ඉසිපතනය රාජකීයයන්ගේ අපරාජිත ගමන නිමා කරයි

1481

අන්තර් පාසල් ලීග් රග්බි තරගමාලාවේ පස්වන සතිය ක්‍රියාත්මක වන අතර මෙම සතියේ වැදගත් තරග කිහිපයකින්ම දේශීය පාසල් රග්බි පිටිය උණුසුම් වනු ඇති. විශේෂයෙන්ම තරගාවලියේ ජයග්‍රහණය පිළිබඳව කිසිදු කණ්ඩායමකට ස්ථිර විශ්වාසයක් තබා ගත නොහැකි අන්දමට තරගාවලිය උද්වේගකාරී වී ඇත. එසේ නම් පස් වන සතියේ සෙනසුරාදා දින (25) පැවති තරග කෙරෙහි අවධානය යොමු කරමු.

තියුණු සටනක් අවසානයේ වෙස්ලි විදුහල ජය ගනියි

2017 පාසල් රග්බි ලීගයේ පස්වැනි සතිය අාරම්භ කරමින් මරදාන සහිරා විද්‍යාලයත්, කොළඹ වෙස්ලි විද්‍යාලයත් අද (24) තරග බිමට පිවිසි අතර එම තරගයෙන් 32-29ක් ලෙස තියුණු ජයක්…

මහනුවර ධර්මරාජ සහ කොළඹ ඩී. එස්. සේනානායක – බෝගම්බර පිටිය

ධර්මරාජ කණ්ඩායම ප්‍රබල ක්‍රීඩකයින් රැසක් සහිතව මෙම තරගාවලියට පිවිසුනත් ඊයේ දින තරගය වන තෙක් තම ප්‍රථම ජයග්‍රහණය මිහිර විඳීමට වාසනාවන්ත නොවීය. කෙසේ වෙතත් ඊයේ දින තරගයෙන් ඔවුන් පහසු ජයක් වාර්තා කලේ ලකුණු 45 – 12ක් ලෙස ලබා ගනිමිනි.

ප්‍රථම අර්ධය නිමා වන විට ලකුණු තත්ත්වය ලකුණු 24 – 12ක් ලෙස ලබා පෙරමුණේ පසුවූයේ ද ධර්මරාජ කණ්ඩායමයි.  ධර්මරාජය මෙම ජයග්‍රහණය සඳහා උත්සාහක දිනුම් 7ක් වාර්තා කිරීමට සමත් වූ අතර ඉන් 5කගේ ප්‍රවර්තන සාර්ථක කර ගැනීමට ද සමත් විය.

Dharmaraja run through DS with ease.

විශේෂයෙන්ම ඊයේ තරගය සඳහා ධර්මරාජ පිලේ සුපුරුදු Center ක්‍රීඩකයන් දෙදෙනා වන ගිහාන් මාලිංග සහ බවන්ත උඩන්ගමුව සහභාගී නොවීය. ඒ ආබාධ තත්ත්වයක් ඇතිව තිබූ බැවින්ය. එසේම ධර්මරාජය ඊයේ දින තරගය සඳහා නවක ක්‍රීඩකයන් රැසක් එක් කර තිබූ බව පෙනෙන්නට තිබුනි. මෙම තරගයේ ඩී. එස්. ඉදිරි පෙල ක්‍රීඩකයන් ඉතාමත් හොඳින් ක්‍රීඩා කරනු දක්නට ලැබුණු අතර ඔවුන් පන්දුව කෙමෙන් කෙමෙන් ප්‍රතිවාදී ආරක්ෂක වලල්ල බිඳ හෙලමින්  ඉදිරියට රැගෙන ගිය ද එය උත්සාහක දිනුමකින් අවසන් කිරීමට සමත් නොවීය.

කෙසේ වෙතත් තරගයේ ආරම්භක නලා නාදයේ පටන්ම ධර්මරාජය තම ජයග්‍රාහී ගීතය ආරම්භ කලා යැයි කීම නිවැරදිය. තරගයේ 6 වන මිනිත්තුවේ දී ධර්මරාජ ස්ක්‍රම් හාෆ් ක්‍රීඩක ගිහාන් ඉෂාර ලබා දුන් පන්දුව මැනවින් හසුරවා ගත් චාමික පෙරේරා තම කණ්ඩායම වෙනුවෙන් ප්‍රථම උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් විය. ගිහාන් ඉෂාරට ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට නොහැකි විය.

ඩී. එස්. කණ්ඩායමෙන් විගසම ඒ සඳහා පිළිතුරක් ලැබුණු අතර ඔවුන්ගේ W. සමරවික්‍රම ප්‍රථම වරට ධවල රේඛාව අතික්‍රමණය කිරීමට සමත් විය. ඔවුන්ගේ ඉදිරි පෙල ක්‍රීඩකයින් ඉතාමත් විශිෂ්ට දස්කම් දක්වමින් ඉදිරියට ඇදුණු අතර අමාරුවෙන් ලබා ගත් උත්සාහක දිනුමට සාධාරණයක් ඉටු කිරීමට හසිඳු දිනූෂට නොහැකි විය.

ඉන් පසු තරගය උණුසුම් ස්වාභාවයක් ගත් අතර කෙසේ වෙතත් ධර්මරාජ ක්‍රීඩකයින් පිට පිටම උත්සාහක දිනුම් දෙකක් වාර්තා කිරීම නිසා තරගය ධර්මරාජ පිලට වාසි සහගත අන්දමකින් ක්‍රියාත්මක වෙනු දක්නට ලැබුණි. කෙසේ වෙතත් ඩී. එස්. ක්‍රීඩකයින් ද තවත් ගෝල දිනුමක් එක් කර ගැනීමත් සමඟ ලකුණු පරතරය 5ක් දක්වා අඩු කිරීමට සමත් වුවත් තරගයේ ප්‍රථම අර්ධය නිමා වීමට මොහොතකට පෙර තවත් ගෝල දිනුමක් සමඟින් ලකුණු තත්ත්වය ඉහල දමා ගැනීමට ධර්මරාජ කණ්ඩායම සමත් විය.

ප්‍රථම අර්ධය: ධර්මරාජ 24- 12 ඩී. එස්. සේනානායක

Dharmaraja v DS

දෙවන අර්ධය ආරම්භයෙන් මිනිත්තු 20ක් පමණ ගත වන තුරුම කණ්ඩායම් දෙකම ලකුණු ලබා ගැනීමට අපොහොසත් විය. මෙහි දී ඩී. එස්. ක්‍රීඩක සමරවික්‍රමට විනිසුරුවරයා කහ කාඩ් පතක් ලබා දුන් නමුත් එක් ක්‍රීඩකයෙකුගේ අඩු පාඩුව මැනවින් ආවරණය කිරීමට ඩී. එස්. කණ්ඩායම සමත් විය.

කෙසේ වෙතත් තරගයේ 60 වන මිනිත්තුවේ දී ධර්මරාජ නායක චාමික පෙරේරා තරගයේ තම දෙවන උත්සාහක දිනුම වර්තා කිරීමට සමත් විය. ගිහාන් ඉෂාර මෙහි දී සාර්ථක ප්‍රවර්තනයක් ඉදිරිපත් කළ අතර ඉන් සුලු වේලාවකට පසු ඔහුම තම දෙවන උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් විය. එහි ප්‍රවර්තනය ද සාර්ථක කර ගැනීමට ඔහු සමත් වූ අතර ඉන් මද වේලාවකට පසුව චතුර ඒකනායක තරගයේ අවසන් උත්සාහක දිනුම ධර්මරාජය වෙනුවෙන් වාර්තා කලේ ය.

අවසන් ලකුණු තත්ත්වය: ධර්මරාජ 45 – 12 ඩී. එස්. සේනානායක

ThePapare.com තරගයේ වීරයා: ගිහාන් ඉෂාර (ධර්මරාජ)


විද්‍යා විද්‍යාලය හා සාන්ත තෝමස් විද්‍යාලය – CR & FC

පසුගිය සති දෙක සාන්ත තෝමස් විද්‍යාලයට එතරම් හොඳ කාලයක් නොවූ අතර තමන් සතු වූ ශූරතා දෙකක්ම ප්‍රතිවාදීන්ට ලබා දීමට ඔවුන්ට සිදු විය. කෙසේ වෙතත් ඊයේ තරගය සමඟ නැවතත් තරගාවලියට අවතීර්ණ වීමට සාන්ත තෝමස් කණ්ඩායම සමත් විය.

Thomas-vs-Science

තරගයේ ප්‍රථම උත්සාහක දිනුම තරගය ආරම්භ වී මිනිත්තු 20ක් ගත වීමෙන් පසුව වාර්තා කිරීමට සාන්ත තෝමස් ක්‍රීඩක හාන්ස් වල්පොල සමත් විය. එය සාර්ථක ලෙස ප්‍රවර්තනය කළ ඩියෝන් ඩයස් තරගයේ පෙරමුණ තම කණ්ඩායම වෙතට ලබා ගැනීමට සමත් විය. විද්‍යා විද්‍යාල කණ්ඩායම ඉතාමත් හොඳින් ක්‍රීඩා කළත් ලකුණු ලබා දී සිදු වූ සුලු වැරදි නිසා ව්‍යර්ථ වී යනු දක්නට ලැබිණි.

කෙසේ නමුත් ප්‍රථම අර්ධය නිමා වීමට ප්‍රථම තම දෙවන උත්සාහක දිනුම වාර්තා කිරීමට තොමසුවන් සමත් විය. මෙහි දී සාර්ථක වූයේ ක්‍රීඩක ආබිඩ් කාදර් ය. ඩියෝන් ඩයස් හට එම අපහසු ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට නොහැකි විය. මෙම අර්ධය තුල දී ප්‍රතිවාදීන්ට කිසිදු ලකුණක් ලබා නොදී තරගය සියතට ගැනීමට තොමසුවන් සමත් විය.

ප්‍රථම අර්ධය: සාන්ත තෝමස් 12-00 විද්‍යා

විද්‍යා විද්‍යාලය දෙවන අර්ධයේ දී වෙනස්ම තරග රටාවකට ක්‍රීඩා කරනු දක්නට ලැබුණි. තරගය නැවත ආරම්භයෙන් මද වේලාවකට පසුව දෙනුවන් ප්‍රනාන්දු සිය කණ්ඩායම වෙනුවෙන් ප්‍රථම උත්සාහක දිනුම වාර්තා කළේය. ප්‍රවර්තනය සාර්ථක නොවූ නමුත් විද්‍යා විද්‍යාලයට තරගය පිළිබඳ බලාපොරොත්තු තබා ගැනීමට එම උත්සාහක දිනුම ප්‍රමාණවත් විය.

Thomas-vs-Science

විද්‍යා ක්‍රීඩක දෙනුවන් සිල්වා අනතුරුදායක Tackle කිරීමක් හේතුවෙන් කහ කාඩ් පතක් ලැබීය. ඉන් මද වේලාවකට පසුව Off Side වීමක් හේතුවෙන් ලැබුණු දඬුවම් පහර සාර්ථක කර ගත් ඩියෝන් තම කණ්ඩායමේ ලකුණු තත්ත්වය ඉහල නැංවීය. කෙසේ වෙතත් ඒ සමඟම වාගේ ක්‍රියාත්මක වුනු විද්‍යා ක්‍රීඩක හෂාන් මදුමාධව සාන්ත තෝමස් ආරක්ෂක වලල්ල බිඳ හෙලමින් ධවල රේඛාව අතික්‍රමණය කරනු දක්නට ලැබුණි.  තරගය දෙපිල අතර දෝලනය වෙමින් පැවති මොහොතක ක්‍රියාත්මක වූ සෙශාන් මාතංගවීර සාන්ත තෝමස් විද්‍යාලයට අත්‍යවශ්‍ය වූ උත්සාහක දිනුම ලබා දීමට සමත් විය.

අවසන් ලකුණු තත්ත්වය: සාන්ත තෝමස් 20 – 12 විද්‍යා

Thepapare.com තරගයේ වීරයා: හෂාන් මධුමාදව


රාජකීය විද්‍යාලය හා ඉසිපතන විද්‍යාලය – රාජකීය විද්‍යාලයීය ක්‍රීඩා සංකීර්ණය

පසුගිය ශූරයන් වූ ඉසිපතනය හා මෙවර තම තරග කාණ්ඩයේ අපරාජිතව සිටි රාජකීය කණ්ඩායම මුණ ගැසුණු මෙම තරගයේ ඊයේ දින පැවති උණුසුම්ම තරගය ලෙස දැක්විය හැකිය.

විශාල ප්‍රේක්ෂකයින් සංඛ්‍යාවක් මධ්‍යයේ පැවති මෙම තරගය අතිශයින් තියුණු මුහුණුවරක් ගත් අතර තරගයේ 5 වන මිනිත්තුවේ දීම තම ප්‍රථම උත්සාහක දිනුම වාර්තා කිරීමට ඉසිපතන ක්‍රීඩක රවිඳු අන්ජුල සමත් විය. මදක් අපහසු ප්‍රවර්තනයක් වූ එය සාර්ථක කර ගැනීමට ඉසිපතන ක්‍රීඩක රැන්ඩි සිල්වාට නොහැකි විය.

කෙසේ වෙතත් රාජකීයයන්ගේ අභිබවා යා නොහැකි අභියෝගය වන ඔවුන්ගේ ඉදිරි පෙල ක්‍රීඩකයන් එල්ල කළ ප්‍රහාරය සමඟ රාජකීයයන් නැවත තරගයට එක් වනු දක්නට ලැබුණි. ඉසිපතන ක්‍රීඩකයන් මැනවින් ප්‍රතිවාදීන් මෙල්ල කරගෙන සිටි නමුත් දඬුවම් පහරක් මගින් පන්දුව ඉවතට යොමු කළ රාජකීයයන් තම සුපුරුදු අවිය වන Rolling maul අවස්ථාවකට එළඹුණු අතර එය නැවත්වීම සඳහා කිසිදු අවස්ථාවක් ඉසිපතන ක්‍රීඩකයන්ට නොවූ බව දක්නට ලැබිණි.

Royal-vs-Isipathana

හම්සා රීසා එම උත්සාහක දිනුම වාර්තා කළ අතර නිකිල් ජෝර්ජ් මෙහි දී සාර්ථක ලෙස ප්‍රවර්තනය එල්ල කරමින් තරගයේ පෙරමුණ තම කණ්ඩායමට ලබා දීමට සමත් විය. තරගය විනිසුරුවරුන් විසින් මද වේලාවකට නැවැත්වූ අතර එහි ගැටලුව වූයේ ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය මගින් පැනවූ ජලය රැගෙන යන්නන් පිළිබඳ නීතියයි. තත්ත්වය සමථයකට පත් වීමෙන් අනතුරුව තරගය නැවත ආරම්භ වූ අතර නැවතත් 35 වන මිනිත්තුවේ දී රාජකීයයන් ක්‍රියාත්මක වනු දක්නට ලැබුණි. මෙවර රාජකීය Center ක්‍රීඩක තුලේබ් හසන් ප්‍රතිවාදී ක්‍රීඩකයින් තිදෙනෙක් ඇදගෙන ගොස් උත්සාහක දිනුම වාර්තා කරනු දක්නට ලැබුණි. එහි ප්‍රවර්තනය ද සාර්ථක කර ගැනීමට නිකිල් ජෝර්ජ් සමත් වූ අතර 39 වැනි මිනිත්තුවේ දී ඉසිපතන ක්‍රීඩකයන් විශිෂ්ට දස්කම් දක්වමින් උත්සාහක දිනුමක් ආසන්නයටම පැමිණි නමුත් දුර්වල පන්දු පාලනය හේතුවෙන් එම අවස්ථාව ව්‍යර්ථ වී ගියේ ය.

ප්‍රථම අර්ධය: රාජකීය 14-05 ඉසිපතන

දෙවන අර්ධය ආරම්භ වීමෙන් මිනිත්තු දෙකක් ගත වීමට පෙර ඉසිපතනය ක්‍රියාත්මක වූ අතර රාජකීය පසු පෙල ක්‍රීඩකයින් දැක්වූ දුර්වලතා මැනවින් හඳුනාගත් ඉසිපතන ක්‍රීඩක සුදීර ගයානාත් විශිෂ්ට ධාවනයක යෙදෙමින් රාජකීය ආරක්ෂක වලල්ල බිඳ හෙලමින් ඉදිරියට ගිය අතර එම විශිෂ්ට උත්සාහක දිනුමට සාධාරණයක් ඉටු කිරීමට චමෝද් ප්‍රනාන්දු සමත් විය.

නැවතත් ක්‍රියාත්මක වූ ඉසිපතනයේ පසු පෙල ක්‍රීඩකයින් පන්දුව ගුවනට යොමු කරමින් රාජකීයයන් පීඩනයට ලක් කරමින් ප්‍රබල තරගයක යෙදෙනු දක්නට ලැබුණි.  මෙහි දී සාර්ථක වූයේ නදීශ චාමින්ද යි. ඔහුගේ එම උත්සාහක දිනුමට සාධාරණයක් ඉටු කිරීමට මෙවර චමෝද්ට නොහැකි විය. කෙසේ වෙතත් ඉසිපතනය හා ලකුණු සම කිරීමට මොහොමඩ් ශාකීර් දඬුවම් පහරක් සාර්ථක කරගත්තේය. එයට සාර්ථක ලෙස පිළිතුරු දීමට ඉසිපතන නායකත්වය ඉදිරිපත් විය.

Royal-College-vs-Isipathana

75 වන මිනිත්තුවේ දී රාජකීය පසු පෙල ක්‍රීඩකයෙකුගේ අපරික්ෂාකාරී පන්දු පාලනය මැනවින් අවබෝධ කර ගත් සුමුදු රන්කොත්ගේ කිසිදු අපහසුතාවයකින් තොරව උත්සාහක දිනුමක් වාර්තා කලේ රාජකීය බලාපොරොත්තු සුන් කරමිනි. කෙසේ වෙතත් චමෝද් ප්‍රනාන්දු එම ඉතාමත් පහසු ප්‍රවර්තනය ව්‍යර්ථ කර ගැනීම බහුතර ඉසිපතන ප්‍රේක්ෂකයින්ගේ අප්‍රසාදයට ලක් විය. තරගයේ අවසන් මිනිත්තුවේ දී රාජකීයයන්ට ඉතාමත් හොඳ අවස්ථාවක් හිමි වූ නමුත් දුර්වල ක්‍රීඩා රටාව හා ඉසිපතන ක්‍රීඩකයන් තම වගකීම මැනවින් වටහාගෙන ක්‍රීඩා කිරීම නිසා මේජර් මිල් රෝයි ප්‍රනාන්දු ශූරතාවය තවත් වසරක් ඉසිපතනයේ රැඳෙනු ඇත.

අවසන් ලකුණු තත්ත්වය: රාජකීය 17-22 ඉසිපතන

ThePapare.com තරගයේ වීරයා: හරිත් බණ්ඩාර (ඉසිපතන)

 තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි ක්‍රීඩා පිටුවට