ආනන්ද රණකාමියෝ බර අවි සමඟින් පාසල් රග්බි සටන් බිමට

96

දීර්ඝ රග්බි ඉතිහාසයකට හිමිකම් කියූවත් ගත වූ වසර කිහිපය පුරාම A කාණ්ඩය නූලෙන් අහිමි වී ගිය කණ්ඩායමක් ලෙස කොළඹ ආනන්ද විද්‍යාලය හැඳින්විය හැකිය. මෙවර අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලිය සඳහා ආනන්ද විද්‍යාලයීය රග්බි කණ්ඩායමේ සූදානම කෙබඳු ද?

අළු මතින් නැගී සිට නැවත පොර බැඳීමට සූදානම් වන කන්නංගරයින්

කනිෂ්ඨ – ජ්‍යේෂ්ඨ ක්‍රීඩක සුසංයෝගයක් හා නව මුහුණුවරක්……

අතීතයෙන් බිඳක්

එතරම් දිදුලන රග්බි ඉතිහාසයක් නොතිබුනත් පසුගිය වසර කිහිපයේ දී ආනන්ද විද්‍යාලය රග්බි පිටියේ පෙරළිකාර දස්කම් දක්වන්නට සමත් විය.

2017 වසර ආනන්ද විද්‍යාලයීය රග්බි කණ්ඩායමට ස්වර්ණමය වසරක් බවට පත්වූයේ ඔවුන් අගමැති කුසලානයේ අනුශූරයින් බවට පත් වූ නිසාවෙනි. ඔවුන් හා කුසලානය අතර තිබුණේ ලකුණු දෙකක් පමණක් වීම විශේෂත්වයකි. ඒ අතරම ලීග් තරගාවලියේ බඳුන ශූරතාවය ද දිනා ගත් ඔවුන්ට අවාසනාවන්ත ලෙස A කාණ්ඩයේ දොර වැසී ගියේ B කාණ්ඩයේ තිබූ අතිශය තරගකාරී බව නිසාවෙනි.

දිවයිනේ පැරණිතම ද්වන්ද රග්බි සංග්‍රාමයක් වන විලියම් ගොපල්ලව අනුස්මරණ රග්බි තරගාවලියත් ඔවුන් වාර්ෂිකව සහභාගී වන තවත් තරගයකි. ඒ මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය සමඟයි. ඉතා උණුසුම් ද්වන්ද සංග්‍රාමයක් වන මෙය පසුගිය වසරේ දී පැවැත්වුණේ 50 වැනි වරටයි. 1962 වසරේ දී ඇරඹුණු මෙම සංග්‍රාමය මුලදී පැවැත්වුණේ අදියර දෙකකින් යුතු තරගාවලියක් ලෙසයි.

පසුගිය තරගවාරය

ෆ්ලයි හාෆ් ක්‍රීඩක අංජන සචින්තගේ නායකත්වයෙන් තරග වැදුණු ආනන්ද කණ්ඩායමට පසුගිය තරගවාරය එතරම් සුබ වූයේ නැහැ. B කාණ්ඩයේ තරග කළ ඔවුන් පළමු වටයේ තරග පහෙන් ජය ගත්තේ එක් තරගයක් පමණයි. විද්‍යාර්ථ විද්‍යාලය හමුවේ විලියම් ගොපල්ලව පලිහ ද ඔවුන් පරාජයට පත්වූයේ අවාසනාවන්ත ලෙසයි.

මෙවර තරගවාරය

මෙවර තරගවාරයේ කොළඹ ආනන්ද විද්‍යාලයීය කණ්ඩායම තරග බිමට පිවිසෙන්නේ නව බලාපොරොත්තු රැසක් සහිතවයි.

කණ්ඩායමේ නියමුවා ලෙස මෙවර කටයුතු කරන්නේ පස්වැනි වසරේ ක්‍රීඩකයෙකු වන රුවන්ත දිලංගයි. ෆුල් බැක් ස්ථානයේ කණ්ඩායම සවිමත් කරන ඔහු පසුගිය වසර පහ පුරාම ආනන්ද පළමු පෙළ රග්බි කණ්ඩායමේ නිත්‍ය සාමාජිකයෙකි. ඉතා වේගවත් හා අත්දැකීම් බහුල ක්‍රීඩකයෙකු වන ඔහු මෙවර කණ්ඩායමේ ප්‍රධානතම තුරුම්පුවක් වනු නොඅනුමානයි. ෆුල් බැක් ස්ථානයට සීමා නොවී ස්ක්‍රම් හාෆ්, සෙන්ටර් යන එකිනෙකට වෙනස් ස්ථාන කිහිපයකම එක ලෙස දක්ෂතා දැක්වීමට ඔහුට ඇති හැකියාව සුවිශේෂයි.

සතුරන් මෙල්ල කිරීමේ අපේක්ෂාවෙන් ඉදිරියට ඇදෙන තර්ස්ට’නයිට්වරුන්

දිනෙන් දින උණුසුම් වන පාසල් රග්බි පිටිය …..

ලක්සිලු රවිහාර කණ්ඩායමේ තවත් ප්‍රධානතම අවියකි. තුන්වැනි වසර සඳහා කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයෙකු වන ඔහු දෙවන පෙළ ක්‍රීඩා කරමින් කණ්ඩායම සවිමත් කරන්නේ අත්දැකීම් රැසක් සමඟිනි. ඉතා උස ක්‍රීඩකයෙකු වන ඔහු Line out අවස්ථාවල දී කණ්ඩායමට ප්‍රබල වාසියක් වනු ඇත. ලක්සිලුගේ සහයට යෙශාන් කාවින්ද ෆ්ලෑන්කර් ස්ථානයේ ක්‍රීඩා කරන්නේ දෙවන පෙළ අනගි සබඳතාවයක් ගොඩ නගමිනි. සිව්වැනි වසරේ අත්දැකීම් බහුල ක්‍රීඩකයෙකු වන කාවින්ද හා ලක්සිලුගේ සුසංයෝගය ප්‍රතිවාදීන්ට එතරම් යහපත් නොවවනු ඇත.

ස්ක්‍රම් හාෆ් ස්ථානයේ වසර තුනක් සුපිරි දස්කම් දක්වන හිරුෂ ගිම්හාන මෙවර කණ්ඩායමේ ප්‍රධානතම ශක්තියක් වනු ඇත. වසර හතරක පළමු පෙළ අත්දැකීම් සමඟින් සටන් බිමට පිවිසෙන ඔහු මීළඟ වසරේ නායකත්වයට ද ඉහළින්ම සිටින ක්‍රීඩකයෙකි. හිරුෂගේ අත්දැකීම්වලින් හා ශූර ක්‍රීඩා විලාසයෙන් කණ්ඩායමට සුපිරි ජවයක් ලැබෙනු ඇත.

ආනන්ද කණ්ඩායමේ මෙවර තරග සැලැස්ම

  • ශ්‍රී සුමංගල විද්‍යාලය හා ආනන්ද විද්‍යාලය – මාර්තු 1, සුමංගල විද්‍යාලය ජය ගන්නා ලදි (34-18)
  • රිච්මන්ඩ් විද්‍යාලය හා ආනන්ද විද්‍යාලය – මාර්තු 7, රිච්මන්ඩ් විද්‍යාලය ජය ගන්නා ලදි (20-19)
  • ඩී. එස්. සේනානායක හා ආනන්ද විද්‍යාලය – මාර්තු 14, ඩී. එස් සේනානායක විද්‍යාලය ජය ගන්නා ලදි (69-03)
  • ආනන්ද විද්‍යාලය හා ලුම්බිණි විද්‍යාලය
  • සාන්ත බෙනඩික්ට් විද්‍යාලය හා ආනන්ද විද්‍යාලය

>> රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<