මහානාම ඉදිරිපෙළ ධර්මරාජයින් මවිත කරයි

1388

2019 සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ තෙවැනි සතියේ තවත් එක් තරගයක් අද (17) රත්මලාන ගුවන් හමුදා රග්බි ක්‍රීඩා පිටියේ නිමාව දුටු අතර සත්කාරක මහානාම විදුහල සහ ප්‍රතිවාදී ධර්මරාජ විදුහල අතර පැවති එම තරගයෙන් ලකුණු 27-17ක් වශයෙන් ජයග්‍රහණය හිමිකර ගැනීමට මහානාම කණ්ඩායම සමත් විය.

ලුම්බිණි ප්‍රහාරයෙන් සත්කාරකයෝ සුනුවිසුනු වෙයි

2019 සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ B කාණ්ඩයේ තරගයක් පසුගිය දා (14) කොග්ගල…

පසුගිය සතියේ ධර්මරාජ විදුහල තර්ස්ටන් විදුහලට එරෙහිව ලකුණු 20-18ක් ලෙස තියුණු ජයක් ලබා ගනිමින් ජයග්‍රාහී මානසිකත්වයක් සහිතව අද තරගයට අවතීර්ණ වූ අතර මහානාම විදුහල ද කන්නන්ගර ක්‍රීඩකයින්ට එරෙහිව ලකුණු 33-15ක් ලෙස ජයග්‍රහණය කරමින් අද තරගයට අවතීර්ණ විය.

තරගය ආරම්භයේ සිටම ඉතා උණුසුම් මුහුණුවරක් ගත් අතර කණ්ඩායම් දෙකම හොඳින් පන්දුව පාලනය කරන ආකාරයක් දක්නට ලැබුණි. ධර්මරාජයින්ගේ නීති විරෝධී ක්‍රියාවක් නිසාවෙන් විනිසුරු ඩින්කා පීරිස් මහානාම ක්‍රීඩකයින්ට දඬුවම් පහරක් ලබා දුන් අතර ඉන් ප්‍රයෝජන ගත් රශේන් සුලෝචන අලංකාර ලෙස පන්දුව ගෝල කණු අතරින් පා කර හැරියේ මහානාම ලකුණු පුවරුව ක්‍රියාත්මක කරමිනි. (මහානාම 03-00 ධර්මරාජ)

එයින් නොනැවතුණු මහානාමයින් පන්දුව සිය අන්තයේ රඳවා ගනිමින් ක්‍රීඩා කළ අතර දිනුජ නිම්සර ධවල රේඛාව පසුකර යමින් සාර්ථකව උත්සාහක දිනුමක් වාර්තා කරන්නට සමත් විය. මෙහි ප්‍රවර්තනය අසාර්ථකයි. (මහානාම 08-00 ධර්මරාජ)

මහානාම ක්‍රීඩකයින් එල්ල කරන අභියෝග හමුවේ ධර්මරාජයින් ද එකට එක කිරීම ආරම්භ කළ අතර නායක මනුක හියාරපිටිය අලංකාර උත්සාහක දිනුමක් වාර්තා කළේ මහානාම පසුපෙළ බිඳ දමමින් ධර්මරාජ ලකුණු පුවරුව ආරම්භ කරමිනි. මෙහි ප්‍රවර්තනය අසාර්ථක විය. (මහානාම 08-05 ධර්මරාජ)

​සුමංගල ක්‍රීඩක ජයතිලකගෙන් උත්සාහක දිනුම් ත්‍රිත්වයක්

2019 සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ තෙවන සතියේ ආරම්භය සනිටුහන් කරමින් පැවති…

එම උත්සාහක දිනුමෙන් නොසැලුණු මහානාම ක්‍රීඩකයින් ඉන්පසුව උත්සාහක දිනුමක් සාර්ථක කරගන්නේ එන්. චන්දිමගේ වෑයමෙනි. ඔහුට සාධාරණයක් ඉටු කරමින් රශේන් ප්‍රවර්තනය සාර්ථක කරගැනීමට සමත් විය. (මහානාම 15-05 ධර්මරාජ)

මහානාමයින් පසුපස හඹා එන ධර්මරාජ ක්‍රීඩකයින් ද නැවත වරක් සිය ශක්තිය විදහා දක්වමින් එකට එක කරන්නේ ලසන්ත බස්නායකගේ උත්සාහක දිනුමත් සමඟිනි. සෞම්‍ය විජේසිරි විසින් එහි ප්‍රවර්තනය සාර්ථක කරගන්නා අතර ඒ සමඟින් ලකුණු 3ක් දක්වා පරතරය අඩු කරගන්නට ධර්මරාජයින් සමත් විය. (මහානාම 15-12 ධර්මරාජ)

ප්‍රථම අර්ධය අවසන් වීමට සුළු මොහොතකට පෙර මහානාම නායක D දාබරේ ධර්මරාජ ක්‍රීඩකයින් අතරින් දිවගොස් ආකර්ශනීය ලෙස උත්සාහක දිනුමක් වාර්තා කිරීමට සමත් වූ අතර රශේන් විසින් අතිරේක ලකුණු එකතු කරන්නට සමත් විය.

පළමු අර්ධය: මහානාම විදුහල 22 – 12 ධර්මරාජ විදුහල

දෙවැනි අර්ධයට සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට මහානාමයින් උත්සහ කළත්, ධර්මරාජ ක්‍රීඩකයින් විසින් දෙවැනි අර්ධයේ ප්‍රථම ගෝලය වාර්තා කළේය. අනෝජ් පන්නිල විසින් වාර්තා කළ එම උත්සාහක දිනුමේ ප්‍රවර්තනය සාර්ථක කරගන්නට ධර්මරාජයින්ට නොහැකි විය. (මහානාම 22-17 ධර්මරාජ)

තරගයේ 55 වැනි මිනිත්තුවේ දී ක්‍රීඩකයෙකු නීති විරෝධීව මෙල්ල කිරීමට තැත් කිරීමේ වරදට මහානාම නායක දාබරේට විනිසුරු විසින් කහ කාඩ්පතක් නිකුත් කළේ ඔහුගේ සේවය විනාඩි 10කට අහිමි කරමිනි. ඉන් ප්‍රයෝජන ගන්නට ධර්මරාජයින් තැත් කළත් මහානාම ක්‍රීඩකයින් සාර්ථකව ඔවුන් මෙල්ල කළේය.

අළු මතින් නැගී සිට නැවත පොර බැඳීමට සූදානම් වන කන්නංගරයින්

කනිෂ්ඨ – ජ්‍යේෂ්ඨ ක්‍රීඩක සුසංයෝගයක් හා නව මුහුණුවරක් සමඟින් මෙවර පළමු කාණ්ඩයේ B…

දඬුවම් කාලයෙන් පසුව පිටියට පිවිසි දාබරේ ධර්මරාජ ක්‍රීඩකයින් විනිවිද යමින් අලංකාර උත්සාහක දිනුමකට මග පාදා ගත් නමුත් ප්‍රවර්තනය ඔවුන්ට මග හැරී ගියේය. (මහානාම 27-17 ධර්මරාජ)

කෙසේ නමුත් නියමිත කාලය අවසානයේ දී ධර්මරාජ ක්‍රීඩකයින්ට මහානාම ඉදිරිපෙළට අභියෝග කරමින් තරගය ජයග්‍රහණය කරන්නට නොහැකි වූ අතර 27-17ක් ලෙස ලකුණු 10ක පරතරයක් සමඟින් සත්කාරකයින්ට තරගයේ ජය හිමි විය.

අවසන් ලකුණු තත්ත්වය – මහානාම විදුහල 27 (4T, 2C, 1P) – 17 (3T , 1C) ධර්මරාජ විදුහල

ThePapare.com තරගයේ වීරයා – රශේන් සුලෝචන (MC)

ලකුණු රැස්කළ ක්‍රීඩකයෝ:

ධර්මරාජ විදුහල

  • උත්සාහක දිනුම් – මනුක හියාරපිටිය 1, ලසන්ත බස්නායකට 1, අනෝජ් පන්නිලට 1
  • ප්‍රවර්තන – සෞම්‍ය විජේසිරි 1

මහානාම විදුහල

  • උත්සාහක දිනුම් – ඩී. දාබරේ 2, දිනුජ නිම්සර 1, එන්. චන්දිම 1
  • ප්‍රවර්තන – රශේන් සුලෝචන 2
  • දඬුවම් පහර – රශේන් සුලෝචන 1

>> රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<