නායක චාමර සිල්වාගේ විශිෂ්ට පිතිකරණයෙන් බල ගැන්වුණු MAS යුනිචෙලා කණ්ඩායම බරපතල අගාධයකින් ගොඩ එමින් 24 වන සිංගර් – වෙළඳ සේවා ක්‍රිකට් සංගම් පිළිමලුන් පිටු දැකීමේ එක්දින තරගාවලි ශූරයන් ලෙස අභිෂේක ලබන්නට සමත් විය.

පසුගිය ලිපි: MAS යුනිචෙලා, ඩිමෝ, ජෝන් කීල්ස් සහ කොමර්ෂල් ක්‍රෙඩිට් අවසන් පූර්ව වටයට

ඒ අවසන් මහා තරගයේදී කොමර්ෂල් ක්‍රෙඩිට් ඇන්ඩ් ෆිනෑන්ස් PLC කණ්ඩායමෙන් එල්ලවූ අභියෝගය පරාජය කරමිනි. වර්ෂාවෙන් සහ අයහපත් ආලෝකයෙන් එල්ලවූ බාධා මධ්‍යයේ පැවැත්වුණු මෙම තරගයේදී MAS යුනිචෙලා කණ්ඩායමට ඩක්වර්ත් – ලුවිස් න්‍යායට අනුව ලකුණු 23ක ජයක් හිමි විය.

මේ අනුව MAS යුනිචෙලා කණ්ඩායම වෙළඳ සේවා ක්‍රිකට් පිටියේ එක්දින තරග විශිෂ්ටයන් බවට පත් වූයේ මෙම මස මුලදී අවසන් වූ ලීග් තරගාවලියේ ශූරතාවද දිනා ගනිමිනුයි.

තරගයට පෙර දින රාත්‍රියේ ඇදහැළුණු වර්ෂාව හේතුවෙන් කොළඹ වෙළඳ සේවා ක්‍රිකට් ක්‍රීඩාංගනය තුල නියමිත වෙලාවට තරගය ආරම්භ කිරීමට අවස්තාව හිමි නොවුනි. තරගයයේ විනිශ්චයකරුවන් ක්‍රීඩාංගනය පරීක්ෂා කිරීමෙන් අනතුරුව තීරණය කලේ අවසන් මහා තරගය එක් කණ්ඩායමකට පන්දුවාර 32 බැගින් වූ තරගයක් ලෙස පැවැත්වීමටයි. මේ අනුව පස්වරු 1.00 ට පමණ තරගය ආරම්භ කෙරුණු අතර කාසියේ වාසිය දිනාගත් කොමර්ෂල් ක්‍රෙඩිට් නායක උපුල් තරංග පළමුවෙන් පන්දු යැවීමට තීරණය කරන ලදී.

එම තීරණයට සාධාරණය ඉටු කල කාවින්ද සිල්වා තම වේග පන්දුවේ බලයෙන් රශ්මික ඕපාත සහ මහේල උඩවත්ත දෙදෙනාම අඩු ලකුණු සංඛ්‍යාවක් තුල නැවත ක්‍රීඩාගාරය වෙත හරවා යවන්නට සමත් විය. ආරම්භක පිතිකරුවකු ලෙස පිටියට පිවිසි රමිත රඹුක්වැල්ල පන්දු 25කින් වේගවත් ලකුණු 31ක් රැස් කිරීමට සමත් විය.

කෙසේ වෙතත් රමිත, සුරාජ් රන්දීව් ගේ ගොදුරක් බවට පත් වීමෙන් පසු, වරෙක MAS යුනිචෙලා කණ්ඩායම ලකුණු 59ක් තුල කණ්ඩායමේ පිතිකරුවන් 5 දෙනෙක්ම නරඹන්නන් බවට පත්ව සිටියේ කොමර්ෂල් ක්‍රෙඩිට් කණ්ඩායමට පහසු ජයග්‍රහනයක මාර්ගය පෙනෙන මානයට ගෙන එමිනුයි.

නමුත් MAS යුනිචෙලා කණ්ඩායමේ නායක චාමර සිල්වා සතුව තිබුනේ වෙනත් අදහසක්. ඔහු පසුපෙළ පිතිකරුවන් සමග එක්ව කඩා වැටුණු ඉනිම අති විශිෂ්ට ආකාරයෙන් නැවත ගොඩනගන්නට සමත් විය. චාමර ලකුණු 99ක් ලබා ගත්තේ පන්දු 69ක් පමණක් වැය කරමිනුයි. ඔහුගේ ඉනිමට හතරේ පහර 6ක් සහ දැවැන්ත හයේ පහර 6ක් ඇතුලත් විය. තම ශතකය සම්පූර්ණ කිරීමට එක ලකුණක් පසුපසින් සිටියදී අවසන් පන්දු වාරයේ 5 වන පන්දුවට දැවී ගිය චාමර ඒ වන විට තම කණ්ඩායම සුරක්ෂිත ස්ථානයකට ගෙන යාමේ වගකීම මැනවින් ඉටු කර තිබුණි.

චතුර පීරිස් චාමර සිල්වා සමග 6 වන කඩුල්ලට ලකුණු 84ක සබඳතාවක් ගොඩ නගන්නට සහය දුන් අතර යොවුන් ක්‍රීඩක තිලක්ෂ සුමනසිරිද වේගවත් ලකුණු 27ක් ලබා ගත්තේ පන්දු 18ක් පමණක් වැය කරමිනුයි. ඉනිමේ අවසන් පන්දුවාර 10 තුල ලකුණු 117ක් රැස් කල MAS යුනිචෙලා කණ්ඩායම පළමු පන්දුවාර 22 තුල ලබාගත් ලකුණු 129ත් සමග නියමිත පන්දුවාර 32 අවසානයේ කඩුලු 9කට ලකුණු 246ක් ලෙස සටහන් වූ දැවැන්ත ලකුණු පුවරුවක හිමිකරුවන් බවට පත් විය.

පන්දු 192 කින් ලකුණු 247 ක් ලබා ගැනීමේ අසීරු ඉලක්කය හඹා ගිය කොමර්ෂල් ක්‍රෙඩිට් කණ්ඩායමේ පළමු කඩුල්ල අඩු ලකුණු සංඛ්‍යාවකට බිඳ වැටුනත් නායක උපුල් තරංග සහ අශාන් ප්‍රියන්ජන් තරමක් වේගවත් පිතිහරඹයක නිරත වෙමින් සිය කණ්ඩායමේ බලාපොරොත්තු ඉහල නංවන්නට සමත් විය. ප්‍රියන්ජන් ලකුණු 22ක් ලබා ගනිද්දී නායකයා රැස් කළ ලකුණු සංඛ්‍යාව 46ක්. නමුත් පන්දු යවන්නාගේ අන්තයේ සීමාවෙන් එපිට රැඳී සිටියදී තරංග දුවද්දී දැවී ගියේ සිය කණ්ඩායමේ ඉරණම මෙන්ම  අවාසනාවන්ත ලෙසයි.

චාමර කපුගෙදර හතරේ පහර 4ක් සහ හයේ පහර 3ක් සමග පන්දු 27කින් ලකුණු 50ක් ලබා ගන්නට සමත් වූවද ජයග්‍රහණය සඳහා එය ප්‍රමාණවත් වුනේ නැහැ. තරගය පවත්වාගෙන යාමට අවශ්‍ය තරම් ආලෝකය යහපත් තත්ත්වයක නොතිබීම හේතුවෙන් තවත් පන්දුවාර 9.4ක් ඉතිරිව තිබියදී තරගයේ අවසානය සනිටුහන් කරන්නට විනිසුරුවන්ට සිදු විය. ඒ වන විට කොමර්ෂල් ක්‍රෙඩිට් කණ්ඩායම කඩුලු 6ක් දැවී ලබා ගෙන සිටි ලකුණු සංඛ්‍යාව 159ක්.

මේ අවස්තාව වන විට ඩක්වර්ත් – ලුවිස් න්‍යාය අනුව කොමර්ෂල් ක්‍රෙඩිට් කණ්ඩායමේ ජයග්‍රාහී ඉලක්කය ලකුණු 184ක් ලෙස සටහන් වී තිබුණි. මේ අනුව ලීග් තරගාවලියේ ශූරතා කුසලානය සමගම තැම්පත් කර තැබීමට පිළිමලුන් පිටුදැකීමේ ශූරතා කුසලානයත් හිමිවුණේ චාමර සිල්වා ප්‍රමුඛ MAS යුනිචෙලා කණ්ඩායමටයි. අසරණ තත්ත්වයක සිටි කණ්ඩායම ජයග්‍රාහී ස්ථානයකට ගෙන යාම සඳහා විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කල MAS යුනිචෙලා නායක චාමර සිල්වා අවසන් මහා තරගයේ වීරයා ලෙසින් සම්මාන දිනා ගන්නා ලදී.

අනෙකුත් සම්මාන 

  • තරගාවලියේ හොඳම පිතිකරු – ධනුෂ්ක ගුණතිලක (MAS යුනිචෙලා)
  • තරගාවලියේ හොඳම පන්දු යවන්නා  – විකුම් සංජය  (ජෝන් කීල්ස්)
  • තරගාවලියේ වීරයා  (ලීග් තරගාවලිය) – ධනුෂ්ක ගුණතිලක (MAS යුනිචෙලා)

අවසන් තරගයේ ලකුණු පුවරුව 

MAS යුනිචෙලා – 246/9 (32): චාමර සිල්වා – 99,  චතුර පීරිස් – 34,  රමිත රඹුක්වැල්ල – 31, කාවින්ද සිල්වා – 2/32, ලහිරු මධුශංක – 2/57

කොමර්ෂල් ක්‍රෙඩිට් – 159/6 (22.2) : චාමර කපුගෙදර – 50, උපුල් තරංග – 46, අශාන් ප්‍රියන්ජන් – 22, ඉෂාර අමරසිංහ – 2/17

MAS යුනිචෙලා කණ්ඩායමට ඩක්වර්ත් – ලුවිස් න්‍යායට අනුව ලකුණු 23ක ජයක්.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් පිටුවට