රිච්මන්ඩ් හා ආනන්ද අවසන් මහා තරගයට

4808

සිංගර් කුසලානය උදෙසා පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ දෙදින ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරඟ ඊයේ (07) ආරම්භ වූ අතර, එම තරඟ දෙකෙන් කොළඹ ආනන්ද විද්‍යාලය හා ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය පළමු ඉනිම ජයග්‍රහණය කර, අවසන් වටය සඳහා සුදුසුකම් ලබාගත්හ.

රංසිකගේ සාර්ථකත්වයට ඕස්ට්‍රේලියානු මැදපෙළ වැට බඳියි

ශ්‍රී ලංකා යොවුන් පිළේ ඕස්ට්‍රේලියානු තරග සංචාරය අරඹමින් අද (08) හෝබාර්ට් ටෙස්ට් තරගයේ ප්‍රථම දිනය ක්‍රියාත්මක විය. තරගයේ මුල් පැය ඇතුළත…

කොළඹ සාන්ත පීතර විද්‍යාලය හා කොළඹ ආනන්ද විද්‍යාලය අතර තරගය

කොළඹ මුවර්ස් ක්‍රීඩා පිටියේදී කාසියේ වාසිය ජයග්‍රහණය කර ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළ සාන්ත පීතර විද්‍යාලය තම පළමු ඉනිම සඳහා ලකුණු 211ක් ලබාගත් අතර, ඊයේ (7) දිනය අවසන් වන විට පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කළ ආනන්ද විද්‍යාලය කඩුලු 5ක් දැවී ලකුණු 74ක් ලබාගෙන ප්‍රතිවාදීන් හමුවේ අපහසු වාතාවරණයක පසුවිය.

ආනන්ද විද්‍යාලයේ මුල්පෙළ සාන්ත පීතර පන්දු යවන්නන් හමුවේ දෙදරා ගිය නමුත්, මැදපෙළ ශක්තිමත් කළ කමේෂ් නිර්මාල් තම අර්ධ ශතකයද සම්පූර්ණ කරගෙන පිටිය සිසාරා පහරවල් එල්ල කරමින් ලකුණු 52ක් තම විද්‍යාලයේ ලකුණු පුවරුවට එක් කරවන ලදි. එම සාර්ථක ඉනිම දියත් කල කමේෂ් සමගින් ආනන්ද විද්‍යාලය වෙතට පළමු ඉනිමේ ජයග්‍රහණය ලබාගැනීමට අවශ්‍ය ජවය හා බලය එක් කරවමින් ආනන්ද කණ්ඩායමේ බලාපොරොත්තු ඉහළ නැංවීමට අසේල සිගේරා (43) හා සුපුන් වරාගොඩ (33) සමත් විය. ඔවුන් සැලකිය යුතු ලකුණු ප්‍රමාණයක් ලකුණු පුවරුවට එක්කිරීමට සමත්වූ අතරම, අානන්ද විද්‍යාලයේ සෑම පිතිකරුවෙක් වාගේ සිය විදුහල වෙනුවෙන් තම වගකීම උපරිමයෙන් ඉටුකරනු දක්නට ලැබුණි.

එම ඉනිම තුල සන්තුෂ් ගුණතිලක ලකුණු 47ක් තුළ කඩුලු 4ක් දවාලමින් සාන්ත පීතරවරුන්ට යම් සහනයක් ලබාදෙන ලදි. මනෙල්කාර් ද සිල්වා කඩුලු 3ක් දවාලන ලදි.

අවසානයේ ආනන්ද විද්‍යාලය තම ඉනිම අත්හිටුවීමට තීරණය කළ අතර, නිසාවෙන් විනිසුරුවරුන් විසින් පළමු ඉනිමේදී ජයග්‍රහණය ලද ආනන්ද විද්‍යාලයට අවසන් වටයට යාමට අවස්ථාව ලබාදෙන ලදි.

සාන්ත පීතර විද්‍යාලය පළමු ඉනිම – සියල්ලන්ම දැවී ලකුණු 211 (පන්දුවාර 71.3): ශිවාන් පෙරේරා 68, රන්මිත් ජයසේන 43, මනෙල්කාර් ද සිල්වා 26, සන්තුෂ් ගුණතිලක 20, අසේල් සිගේරා 3/36, ශම්මු අශාන් 2/17, චාමික ගුණසේකර 2/35

ආනන්ද විද්‍යාලය පළමු ඉනිම – ලකුණු 223 / 09 dec (පන්දුවාර 72.5): කමේෂ් නිර්මාල් 52, අසේල සිගේරා 43, සුපුන් වරාගොඩ 33, ලහිරු හිරන්‍ය 26, සහන් සුරවීර 24, කලණ විජේසිරි 20, සන්තුෂ් ගුණතිලක 4/47, මනෙල්කාර් ද සිල්වා 3/67


කොළඹ තර්ස්ටන් විද්‍යාලය හා ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය අතර තරගය

මග්ගොන සරේ ගම්මාන පිටියේදී කාසියේ වාසිය ජයග්‍රහණය කල රිච්මන්ඩ් විද්‍යාලය තම කණ්ඩායම සතුව සිටින ප්‍රබල ක්‍රිකට් තරුවක් වන නායක කමිදු මෙන්ඩිස්ගේ සහභාගීත්වයෙන් තොරව මෙම තරගයට මුහුණ දුන් අතර, එහි පළමු ඉනිම ජයග්‍රහණය කළ රිච්මන්ඩ් විද්‍යාලය අවසන් මහා තරඟය වෙත ගෙන යාමට කමිදු ගේ සගයින්ට අද (08) හැකිවිය.

කමිදු ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ නායකත්වය දරන අතර ඔහු මේ වන විට ඕස්ට්‍රේලියානු වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සමගින් තරග වැදීමට ඕස්ට්‍රේලියාව බලා පිටත්ව ඇත.  නමුත් එම හිදැස නොපෙන්වා තම පිතිකරණ අංශය බලවත් කරගත් රිච්මන්ඩ් විද්‍යාලය තර්ස්ටන් විද්‍යාලයේ පළමු ඉනිමේ ලකුණු 289ට පිළිතුරු ලෙස කඩුලු 9ක් පමණක් දැවී ලකුණු 292ක් ලබාගෙන තම පළමු ඉනිම අත්හිටුවන ලදි. එහිදී එවැනි ලකුණු මට්ටමකට තම කණ්ඩායම මෙහෙයවමින්, මනා සංයමයකින් යුතුව තම පිත්ත හැසිරවූ ආධිත්‍යය සිරිවර්ධන තම කණ්ඩායමේ ජය සංඛය බවට පත්වෙමින් වැදගත් ලකුණු 112ක් ලබාගෙන තම ශතකය සරේ පිටියේදී සනිටුහන් කරවූයේ, තර්ස්ටන් විද්‍යාලයට මෙවරද පරාජය උරුමකර දෙමිනි.

ආධිත්‍යය ගේ සවිමත් අඩිතාලම මත සෘජුව සිටගත් රිච්මන්ඩ් මැදපෙළ පිතිකරුවන් ආධිත්‍යය ගේ වෑයම පුස්සක් නොවන්නට වගබලාගත් අතර, එහිදී තවීෂ අභිෂේක් හා ධනංජය ලක්ෂාන් පිළිවෙලින් ලකුණු 42ක් හා ලකුණු 32ක් රැස්කරගන්නා ලදි. පන්දු යැවීමේදී තර්ස්ටන් විද්‍යාලය වෙනුවෙන් තුශාල් ආධිත්‍යය ලකුණු 111ක් තුල කඩුලු 4ක් තමන් සතුකරගන්නා විට, නවීන් ගුණවර්ධන කඩුලු 3ක් දවාලමින් දස්කම් දැක්වීමට සමත් විය.

පසුගිය දා නිමාවූ සීමිත පන්දුවාර අවසන් තරගය තුල දී ද තර්ස්ටන් විද්‍යාලය රිච්මන්ඩ් විද්‍යාලය හමුවේ පරාජයට පත්වූ අතර, එය මකාලීමේ අදිටන ඇතිව ක්‍රීඩා කල තර්ස්ටන් විද්‍යාලයට අවසානයේ එම ඉලක්කය සුළු ලකුණකින් ගිලිහී ගියේය.

තර්ස්ටන් විද්‍යාලය – සියල්ලන්ම දැවී ලකුණු 289 (පන්දුවාර 97): නිපුන් ලක්ෂාන් 77, පවන් ප්‍රභාෂ් 73*, ‍යෙශාන් වික්‍රමාරච්චි 47, ප්‍රගීෂ මෙන්ඩිස් 22, අවිඳු තීක්ෂණ 5/78, සඳුන් මෙන්ඩිස් 4/72.

රිච්මන්ඩ් විද්‍යාලය පළමු ඉනිම ලකුණු  292/9 dec (පන්දුවාර 81.3) ආධිත්‍යය සිරිවර්ධන 112, තවීෂ අභිෂේක් 42, ධනංජය ලක්ෂාන් 32, සඳුන් මෙන්ඩිස් 29, කසුන් තාරක 25, තුශාල් ආධිත්‍යය 4/111, නවීන් ගුණවර්ධන 3/63

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට