රාජකීයයන් අපරාජිත වාර්තාව තවදුරටත් රඳවා ගනී

434

2019 සිංගර් අන්තර් පාසල් රග්බි ලීග් තරගාවලියේ සිව්වැනි සතියේ තරග මේ වන විට ආරම්භ වී ඇත. උද්වේගකර  තරග කිහිපයක්ම මෙම සතියේ පැවැත්වීමට නියමිත අතර එහි දී 1A කාණ්ඩයේ තවත් තරගයක් සඳහා මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය සමඟින් කොළඹ රාජකීය විද්‍යාලය තරග බිමට පිවිසි අතර එහි දී ලකුණු 20-12ක් ලෙස ජයග්‍රහණය ලබා ගැනීමට කොළඹ රාජකීය විද්‍යාලයීය කණ්ඩායම සමත් විය. එම ජයග්‍රහණයත් සමඟ තම අපරාජිත වාර්තාව තවදුරටත් රඳවා ගැනීමට රාජකීයයන් සමත් විය. තරගය මහනුවර නිත්තවෙල ක්‍රීඩාංගණයේ දී පැවැත්විය.

නිත්තවෙල ගැටුමේ ජය ගල්කිස්සට

මෙවර සිංගර් අන්තර් පාසල් රග්බි ලීගයේ A කාණ්ඩයේ තරගයක් වන මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය…

කිංග්ස්වුඩ් කණ්ඩායම ප්‍රබල ඉදිරිපෙළක් සමඟින් මෙවර තරගාවලියට පිවිසි අතර බලාපොරොත්තු තබා ගත හැකි කණ්ඩායම ලෙස අනාවැකි පළවී තිබුණි. නමුත් ඔවුන් මෙම තරගයට පෙර මුහුණ දුන් තරග 3න් ජයග්‍රහණය කර ඇත්තේ එක් තරගයක් පමණි. LE BLAZE කුසලානය සඳහා වෙස්ලි විද්‍යාලය සමඟින් පැවති තරගය ජයග්‍රහණය කළ කිංග්ස්වුඩ් කණ්ඩායම සාන්ත පීතර හා සාන්ත තෝමස් කණ්ඩායම් හමුවේ පසුබෑමකට ලක්විය.

කොළඹ රාජකීය විද්‍යාලය මෙවර තරගාවලියේ ප්‍රබලතම කණ්ඩායම ලෙස විරුදාවලිය ලබා සිටින අතර ඔවුන් මෙම තරගයට පෙර මුහුණ දුන් තරග තුනම අපරාජිතව අවසන් කිරීමට සමත්ව සිටී. එහි දී ඔවුහු කොළඹ වෙස්ලි විද්‍යාලය, සාන්ත තෝමස් විද්‍යාලය හා කුරුණෑගල මලියදේව විද්‍යාලය පරාජය කිරීමට සමත් වූහ.

තම අභිමානය මහනුවර දී ම බිඳ වැටීමට එරෙහිව සටන් වදින කිංග්ස්වුඩ් කණ්ඩායමත් අපරාජිත වාර්තාව තහවුරු කර ගැනීමට සටන් වදින ‍රාජකීය කණ්ඩායමත් මෙම තරගයට සටන්කාමී බවක් ආරූඪ කර තිබුණි.

තරගය ආරම්භ කිරීම කිංග්ස්වුඩ් කණ්ඩායමට පැවරී තිබූ අතර මුල් මිනිත්තු 2 දී ම රාජකීය සීමා ඉර ආක්‍රමණය කිරීමට සමත්වුව ද රාජකීය ඉදිරිපෙළ හමුවේ උත්සාහක දිනුම් බලාපොරොත්තු සුන්වී ගියේය. තරගයේ 4 වැනි මිනිත්තුවේ දී රාජකීය කණ්ඩායම දඬුවම් පහරක් මගින් පන්දුව කිංග්ස්වුඩ් සීමා ඉර ආසන්නයට ගෙන ගිය අතර Rolling- Maul අවස්ථාවක් මගින් ලකුණු ලබා ගැනීමට ප්‍රබල උත්සාහයක් ගත් අතර 10 වැනි මිනිත්තුවේ දී සාර්ථක වූ ආදිත්‍ය වීරසූරිය රාජකීයයන් වෙනුවෙන් පළමු උත්සාහක දිනුම වාර්තා කළේය. ප්‍රවර්තනය අසාර්ථක වීම නිසා ලකුණු 5කින් සෑහීමකට පත්වීමට ඔවුන්ට සිදු විය. (රාජකීය 05-00 කිංග්ස්වුඩ්)

මහනුවරින් ආ ත්‍රිත්වයින් හිස් අතින් ගෙදර යයි

සත්කාරක සාන්ත ජෝසප් විදුහල සහ ප්‍රතිවාදී මහනුවර ත්‍රිත්ව විදුහල අතර පැවති 2019 අන්තර් …

නැවත තරගය ආරම්භ කළ පසු පන්දුව ‍රාජකීය අර්ධයේ තබා ගැනීමට කිංග්ස්වුඩ් කණ්ඩායම උත්සාහ කළ අතර දඬුවම් පහරක් මගින් ලකුණු රැස්කිරීමට කිංග්ස්වුඩ් කණ්ඩායමට අවස්ථාව උදා වූයේ තරගයේ 10 වන මිනිත්තුවේ දී ය. ගෝල කනු අතරින් පන්දුව පා කරමින් ලකුණු 3ක් රැස්කර ගැනීමට කිංග්ස්වුඩ් කණ්ඩායම සමත් වීමත් සමඟම කිංග්ස්වුඩ් ලකුණු පුවරුව ක්‍රියාත්මක විය. (රාජකීය 05-03 කිංග්ස්වුඩ්)

කිංග්ස්වුඩ් සීමා ඉර ආක්‍රමණය කළ රාජකීය කණ්ඩායම තරගයේ 19 වැනි මිනිත්තුව වන විට මීටර් 22 දක්වා පැමිණීමට සමත් විය. දඬුවම් පහරක් මගින් මීටර් 5 සීමාව දක්වා පැමිණි රාජකීය කණ්ඩායම Rolling-Maul අවස්ථාවක් මගින් ලකුණු රැස්කිරීමට උත්සාහ කළ අතර එහි දී පන්දුවට පහර දීම නිසා කිංග්ස්වුඩ් කණ්ඩායමේ ක්‍රීඩකයෙකුට කහ කාඩ්පතක් ලබා දීමට විනිසුරුවන් ක්‍රියා කළේය. ඒ අවසරයෙන් තම දෙවන උත්සාහක දිනුම ද වාර්තා කිරීමට රාජකීය කණ්ඩායම සමත් විය. එම උත්සාහක දිනුම රජිදු ජයසූරිය විසින් වාර්තා කළ අතර අමතර ලකුණු දෙක ලබා ගැනීමේ අවස්ථාව එවර ද අසාර්ථක වීම නිසා ලකුණු පුවරුවට ලකුණු 5ක් පමණක් එක් විය. (රාජකීය 10-03 කිංග්ස්වුඩ්)

මීළඟ මිනිත්තු කීපයේ දී කිංග්ස්වුඩ් කණ්ඩායම ආක්‍රමණයක් දියත් කළ අතර රාජකීය අර්ධයේ පන්දුව තබා ගනිමින් උත්සාහක දිනුමක් ලබා ගැනීමට ප්‍රබල උත්සාහයක් ගන්නා ලදි. 27 වන මිනිත්තුවේ දී දඬුවම් පහරක් මගින් ලකුණු රැස්කිරීමට හිමි වූ අවස්ථාවක් කිංග්ස්වුඩ් කණ්ඩායමට මග හැරී ගිය අතර තවත් මිනිත්තු කීපයක් ගත වීමටත් පෙර තවත් උත්සාහක දිනුම් අවස්ථාවක් කිංග්ස්වුඩ් කණ්ඩායමට මග හැරී ගියේ රාජකීය සීමා ඉරට මීටර් 2ක් තිබිය දී ය. පළමු අර්ධය නිමා වීමට මිනිත්තු කීපයක් ඉතිරිව තිබිය දී කිංග්ස්වුඩ් කණ්ඩායමට ලැබුණු දඬුවම් පහරක් මගින් සාර්ථකව පන්දුව ගෝල කනු අතරින් පා කර යවමින් ලකුණු 3ක් එක්කර ගැනීමට සමත් විය. (රාජකීය 10-06 කිංග්ස්වුඩ්)

පළමු අර්ධය: රාජකීය විද්‍යාලය 10 – 06 කිංග්ස්වුඩ් විද්‍යාලය

දෙවන අර්ධය ‍රාජකීය කණ්ඩායම විසින් ආරම්භ කළ අතර 37 වන මිනිත්තුවේ දී ම කිංග්ස්වුඩ් කණ්ඩායමට දඬුවම් පහරක් ලැබුණු අතර කිංග්ස්වුඩ් කණ්ඩායම වෙනුවෙන් ලකුණු 3ක් එක්කර දීමට නිරෝශ සම්පත් සමත් වීමත් සමගම ලකුණු පරතරය එකක් දක්වා අඩු විය. (රාජකීය 10-09 කිංග්ස්වුඩ්)

>> තරගයේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<

තරගයේ තම ග්‍රහණය තව තවත් ප්‍රබල කරමින් කිංග්ස්වුඩ් සීමා ඉර ආසන්නයට පන්දුව ‍රැගෙන ආ රාජකීය කණ්ඩායම Rolling-Maul අවස්ථාවක් මගින් මීටර් 2 සීමාව දක්වා පැමිණීමට සමත් විය. ‍රාජකීයන් වෙනුවෙන් සාර්ථක වූ මදූශ විකුම් විසින් 43 වන මිනිත්තුවේ දී උත්සාහක දිනුමක් වාර්තා කළ අතර අපහසු ප්‍රවර්තනයක් සාර්ථක කර ගනිමින් ලකුණු 2ක් ලකුණු පුවරුවට එක්කර ගැනීමට රාජකීයයන් සමත් විය. (රාජකීය 17-09 කිංග්ස්වුඩ්)

තරගයේ 44 වැනි මිනිත්තුවේ දී උත්සාහක දිනුමක් සඳහා රාජකීය සීමා ඉර ආක්‍රමණය කළ කිංග්ස්වුඩ් කණ්ඩායම දඬුවම් පහරක් මගින් තවත් ලකුණු 3ක් එක්කර ගත්තේ තරගයේ 46වන මිනිත්තුවේ දී ය. (රාජකීය 17-12 කිංග්ස්වුඩ්)

51 වන මිනිත්තුවේ දී රාජකීය කණ්ඩායමට කිංග්ස්වුඩ් මීටර් 22 සීමාවේ දී දඬුවම් පහරක් ලැබුණු අතර එමගින් තම ලකුණු පුවරුවට ලකුණු 3ක් එක්කර ගැනීමට රාජකීයයන් සමත් වූයේ ලකුණු පරතරය ලකුණු 7ක් දක්වා වැඩි කරමිනි. (රාජකීය 20-12 කිංග්ස්වුඩ්)

කිංග්ස්වුඩ් කණ්ඩායම සාර්ථකව රාජකීය සීමා ඉර ආක්‍රමණය කළ අතර ඔවුන්ට ලැබුණු අනගි අවස්ථාවක් මග හැරී ගියේ අවාසනාවන්ත අයුරිනි. තම උත්සාහය අත්නොහල කිංග්ස්වුඩ් කණ්ඩායම පන්දුව තම අර්ධයට යාමට නොදී රාජකීය අර්ධයේ තබා ගැනීමට ප්‍රබල උත්සාහයක් ගත් අතර දෙපිලටම දඬුවම් පහර කීපයක් ලැබුණ ද එම අවස්ථාවන් සාර්ථකව ලකුණු බවට පත්කර ගැනීමට කණ්ඩායම දෙකම අපොහොසත් විය.

ඩී. එස්. – සුම්මා අතරින් බිඳ වැටෙන්නේ කාගේ අපරාජිත වාර්තාව ද?

2019 සිංගර් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ A කාණ්ඩය මෙන්ම B කාණ්ඩයත් ඉතා උණුසුම්…

තරගයේ 64 වැනි මිනිත්තුවේ දී රාජකීය ක්‍රීඩක මොහොමඩ් නවුරාන්ට කහ කාඩ්පතක් ලබා දීමට විනිසුරුවන් ක්‍රියා කළේ Ruck අවස්ථාවක දී පන්දුවට පා පහරක් එල්ල කිරීම නිසාවෙනි. මේ අතර කිංග්ස්වුඩ් කණ්ඩායමට තවත් උත්සාහක දිනුමක් මගහැරී ගියේ රාජකීය සීමා ඉර ආසන්නයේ දී පන්දුව knock on වීම නිසාවෙනි.

තරගයේ 67 වැනි මිනිත්තුවේ දී රාජකීය කණ්ඩායම ඉදිරිපෙළ ක්‍රීඩකයන් උපයෝගී කරගනිමින් තරගය මන්දගාමී කරමින් ක්‍රීඩා කළ අතර කිංග්ස්වුඩ් කණ්ඩායමට පන්දුව ලබා ගැනීමට තිබූ සියලු අවස්ථාවන් වළක්වන්නට සමත් විය. ඒ සමඟම රාජකීය කණ්ඩායම සාර්ථකව ජයග්‍රහණය කරමින් තරගය අවසන් කළේය.

දෙවන අර්ධයේ දී රාජකීය කණ්ඩායම තම ලකුණු සංඛ්‍යාව දෙගුණ කිරීමට සමත් වූ අතර එම අර්ධයේ දී කිංග්ස්වුඩ් කණ්ඩායම ලබා ගත්තේ ලකුණු 6ක් පමණි. තීරණාත්මක අවස්ථාවල දී කිංග්ස්වුඩ් කණ්ඩායම තමන්ට ලැබුණු දඬුවම් පහරවල් යොදා ගත් ආකාරය ඔවුන්ගේ පසුබෑමට හේතු විය.

අවසන් ලකුණු තත්ත්වය: රාජකීය කණ්ඩායම 20 (3T, 1C, 1P)12 (4P) කිංග්ස්වුඩ් කණ්ඩායම

ලකුණු ලබාගත් ක්‍රීඩකයෝ

  • රාජකීය කණ්ඩායම: රජිදු ජයසූරිය (1T), ආදිත්‍ය වීරසූරිය (1T), මදූශ විකුම් (1T), මලීශ පෙරේරා (2T, 1C, 1P)
  • කිංග්ස්වුඩ් කණ්ඩායම: නිරෝෂ සම්පත් (4C)

>> රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<