ සිය කණ්ඩායමේ ගෞරවය වෙනුවෙන් ලකුණු රැස් කරන්නට සමත් විය.

අවසන් ලකුණු තත්වය: කිංග්ස්වුඩ් විද්‍යාලය 58 (10T,4C) – 18 (2T,1C,1P,1DG) ශ්‍රී සුමංගල විද්‍යාලය

  • ThePapare.com තරගයේ වීරයා – තුවාන් ෆරීඩ් (කිංග්ස්වුඩ්)     

ලකුණු රැස් කළ ක්‍රීඩකයෝ

  • කිංග්ස්වුඩ් විද්‍යාලය – හිරුෂ සම්පත් (2T,4C), මොහොමඩ් ශෂාන් (2T), චතුර සොයිසා (1T), හෂාන් සංදීප (2T), දිනාල් ඒකනායක (1T), තුවාන් ෆරීඩ් (1T), නිපුන් ධර්මරත්න (1T)
  • ශ්‍රී සුමංගල විද්‍යාලය – ඉශාන් දසනායක (1T), අමේෂ් ජයසිංහ (1T), උමේෂ් වීරකෝන් (1C,1P,1DG)

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<