ඊයේ (24) පැවති ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා පළමු පන්දුවාර 20 ක්‍රිකට් තරගය අතරතුරදී, ජගත් ක්‍රිකට් කවුන්සිල චර්යා ධර්ම පද්ධතිය උල්ලංඝනය කිරීම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක සචිත්‍ර සේනානායක හට තරග මුදලින් 30%ක දඩ මුදලක් පනවන්නට තරග තීරකවරයා පියවර ගෙන තිබේ.

පසුගිය ලිපි: සිංහ සංවර්ධනයට තරගාවලි ජය මඟ හැරෙයි

සචිත්‍ර සේනානායක හට මෙම දඩ මුදල පනවා ඇත්තේ ICC ක්‍රීඩක සහ පුහුණු/සහාය කාර්ය මණ්ඩල සඳහා වන චර්යා ධර්ම පද්ධතියේ 2.1.7 වගන්තිය කඩ කිරීම හේතුවෙනුයි. එම වගන්තියට අනුව ”පිතිකරුවෙකුට නිග්‍රහ කෙරෙන හෝ පිතිකරුගෙන් කෝපාවිෂ්ට ප්‍රතික්‍රියාවක් ලැබීමට හේතු වියහැකි වචන හෝ අංග චලනයන් භාවිතය” තහනම් වනවා.

ඊයේ තරගයෙන් පසු ICC ජාත්‍යන්තර තරග තීරක කමිටුවේ සාමාජික සහ මෙම තරගයේ තීරක ලෙස කටයුතු කල ජවගල් ශ්‍රීනාත් විසින් සචිත්‍ර වෙත ඔහුට අදාළ චෝදනාව ඉදිරිපත් කිරීමෙන් පසුව ඔහු වරද පිළිගත් බැවින් ඒ පිලිබඳ පරීක්ෂණයක් පැවැත්වීමට අවශ්‍ය නොවීය.

තරග තීරකවරයා වෙත අදාළ චෝදනා පිලිබඳ පැමිණිලි කර ඇත්තේ ක්‍රීඩාංගනයේ විනිසුරුවන් ලෙස කටයුතු කල රවීන්ද්‍ර විමලසිරි සහ රැන්මෝ මාටිනස් මෙන්ම තෙවන විනිසුරු රුචිර පල්ලියගුරුගේ සහ අතිරේක විනිසුරු දීපාල් ගුණවර්ධන විසිනුයි.

සචිත්‍ර සේනානායකට දඩ මුදලක් ගෙවීමට මුල්වූ සිදුවීම හටගත්තේ ඔහු විසින් පළමු ඕස්ට්‍රේලියානු කඩුල්ල ලෙස ඩේවිඩ් වෝනර් දවා ගත් අවස්ථාවේදීයි. එහිදී සචිත්‍ර භාවිත කල වචන, දැවී ගිය පිතිකරුට අවමන් වන හෝ ගැටුමකට මුලපිරිය හැකි තත්ත්වයක් ලෙස තරග තීරක වරයා විනිශ්චයක් ලබාදී ඇත.

සචිත්‍ර සිදුකල වරද මෙවැනි අවස්තාවලදී සැලකෙන්නේ ක්‍රීඩක චර්යා ධර්ම පද්ධතියට විරුද්ධ පළමු මට්ටමේ වැරදි (Level 1 breaches) ලෙසයි. එවන් වැරදි සඳහා අවම වශයෙන් අවවාද කිරීමක සිට තරග තහනමක් පැනවීම හෝ තරග මුදලින් 50% ක් දක්වා වූ උපරිම දඩ මුදලක් වනතෙක් දඬුවමක් නියම කිරීම හෝ එම දඬුවම් දෙකම ලබාදීමේ  හැකියාව පවතියි.

මීට පෙර ඔස්ට්‍රේලියාව සමග පැවති දෙවන එක්දින තරගයේදීත් ඩේවිඩ් වෝනර්ගේ කඩුල්ල දවා ගැනීමෙන් පසු තිසර පෙරේරා හැසිරුණු ආකාරය ක්‍රීඩක චර්යා ධර්ම පද්ධතිය උල්ලංඝනය කිරීමක් වූ බැවින් ඔහුට එම තරග මුදලෙන් 15%ක දඩයක් ගෙවීමට සිදුවිය.

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට