ශානක, අපෝන්සු, ගමගේ හා වීරක්කොඩි ශ්‍රී ලංකා ‘ඒ’ සංචිතයට

1119

හෙට (18) දඹුල්ලේදී පැවැත්වීමට නියමිත බටහිර ඉන්දීය කොදෙව් ‘ඒ’ කණ්ඩායමට එරෙහි තෙවන සහ අවසන් නිල නොවන ටෙස්ට් තරඟය සඳහා ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ නායකත්වයට ලහිරු තිරිමාන්න නම් කොට ඇත.

පසුගිය ලිපි: MAS යුනිචෙලා සහ කොමර්ෂල් ක්‍රෙඩිට් තීරණාත්මක අවසන් සටනට!

පාදයේ ආබාධයකට ලක්ව සිටි බැවින් දෙවන තරඟයට ක්‍රීඩා නොකළ කුසල් ජනිත් පෙරේරා කණ්ඩායමේ උප නායකත්වයට පත්කොට තිබේ.

ප්‍රථම තරඟ දෙකේදී ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ නායකත්වය හෙබවූ දිමුත් කරුණාරත්නට තෙවන තරඟය සඳහා නම් කළ පහළොස් දෙනෙකුගෙන් යුත් සංචිතයේ ඉඩ නොලැබුණු අතර කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල සහ වේගපන්දු යවන යොවුන් ක්‍රීඩක ලහිරු කුමාර ද සංචිතයට නම්කොට නැත.

කරුණාරත්න ඉකුත් තරඟ දෙකේදී 80.3ක ප්‍රහාරක වේගයකින් මුළු ලකුණු 241ක් වාර්තා කළ අතර කොළඹදී වාර්තා කළ විජයග්‍රාහී ශතකයක්ද ඊට ඇතුලත් විය. දික්වැල්ල තරඟාවලියේදී අර්ධ ශතක දෙකක් වාර්තා කළේය.

වේගපන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානක, මෙතෙක් ජාත්‍යන්තර වරම් නොලැබු කඩුලු රකින ක්‍රීඩක සඳුන් වීරක්කොඩි, වමත් දඟපන්දු යවන අමිල අපෝන්සු සහ වේග පන්දු යවන ලහිරු ගමගේ තෙවන සිව්දින තරඟය සඳහා වන සංචිතයේ තමතමාට ලැබිය යුතුව තිබුණු ස්ථානයන් වෙන්කරගෙන ඇත.   

ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම ප්‍රථම තරඟයේදී කඩුලු 7ක විශිෂ්ට ජයක් වාර්තා කළ නමුත් කොදෙව් ‘ඒ’ කණ්ඩායම පල්ලෙකැලේ තරඟයේදී ලකුණු 333ක ජයකින් තරඟාවලිය සමකොට උපන්බිමේ වාසිය ලාංකිකයන්ට අහිමි කළේය.

තෙවන සිව්දින තරඟය සඳහා ශ්‍රී ලංකා ‘ඒ’ සංචිතය.

ලහිරු තිරිමාන්න (නායක), කුසල් ජනිත් පෙරේරා (උප නායක), අවිශ්ක ප්‍රනාන්දු, චරිත් අසලංක, රොෂේන් සිල්වා, අසේල ගුණරත්න, සඳුන් වීරක්කොඩි, දසුන් ශානක, අනුක් ප්‍රනාන්දු, ලක්ෂාන් සඳකැන්, ජෙෆ්රි වැන්ඩර්සේ, අමිල අපෝන්සු, අසිත ප්‍රනාන්දු, කසුන් මධුශංක, ලහිරු ගමගේ.

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට