ඉසිපතනය හමුවේ විද්‍යා ක්‍රීඩකයින් සිය නිවහනේ දී ම අසරණ වෙයි

1148

2019 සිංගර් අන්තර් පාසල් රග්බි ලීග් තරගාවලියේ තවත් තරගයක් අද (16) ගල්කිස්ස විද්‍යා විදුහල් රග්බි පිටියේ දී පැවැත්වුණේ කොළඹ ඉසිපතන විද්‍යාලය හා විද්‍යා විද්‍යාලය අතරයි. ප්‍රවේගකාරී තරගයක නිරත වූ ඉසිපතන කණ්ඩායම මේ තරගයෙන් ලකුණු 35–08ක් ලෙස සුපිරි ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් වුනා.

ප්‍රවර්තන සියල්ල අසාර්ථක වූවත් ත්‍රිත්වයින් සාර්ථකයි

සිංගර් අන්තර් පාඨශාලීය ලීග් රග්බි තරගාවලියේ තෙවැනි සතිය ආරම්භ…..

විද්‍යා කණ්ඩායම තරගය ආරම්භ වූ මොහොතේ දී ම සිය අණසක පැතිර වීමට උත්සහ ගත් අතර තම ගෝලයට ආසන්නව ස්ථානගතව ක්‍රීඩා කරනු දක්නට ලැබුණා. වැඩි වේලාවක් ගත වීමට මත්තෙන් දඬුවම් පහරක් සාර්ථක කර ගනිමින් ලකුණු පුවරුව ක්‍රියාත්මක කරන්නට විද්‍යා ක්‍රීඩක ප්‍රින්ස් රවිසින් සමත් වුනා. (විද්‍යා 03–00 ඉසිපතන)

ප්‍රතිවාදීන්ගේ ක්ෂණික ලකුණු ලබා ගැනීම නිසා අධෛර්‍යමත් වෙනවා වෙනුවට සිය අධිෂ්ඨානය තර කර ගත් ඉසිපතනයින් තරගය වෙත අවතීර්ණ වූ අතර පන්දුව සමඟ තම ගෝලය කරා ඇදුණු ඔවුන්ගේ පසුපෙළ හොඳ කණ්ඩායම් හැඟීමකින් තරග කරනු දක්නට ලැබුණි.

පසුපෙළ ක්‍රීඩකයින් වෙනුවට ඉදිරිපෙළ ක්‍රීඩකයින්ගේ සහය ඇතිව ගෝලය වෙත මීටර 30ක පමණ දුරක් රෝලිං මෝල් ක්‍රමය ඔස්සේ විද්‍යා ක්‍රීඩකයින්ව පසුබස්සවමින් ගෝල කණුව වෙත ඇදුණු ඉසිපතන නායක ජනිත් සේරසිංහ උත්සාහක දිනුමක් වාර්තා කළ අතර ප්‍රවර්තනය ද සාර්ථක කර ගැනීමට මනෙල්ක රුබේරුට හැකි වුනා. (විද්‍යා 03–07 ඉසිපතන)

එම උත්සාහක දිනුමෙන් මොහොතක් ගතවීමට මත්තෙන් විද්‍යා කණ්ඩායමේ ක්‍රීඩකයින්ගේ Off Side ක්‍රියාවක් හේතුවෙන් විනිසුරු ලබා දුන් දඬුවම් පහරක් සාර්ථක කර ගත් මනෙල්ක රුබේරු ඉසිපතනයට තවත් ලකුණු 03ක් එකතු කළා. (විද්‍යා 03–10 ඉසිපතන)

ලුම්බිණි ප්‍රහාරයෙන් සත්කාරකයෝ සුනුවිසුනු වෙයි

2019 සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ B කාණ්ඩයේ තරගයක්……

මේ වන විට ලකුණු ලැබීමට හෝ එකඳු ක්‍රීඩකයෙකුට තම ගෝලය කරා ළඟා වීමට නොහැකිව විද්‍යා කණ්ඩායම දැඩි පසුබෑමකට ලක්ව සිටියා.

පිටියෙන් ඉවතට කිහිප වරක් පතිත වූ පන්දුව නිසා ඉසිපතනයින්ට වාසිදායක ලෙස තරගය ගලා ගිය අතර මෙම අවස්ථාවෙන් උපරිම ඵල නෙලා ගත් ඉසිපතන ක්‍රීඩකයින් යම් වේලාවක් සිය උත්සාහක දිනුම් රේඛාව අසල අරගල කළේ කෙසේ හෝ තවත් උත්සාහක දිනුමක් ලබා ගැනීමේ අරමුණ ඇතිවයි.

ගියවර තරගාවලියේ දී තම විද්‍යාලයීය කණ්ඩායම මෙහෙය වූ මනෙල්ක රුබේරු විද්‍යා ආරක්ෂක බැමි බිඳ හෙලූ අතර පසුපෙළ ක්‍රීඩකයින්ගෙන් ත්වරණයක් ලබා ගත් රායිස් අක්තාර් සිය විද්‍යාලය වෙනුවෙන් දෙවන උත්සාහක දිනුම වාර්තා කළා. එහි ප්‍රවර්තනය ලබා ගැනීමට මනෙල්ක හට හැකි වූයේ නැත. (විද්‍යා 03–15 ඉසිපතන)

විද්‍යා ක්‍රීඩකයින්ගේ දක්නට නොලැබුණු අන්‍යොන්‍ය අවබෝධයක් සහ ප්‍රවේගකාරී ක්‍රීඩා විලාසයක් ඉසිපතන කණ්ඩායම වෙතින් දක්නට ලැබුණා. නැවත පණ ගසා එන බවක් පිළිබිඹු කළ විද්‍යා කණ්ඩායම සිය උත්සාහක දිනුම් රේඛාවට ආසන්න වූවද ඉසිපතන ආරක්ෂක පෙළ ඔවුන්ගේ උත්සාහය ව්‍යර්ථ කර දැමුවා.

>> තරගයේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<

පළමු අර්ධය නිමා වීමට මිනිත්තු පහක් වැනි සුළු කාලයක් ඉතිරිව තිබිය දී උත්සාහක දිනුම් දෙකක් වාර්තා කිරීමට ඉසිපතන ක්‍රීඩක රායිස් අක්තාර් සහ අශාන් ගුණසේකර සමත් වූවත් ප්‍රවර්තන සාර්ථක කර ගැනීමට මනිල්කට නොහැකි වුනා.

පළමු අර්ධය: විද්‍යා විද්‍යාලය 03 – 25 ඉසිපතන විද්‍යාලය

දෙවන අර්ධය ද ආරම්භ වූයේ විද්‍යා විද්‍යාලයීය කණ්ඩායමේ ලකුණු රැස් කිරීමේ බලාපොරොත්තුවලට මහත් පහරක් ගසමින් ඉසිපතන ක්‍රීඩකයින් පිටිය පුරා සිය අණසක පතුරුවමිනි.

පෙර වතාවට සාපෙක්ෂව යම් ප්‍රාණවත් බවක් විද්‍යා කණ්ඩායම වෙතින් දිස් වූ අතර විවිධ තාක්ෂණික ක්‍රමෝපායන් ඔස්සේ තම ගෝල සීමාවට ළඟා වීමට දැරූ කිසිම උත්සහයක් සාර්ථක කර ගැනීමට මෙවර ද ඉසිපතන ක්‍රීඩකයින් ඔවුන්ට ඉඩ දුන්නේ නැත.

සිය ප්‍රතිවාදීන්ගෙන් පන්දුව ඩැහැගත් ඉසිපතනයින් ආපසු තම සෙසු ක්‍රීඩකයින් අතර යුහුසුළුව පන්දුව හුවමාරු කරගනිමින් ඉදිරියට ඇදුණු අතර ගෝල රේඛාව ආසන්නයේ දී තමන්ට වඩා යම් දුරකින් සිටි මනිල්ක වෙත යොමු කළ පන්දුව මනාව සියතට ගත් රමිත ද සිල්වා මනෙල්ක රුබේරුගේම ප්‍රවර්තනයෙන් හැඩ වුනු උත්සාහක දිනුමක් ලබා ගත්තා. (විද්‍යා 03–32 ඉසිපතන)

ජයග්‍රහණය මේ වන විටත් තහවුරු කරගෙන සිටි ඉසිපතනයින් අනවශ්‍ය ලෙස උද්දාමයට පත් නොවූ අතර තව තවත් සිය ලකුණු සංඛ්‍යාව වර්ධනය කර ගැනීමේ අරමුණින් යුතුව ක්‍රීඩා කරනු දක්නට ලැබුණා.

විද්‍යා ක්‍රීඩකයින්ගේ මානසික මට්ටම පහත් තත්වයකට ඇද වැටී තිබුණු බවක් ද පෙනෙන්නට වූ අතර ඔවුන්ගේ යම් අත්වැරදීමක් නිසා තවත් දඬුවම් පහරක් ඉසිපතනයට හිමි වූ අතර මනෙල්ක සාර්ථකව එය ගෝල අතරින් යැවීමට සමත් විය. (විද්‍යා 03–35 ඉසිපතන)

අතිශයින් දුර්වල තැනකට ඇද වැටී සිටි විද්‍යා කණ්ඩායමේ රසංග වීරසිංහ සිය විද්‍යාලය වෙනුවෙන් පළමු උත්සාහක දිනුම වාර්තා කළේ මහත් වූ වෙහෙසක් දැරීමෙන් අනතුරුවයි. නමුත් එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට ප්‍රින්ස් රවිසින්ට හැකි වූයේ නැහැ.

මේ අතරවාරයේ දී විද්‍යා කණ්ඩායමට තවත් උත්සාහක දිනුමක් ලබා ගැනීමට තිබූ අවස්ථාවක් මග හැරී ගියේ උත්සාහක දිනුම් රේඛාව අසල දී පන්දුව රැගත් ක්‍රීඩකයාව පිටියෙන් ඉවතට තල්ලු කිරීමට ඉසිපතන ක්‍රීඩකයින් ක්‍රියා කිරීමත් සමඟයි.

ප්‍රවර්තන සියල්ල අසාර්ථක වූවත් ත්‍රිත්වයින් සාර්ථකයි

සිංගර් අන්තර් පාඨශාලීය ලීග් රග්බි තරගාවලියේ තෙවැනි සතිය ආරම්භ…..

ඉන් සුළු මොහොතකට පසුව විනිසුරු තරගය අවසන් කිරීමේ සංඥාව නිකුත් කළ අතර සිය ප්‍රතිවාදීන්ව ඔවුන්ගේ භූමියේ දී ම පරාජයට පත් කිරීමට ඉසිපතන කණ්ඩායම සමත් වුනා.

අවසන් ලකුණු තත්වය: විද්‍යා විද්‍යාලය 08 – 35 ඉසිපතන විද්‍යාලය

ලකුණු ලබා ගැනීම

විද්‍යා විද්‍යාලය: ප්‍රින්ස් රවිසින් 1P, රසංග වීරසිංහ 1T

ඉසිපතන විද්‍යාලය: ජනිත් සේරසිංහ 1T, රායිස් අක්තාර් 2T, අශාන් ගුණසේකර 1T, රමිත ද සිල්වා 1T, මනෙල්ක රුබේරු 2C 2P

>> රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<