රග්බි පිටියේ රජවරු නැවතත් ඔටුන්න දිනා ගනී ද?

2862

ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාව මතක් කළ සැණින් මතකයට එන කණ්ඩායම් ද්විත්වයක් තිබෙනවා. ඉන් එක් කණ්ඩායමක් මහනුවර ක්‍රීඩා සමාජය වන අතර අනෙක නම් වසර ගණනක් පාසල් රග්බි පිටියේ රජ කළ, ‘Green Machine’ ලෙස විරුදාවලිය ලත් කොළඹ ඉසිපතන විද්‍යාලයීය රග්බි කණ්ඩායමයි.

වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පාසල් පිටියේ රජ කළ ඔවුන් 2019 සිංගර් අන්තර් පාසල් රග්බි ශූරතාවට සූදානම් ද?

අනවශ්‍ය සෙල්ලම් බැහැ – පාසල් රග්බි ලීගයේ නීති තද කරයි

මේ මස අවසානයේ ආරම්භ වීමට නියමිත 2019 සිංගර් අන්තර් පාසල් ලීග් ර…

අතීතයෙන් බිඳක්

ඉසිපතන විද්‍යාලය ආරම්භයේ සිටම පාසල් රග්බි පිටියේ අඛණ්ඩව දක්ෂතා දැක්වූ කණ්ඩායමක්. 1973 දී පාසල් රග්බි ලීගය ආරම්භ වීමත් සමඟම ක්‍රියාත්මක වන ඉසිපතනයේ හරිත හමුදාව 1984 වසරේ සිට දොළොස් වතාවක් ලීග් කුසලානයෙන් ඉසිපතන කුසලාන කැබිනෙට්ටුව පුරවන්නට සමත් වෙනවා.

2016 වසරේ පිළිමළුන් පිටුදැකීමේ තරගාවලිය දිනූ ඉසිපතන කණ්ඩායම.

1995, 1996, 1997 වසර තුනේ දී ම ඔවුන් අඛණ්ඩව ලීග් කුසලානය දිනා ගැනීම ලීග් රග්බි ඉතිහාසයේ ස්වර්ණමය අකුරින් ලියැවුණු වාර්තාවක්. ඒ කිසිදු පාසලක් මේ වන විට අඛණ්ඩව තෙවරක් සාර්ථකව ලීග් කුසලානය දිනා ගැනීමට සමත් වී නැති නිසයි.

සෙනාල් ධීලකගේ නායකත්වයෙන් බල ගැන්වුණු 2014 වසර ඉසිපතනයට අමතක නොවන වසරක් වුනා. ඒ සිංගර් ලීග් රග්බි ශූරතාව, මයිලෝ ජනාධිපති කුසලාන පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලිය හා සත් සාමාජික රග්බි තරගාවලි යන ශූරතා ත්‍රිත්වය ඔවුන් ඉසිපතනය කරා රැගෙන ගිය නිසාවෙනි.

ඉසිපතනයේ පහස ලබා ජාතික රග්බි පිටියේ සුපිරි දස්කම් දැක්වූ තරු රැසක් සිටිනවා. සජිත් මල්ලිකාරච්චි, ශම්ලි නවාස් සහ ඩිල්රෝයි ප්‍රනාන්දු වැනි ප්‍රවීණ ක්‍රීඩකයින් ඉසිපතනයෙන් ජාතික තලයට පිවිසුණු ක්‍රීඩකයින් වන අතර වත්මන් රග්බි පිටියේ සුපිරි දස්කම් දක්වන මහනුවර ක්‍රීඩා සමාජයේ ශ්‍රීනාත් සූරියබණ්ඩාර, ඔමල්ක ගුණරත්න වැනි ක්‍රීඩකයින් ද ඉසිපතනයේම නිෂ්පාදනයන්.    

http://stats.thepapare.com/rugby/team/isipathana-college/පසුගිය තරගවාරය

පසුගිය තරගවාරය ඉසිපතනයට නම් එතරම් සුබදායක වුනේ නැහැ. ඔවුන් ලීග් රග්බි තරගාවලියට පිවිසුණේ නවක ක්‍රීඩකයින් රැසක් සමඟින් වීම ඊට හේතුවයි.

මනිල්ක රුබේරු හට කණ්ඩායමේ වගකීම හිමි වූ අතර ඔවුන් ජය ගත්තේ තරග නවයකින් තරග 5ක් පමණයි. ඉන් තරග තුනක් ඔවුන් පරාජය වූ අතර එක් තරගයක් ජය පරාජයෙන් තොරව අවසන් කර ගන්නට ඔවුන් සමත් වුනා.

ඉසිපතනය 2018 සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලිය අවසන් කළේ සිව්වැනි ස්ථානයේයි. 2013න් පසු පළමු වතාවට ඔවුන් සිව්වැනි ස්ථානයට දක්වා පහළට ඇද වැටීම විශේෂත්වයක්.

ප්‍රබල පාසල් තුනකට නව රග්බි නායකයින්

එළඹෙන 2019 සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලිය සඳහා…

වයස අවුරුදු 17 දී ඉසිපතනය මෙහෙයවීමට වරම් දිනා ගත් මනිල්ක රුබේරු හා ඔහුගේ කණ්ඩායම පසුගිය වසරේ එතරම් සාර්ථක නොවුනත් අත්දැකීම් රැසක් සමඟින් එන ඉසිපතනයේ, මේ වසරේ රග්බි සංචාරය ඉතා සාර්ථක වනු නොඅනුමානයි.

මෙවර සූදානම

පළමු ස්ථාන තුන සොයා යන ගමනේ ඉසිපතන පළමු පෙළ රග්බි කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන්නේ තුන්වැනි වසර සඳහා කණ්ඩායම නියෝජනය කරන ජනිත් සේරසිංහයි. ෆ්ලෑන්කර් ස්ථානයේ කණ්ඩායම සවිමත් කරන ඔහු මෙවර කණ්ඩයමේ ප්‍රධානතම තුරුම්පුවක් වනු ඇත.

ජනිත් සේරසිංහ හට නායකත්වයේ වගකීම හිමිව තිබේ.

කණ්ඩායමේ ඉදිරිපෙළත් පසුපෙළත් යා කරන ස්ක්‍රම් හාෆ් ක්‍රීඩක චමත් කොඩිකාරගේ කණ්ඩායමේ උපනායකයා ලෙස කටයුතු කරන්නේ ජනිත්ට මනා සහයක් දෙමින්.

කණ්ඩයමේ ප්‍රධානතම ශක්තිය ඔවුන්ගේ වේගවත් පසුපෙළයි. පසුගිය වසරේ ලීග් රග්බි තරගාවලියේ ලකුණු 64ක් වාර්තා කරමින් ඉසිපතනයේ ශක්තිය වූ නායක මනිල්ක රුබේරු මේ වසරේදීත් කණ්ඩායමේ පසුපෙළේ කොඳු නාරටිය ලෙස කටයුතු කරනු ඇත.

මනිල්ක රුබේරු මෙවර කණ්ඩායමේ ප්‍රධානතම තුරුම්පුවයි.

ඔහුගේ සහයට වේගවත් නදීෂ චමින්ද හා රමිත ද සිල්වා Wing ස්ථාන දෙකේ පසුපෙළ සවිමත් කරන්නේ කරන්නේ පසුගිය වසරේ අත්දැකීම් ද සමඟින්.  

ඉසිපතන හරිත හමුදාවේ මෙවර අණදෙන නිලධාරියා වන්නේ ප්‍රවීණ රග්බි පුහුණුකරුවෙකු වන නිහාල් ‘වයිපර්’ ගුණරත්න මහතායි. එක් තරගවාරයක අත්දැකීම් සමඟින් හොඳින් තෙම්පරාදු වූ දක්ෂ ක්‍රීඩකයින් ගොන්නක් ජයග්‍රහණය කරා මෙහෙයවීම ඔහුගේ ප්‍රධානම වගකීම වනු ඇත.

මේ දිනවල ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ පෙරළිකාර දස්කම් දක්වමින් මහනුවර ක්‍රීඩා සමාජය ද පරාජය කළ යුධ හමුදා ක්‍රීඩා සමාජයේ ද පුහුණුකරු ලෙස කටයුතු කරන වයිපර් ගුණරත්න මහතා ඔහුගේ ජයග්‍රහණයේ මායාව ඉසිපතනයට ද රැගෙන එනු නිසැකය.

ප්‍රවීණ පුහුණුකරු වයිපර් ගුණරත්න මහතා හරිත හමුදාවේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරනු ඇත.

ජාතික කණ්ඩායම ද නියෝජනය කළ ප්‍රවීණ ක්‍රීඩකයින් දෙදෙනෙක් වන ලසින්ත ද කොස්තා හා හෙන්රි ටෙරන්ස් මේ වසරේ ද කණ්ඩායමේ සහය පුහුණුකරුවන් ලෙස කටයුතු කරනු ඇත.

2016 වසරේ අවසන් වරට දිනා ගත් රග්බි කිරුළ නැවත වතාවක් ඉසිපතනයට රැගෙන යන්නට ඉසිපතනයේ හරිත හමුදාවට හැකි වේවායි ThePapare.com අපි සුබපැතුම් එක් කරන්නෙමු.

පළමු වටයේ කාල සටහන

  • සාන්ත අන්තෝනි විද්‍යාලය හා ඉසිපතනය විද්‍යාලය – මාර්තු 2 , නිත්තවෙල
  • ත්‍රිත්ව විද්‍යාලය හා ඉසිපතනය විද්‍යාලය – මාර්තු 10, පල්ලෙකැලේ
  • විද්‍යා විද්‍යාලය හා ඉසිපතනය විද්‍යාලය – මාර්තු 16, විද්‍යා විද්‍යාලයීය ක්‍රීඩාංගණය
  • සහිරා විද්‍යාලය හා ඉසිපතනය විද්‍යාලය – මාර්තු 23, හැව්ලොක් පාක්
  • සාන්ත ජෝසප් විද්‍යාලය හා ඉසිපතනය විද්‍යාලය – මාර්තු 30, ලොන්ඩන් පෙදෙස

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<