ශ්‍රී ලංකාවට යොවුන් ක්‍රිකට් අභියෝගයේ ශූරතාවය ගිලිහේ

727

වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන අභියෝගතා කුසලානට පෙරහුරුවක් ලෙස ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සංවිධාන කළ අභියෝගතා කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අනුශූරතාව දිනා ගන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සමත් විය. ඒ ඉන්දියා ‘බ්ලූ’ කණ්ඩායම සමඟ පැවති අවසන් මහා තරගය ලකුණු 95කින් පරාජය වීමත් සමඟයි.

නුවනිදුගේ පිතිකරණයෙන් ඉන්දියාව බලාපොරොත්තු අත්හරී

ඉන්දියාවේ මුම්බායි නුවර බී. කේ. සී පිටියේ පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ අභියෝගතා කුසලාන එක්දින ක්‍රිකට්…

මුම්බායි නුවර ඉන්දීය ක්‍රිකට් සංගම් ක්‍රීඩාංගණයේ පැවති අවසන් තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායමේ නායක අයන සිරිවර්ධන ප්‍රථමයෙන් තෝරා ගත්තේ පන්දු යැවීමයි.

ඉන්දීය ‘බ්ලූ’ කණ්ඩායමේ පළමු කඩුල්ල ලකුණු 31ක් වෙද්දී බිඳ වැටුනත්, දෙවන කඩුල්ල සඳහා ලකුණු 120ක අගනා සබඳතාවක් ගොඩ නගන්නට නායක එච්. ජේ. රානා සහ කඩුලු රකින ක්‍රීඩක උර්විල් පටෙල් සමත් විය. රානා ඉන්දියා ‘බ්ලූ’ කණ්ඩායමේ සාර්ථකම පිතිකරුවා බවට පත් වෙමින් රැස් කළ ලකුණු සංඛ්‍යාව 78ක්. ඔහුගේ ඉනිමට හතරේ පහර 10ක් ඇතුලත් වී තිබුණි. ඔහුට අනගි සහයක් ලබා දුන් පටෙල් දැවී ගියේ ලකුණු 57කට යි.

ඉන්දීය ලකුණු පුවරුව 151ක් ලෙස සටහන්ව තිබිය දී ඔවුන් දෙදෙනාම නැවත ක්‍රීඩාගාරයට හරවා යවන්නට ශ්‍රී ලංකා යොවුන් පන්දු යවන්නන් හට හැකියාව ලැබුණි. මැද පෙළ පිතිකරුවන්ගෙන් වැඩි දායකත්වයක් නොලැබුණු නමුත් එම්. එස්. භාන්දාගේ තවත් අර්ධ ශතකයකින් කණ්ඩායම ශක්තිමත් කරන ලදි. මේ අනුව නියමිත පන්දු වාර 50 අවසන් වන විට ඉන්දීය ‘බ්ලූ’ ලකුණු පුවරුව සටහන් වුණේ සියල්ලන් දැවී ලකුණු 244ක් ලෙසයි.

පන්දු යැවීමේ දී නායක අයන සිරිවර්ධන ලකුණු 36කට කඩුලු 4ක් දවා ගත් අතර රවිඳු සංජන කඩුලු 3ක් බිඳ හෙළුවේ සිය පන්දු වාර 10 තුල ලකුණු 42ක් ලබා දෙමින්.

ඉන්දීය ක්‍රිකට් දඩබිමේ ශ්‍රී ලාංකිකයෝ නැවතත් අසරණ වේ

දඩබිමක සිදුවන දඩයමක දී දුර්වලයාට කිසිදු ඉඩක් නොතැබීම ප්‍රබලයාගේ ගතියයි. එය ක්‍රිකට් ක්‍රීඩාවේ දී ද එයාකාරයෙන් ම සිදු වේ…

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමට පන්දුවාර 45යි පන්දු 4 ක් තුළ සියල්ල දැවී ලබා ගැනීමට හැකි වුනේ ලකුණු 149ක් පමණයි. නිශාන් මධුශංක ලකුණු 44ක් සහ රවිඳු සංජන ලකුණු 28ක් ලබා ගත් අතර අනෙකුත් කිසිදු පිතිකරුවෙකුට ලකුණු 20 සීමාවට හෝ ළඟා වීමට හැකියාව ලැබුණේ නැහැ. පන්දු යැවීමේ දී ශිවම් මාවි සහ එන්. ඒ. රත්වා කඩුලු 3 බැගින් බිඳ හෙලීමට සමත් විය.

ඉන්දියා බ්ලූ – සියලු දෙනා දැවී 244 (50): එච්. ජේ. රානා 78, උර්විල් පටෙල් 57, එම්. එස්. භාන්දාගේ 53, අයන සිරිවර්ධන 4/36, රවිඳු සංජන 3/42, නුවනිඳු ප්‍රනාන්දු 2/41

ශ්‍රී ලංකා 19න් පහළ ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම – සියලු දෙනා දැවී 149 (45.4): නිෂාන් මදුෂ්ක 44, රවිඳු සංජන 28, නිපුන් දනංජය 18, ෂිවම් මාවි 3/18, එන්. ඒ. රත්වා 3/28

  >> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<