කවීන් හා විමුක්ති ලුම්බිණි ඉනිම සවිමත් කරයි

210

සිංගර් ආයතනයේ අනුග්‍රහයෙන්, පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග තුනක් අද (16) ආරම්භ විය. එහි දී කවීන් පීරිස් හා කුශංක පීරිස් යන ක්‍රීඩකයන් අර්ධ ශතක වාර්තා කළ අතර, විමුක්ති කුලතුංග තුන් ඉරියව් දස්කම් දක්වමින් ක්‍රීඩා කළේය.

කමිඳු ඇතුළු රිච්මන්ඩ් කණ්ඩායමට විශිෂ්ට ජයක්

සිංගර් වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ අද අවසන් වූ තරග…

සාන්ත පීතර විද්‍යාලය හා සාන්ත ඇලෝසියස් විද්‍යාලය

හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ පිටියේ දී ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය ඇලෝසියස් විද්‍යාලය සතු වූ නමුත් ප්‍රථමයෙන් පන්දු යැවීමට ඔවුන් තීරණය කළහ. තරගයේ පළමු දිනය අවසන් වන විට, පළමු ඉනිම දියත් කරන සාන්ත ඇලෝසියස් විද්‍යාලය කඩුලු 8ක් දැවී ලකුණු 88ක් ලබාගෙන සිටියි.

සාන්ත පීතර විද්‍යාලයට සිය පළමු ඉනිමට සියල්ලන්ම දැවී රැස්කර ගැනීමට හැකි වූයේ, ලකුණු 78ක් පමණක් වන අතර, පන්දු යැවීමේ දී වමතින් මඳ වේගපන්දු යවන ක්‍රීඩක දිනුක ලක්මාල් ලකුණු 5ක් තුළ කඩුලු 4ක් දවා ගනිමින් සාන්ත ඇලෝසියස් විද්‍යාලය වෙනුවෙන් සිය වගකීම නොපිරිහෙළා ඉටු කළේය.

පළමු ඉනිමේ ජයක් ලබා ගැනීම සඳහා ලකුණු 79ක ඉලක්කයක් ලැබුණු සාන්ත ඇලෝසියස් විද්‍යාලය එම ලකුණු ප්‍රමාණය පහසුවෙන්ම අත්කර ගැනීම සඳහා සාන්ත පීතර පන්දු යවන්නන් අවස්ථාව නොදුනි. එහි දී සන්තුෂ් ගුණතිලක හා මොහොමඩ් අමීන් පිළිවෙළින් කඩුලු 3ක් හා කඩුලු 2ක් දවා ගන්නා ලදි. තරගයේ පළමු දිනය අවසන් වන විට, සාන්ත පීතර විදුහලේ පළමු ඉනිමට වඩා ලකුණු 10ක් පෙරමුණේ පසුවීමට සාන්ත ඇලෝසියස් විද්‍යාලයට හැකි විය.

සාන්ත පීතර විද්‍යාලය පළමු ඉනිම – 78/10 (42.5): දිනුක ලක්මාල් 4/05, රවිඳු සංජන 3/28, හරීන් බුද්ධිල 2/21.

සාන්ත ඇලෝසියස් විද්‍යාලය පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 88/8 (52): සන්තුෂ් ගුණතිලක 3/18, මොහොමඩ් අමීන්  2/22.


රිච්මන්ඩ් විද්‍යාලය හා ධර්මපාල විද්‍යාලය

වර්ෂාව නිසා ගාලු තණතීරුව අවට ප්‍රදේශය ක්‍රීඩා කිරීමට උචිත මට්ටමක නොපැවතුන හෙයින්, තරමක් ප්‍රමාද වී මෙම තරගය ආරම්භ කිරීමට සිදු විය.

C කාණ්ඩය යටතේ පැවැත්වුණු මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ රිච්මන්ඩ් විද්‍යාලය පළමුව පන්දුවට පහර දීමට ප්‍රතිවාදී ධර්මපාල විද්‍යාලයට ඇරයුම් කළේය. ධර්මපාල විද්‍යාලය වෙනුවෙන් කුශංක පීරිස් ලකුණු 50ක් ලබාගෙන දස්කම් අතරට පැමිණි අතර, අවිශ්ක හසරින්ද ද ලකුණු 40ක් ලබාගෙන කුශංක හට අනගි සහයක් ලබා දුන්නේය.  පන්දු යැවීමේ දී දක්ෂ පන්දු යැවීමක නිරත වූ සඳුන් මෙන්ඩිස් කඩුලු 5ක් දවා ගන්නා ලදි. තරඟයේ පළමු දිනය අවසන් වන විට පළමු ඉනිම ක්‍රීඩා කරන ධර්මපාල විද්‍යාලය කඩුලු 8ක් දැවී ලකුණු 144ක් ලබාගෙන සිටියි.

ධර්මපාල විද්‍යාලය පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 144/8 (59): කුශංක පීරිස් 50, අවිශ්ක හසරින්ද 40, මලිත් සඳකැළුම් 31, සඳුන් මෙන්ඩිස් 5/50.

යොවුන් කණ්ඩායමේ නායකත්වය රිච්මන්ඩ් ක්‍රීඩක කමිඳුට

ආසියානු ක්‍රිකට් කවුන්සලය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ ආසියානු යොවුන් ක්‍රිකට්…

සහිරා විද්‍යාලය හා ලුම්බිණි විද්‍යාලය

කෝල්ට්ස් පිටියේ දී ආරම්භ වූ D කාණ්ඩයේ මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ සහිරා විද්‍යාලය ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් නමුත්, එය ඔවුන්ට එතරම් සුභදායී තත්වයක් වූයේ නැත.

සහිරා විද්‍යාලයේ පිතිකරුවන් හට කෝල්ට්ස් පිටියේ හැසිරීම හඳුනා ගැනීමට තරමක් අපහසු වූ අතර, එහි දී යසිත් නිර්මාල් සහිරා විද්‍යාලයට ලකුණු 21ක් එක් කළේය. අවසානයේ සහිරා පළමු ඉනිම ලකුණු 67කට සීමා විය. අමිත් දාබරේ කඩුලු 4ක් දවා ගන්නා විට, වමතින් දඟපන්දු යවන විමුක්ති කුලතුංග කඩුලු 3ක් දවා ගන්නා ලදි.

පිළිතුරු පළමු ඉනිම දියත් කළ ලුම්බිණි විද්‍යාලයට ද මුල් කඩුලු කිහිපය සැලකිය යුතු වේලාවක් රැක ගැනීමට හැකියාවක් ලැබුණේ නැත. නමුත් මැදපෙළ සවිමත් කළ, දකුණතින් පිත්ත හසුරුවන කවින් පීරිස් හා විමුක්ති පිළිවෙළින් ලකුණු 56ක් හා ලකුණු 43ක් ලබාගෙන ලුම්බිණි ඉනිමට යම් සවියක් වූ අතර, ඒ සමගින් ලුම්බිණි විදුහලේ පළමු ඉනිමේ ජයග්‍රහණය ද තහවුරු විය.

අවසානයේ ඔවුන්ගේ පළමු ඉනිම ලකුණු 128කට සීමා වූයේ, මොහොමඩ් ඩිල්හාන්ගේ දක්ෂ පන්දු යැවීම නිසාවෙනි. එහි දී කඩුලු 4ක් දවා ගැනීමට ඔහු සමත් විය.

පළමු දිනය අවසන් වන විට සහිරා විද්‍යාලය සිය දෙවන ඉනිමට කඩුලු 2ක් දැවී ලකුණු 21ක් ලබාගෙන සිටින්නේ, ලුම්බිණි විද්‍යාලයේ පළමු ඉනිමට වඩා ලකුණු 40ක් පසුපසින් පසුවෙමිනි.

සහිරා විද්‍යාලය පළමු ඉනිම – 67/10 (31.2): යසිත් නිර්මාල් 21, අමිත් දාබරේ  4/13, විමුක්ති කුලතුංග 3/16.

ලුම්බිණි විද්‍යාලය පළමු ඉනිම – 128/10 (45.1): කවීන් පීරිස්  56, විමුක්ති කුලතුංග 43, මොහොමඩ් ඩිල්හාන් 4/22, රිත්මික නිමේෂ් 2/21.

සහිරා විද්‍යාලය දෙවන ඉනිම (පළමු දිනය අවසානයේ)  – 21/2 (15):

 >> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<