ශකීබ් මාස 6ක විරාමයක් ඉල්ලයි

447
Shakib wants six-month Test break
AFP PHOTO / Marty Melville

බංග්ලාදේශ සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක ශකීබ් අල් හසන්, ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් මාස 6ක විරාමයක් ඉල්ලා සිටින බව වාර්තා වේ. ඔහු මෙම තාවකාලික විරාමය ඉල්ලා සිටින්නේ, ඉදිරියේ දී පැවැත්වීමට නියමිත තරගවලට පෙර කෙටි විවේකයක් අවශ්‍ය බව පවසමිනි.

බංගලාදේශ ක්‍රිකට් පරිපාලන මණ්ඩලයේ මාධ්‍ය අංශයේ ලේකම් ජලාල් යූනුස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ, ශකීබ් අල් හසන් ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් මාස 6කට ඉවත් වන බව තම ආයතනයට ලිඛිතව දැනුම් දුන් බවත්, ඔහුට ඉදිරියේ දී පැවැත්වීමට නියමිත තරගවලට පෙර කෙටි විවේකයක් අවැසි බවත් එහි සඳහන් වූ බවයි.

>> CPL ශූරතාවය Trinbago කණ්ඩායමට

බංගලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය ඊයේ (10) දිනයේ දී රැස් වෙමින් මේ පිළිබඳව සඳහන් කළ අතර, ඔවුන් එසේ රැස් වූයේ එළඹෙන සැප්තැම්බර් 16 වන දා ජොහැන්ස්බර්ග් හිදී ආරම්භ වීමට නියමිත ටෙස්ට් තරග 2කින් යුත් ටෙස්ට් තරගාවලියට ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුතු සංචිතය නිල වශයෙන් ප්‍රකාශ කිරීම සඳහා ය. ඒ අනුව ශකීබ් අල් හසන්ට මෙම තරගාවලියට සහභාගි වීමට අවස්ථාව අහිමි වේ.

ශකීබ් අල් හසන් මේ වන විට ලොව සිටින හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයින් අතරින් අයෙක් වන අතර මේ වන විට බංගලාදේශ විස්සයි විස්ස කණ්ඩායමේ නායකයා ලෙස ද කටයුතු කරයි.

පසුගිය අගෝස්තු මාසයේ දී නිමා වූ බංගලාදේශ – ඕස්ට්‍රේලියා ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දී තම 50 වැනි ටෙස්ට් තරගයට සහභාගි වූ ශකීබ්, එහි දී කඩුලු 10ක් දවා ගැනීමට සමත් වූ අතර බංගලාදේශ ප්‍රථම ඉනිමේ දී ලකුණු 84ක් වාර්තා කරමින් විශිෂ්ට ලෙස දස්කම් දක්වන ලදි.

ශකීබ් අල් හසන් මේ වන විට ටෙස්ට් තරග 51කට සහභාගි වී ඇති අතර වර්තමානයේ ප්‍රබල කණ්ඩායම් වන ඕස්ට්‍රේලියාව හා එංගලන්තය වැනි කණ්ඩායම් ද ඒ අතර වේ. ශකීබ්ගේ විරාමය මේ වන විට බංගලාදේශ කණ්ඩායමේ අර්බුදයකට තුඩු දී ඇති අතර, කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වන චන්දික හතුරුසිංහ ලබා දෙන විවිධ තීරණ පිළිබදව කණ්ඩායමේ ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයින් සතුටු නොවන බව ද ආරංචි මාර්ග සඳහන් කරයි.

බංගලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් නිල සංචිතය මේ වන විට ප්‍රකාශයට පත් කර ඇති අතර ශකීබ් අල් හසන් එහි 12 වෙනි ක්‍රීඩකයා ලෙස නම් කර ඇත්තේ, ශකීබ් පන්දු යැවීමේ අතින් මෙන්ම පිතිකරණයෙන් ද කණ්ඩායම සමබර කිරීමට සමත් ක්‍රීඩකයෙක් වන නිසා වෙනි.

බංගලාදේශ කණ්ඩායම එළඹෙන දකුණු අප්‍රිකානු සංචාරයෙන් පසුව ශ්‍රී ලංකා සංචාරයකට ද සහභාගි වීමට නියමිතයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න –ක්‍රිකට් ක්‍රීඩා පිටුවට <<