පාකිස්තානයේ දී ශ්‍රී ලංකා පිළේ ආරක්ෂාවට විසි දහසක්!

308

අද (29) ලාහෝර් නුවර දී පැවැත්වෙන ශ්‍රී ලංකා – පාකිස්තාන තෙවැනි විස්සයි විස්ස තරගයට සහභාගි වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට සහ නිලධාරීන්ට එරටින් ඉතා ඉහළ ආරක්ෂාවක් හිමි වී ඇති බව දැන ගන්නට ලැබේ.

ශ්‍රී ලංකා – පාකිස්තාන විස්සයි විස්සට පෙර

විකුම් සංජය පාකිස්තානු කණ්ඩායම සමඟින් ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රිකට් තරගයක් ක්‍රීඩා කිරීමට මෙම යොවුන් …

ගඩාෆි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගයට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම එරට වේලාවෙන් ඉරුදින උදෑසන 2.30ට පාකිස්තානයට ළඟා වූ අතර ඔවුන් ලැගුම් ගත්තේ ආයුධ සන්නද්ධ භටයින් විසින් රැකවල් යොදා ඇති ‘පර්ල් කන්ටිනෙන්ටල්’ හෝටලයේයි.

මෙම හෝටලය කරා ඇදෙන සියළුම වාහන දැඩි ලෙස පරීක්ෂාවට ලක් කරන අතර කිසිදු සිවිල් රථ වාහනයකට ප්‍රවේශ ශාලාව දෙසට ධාවනය කිරීමට ඉඩ දෙනු නොලැබේ. මීට අමතරව හෝටලයේ ලැගුම් ගැනීමට බලාපොරොත්තු වන සෑම පුද්ගලයෙකුම ඊට ඇතුළු වීමේ දී ලෝහ පරීක්ෂා කරන ස්කෑන් යන්ත්‍ර දෙකක් තුලින් ගමන් කිරීම ද අනිවාර්ය කර ඇත. එසේම තරගය පැවැත්වෙන ගඩාෆි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරක්ෂාව වෙනුවෙන් 20,000කගෙන් යුතු දැවැන්ත භට පිරිසක් යෙදවීමට ද සැලසුම් කර තිබේ.

ගුවන් තොටුපළේ සිට හෝටලයට පැමිණෙන මාර්ගය, හෝටලයේ සිට ක්‍රීඩාංගණයට යන මාර්ගය මෙන්ම නැවතත් ගුවන් තොටුපළ කරා යන මාර්ගය කල්තබා පරීක්ෂා කර ගැටලු හඳුනා ගැනීමට හැකි වන ලෙසට CCTV කැමරා පද්ධතියක් ද ඔවුන් කණ්ඩායමේ ආරක්ෂාව වෙනුවෙන් යොදවා ඇත. ශ්‍රී ලංකා පිළ එරට සංචාරය කිරීමට පෙර රොෂාන් බියන්වල සහ නාලක ද සිල්වා යන මහත්වරුන් මෙන්ම, ICCයේ ආරක්ෂක කළමනාකාර සීන් මොරිස් මහතා පාකිස්තානය බලා ගිය අතර පසුගිය සිකුරාදා දිනයේ දී කණ්ඩායම හෝටලයේ සිට ක්‍රීඩාංගණය බලා රැගෙන යාමේ පෙර පුහුණු සැසියකට ද සහභාගි වූහ.

එහි දී මාර්ගයේ ඇති සියළුම වාහන ඉවත් කොට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ක්‍රීඩාංගණය කරා රැගෙන යාමට බලාපොරොත්තු වන අයුරු මෙන්ම හදිසි අවස්ථාවක දී ක්‍රියාත්මක කිරීමට නියමිත සැලසුම් පිළිබඳව ද ඔවුන්ගේ අධ්‍යයනයට ලක්විය. මෙම සියලු කරුණු කාරණා පිලිබඳව අධීක්ෂණය කිරීමෙන් අනතුරුව ජ්‍යේෂ්ඨ හමුදා නිලධාරි, එයාර් කොමදෝරු රොෂාන් බියන්වල මහතා සහ නියෝජ්‍ය පොලිස් අධ්‍යක්ෂ නාලක ද සිල්වා යන මහත්වරුන් පාකිස්තානයෙන් ලැබෙන ආරක්ෂාව පිළිබඳව ඉතාමත් සතුටට පත්ව ඇති බව ද වාර්තා වේ.

වෙළඳසේවා කඩුලු සංග්‍රාමයේ රණ ශූරයෝ කවුරුන් ද?

ශ්‍රී ලංකා ක්‍රිකට් බිමේ පෙරළිකාරයන් සහ කෝඩුකාරයන් තම බලය හා ජවය එකට එක්කොට සටන් වදින වෙළඳසේවා A …

අද පස්වරුවේ පැවැත්වෙන විස්සයි විස්ස තරගයෙන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම කෙලින්ම ගුවන් තොටුපළ කරා රැගෙන ගොස් සඳුදා පෙරවරු 12.30ට පිටත්වන ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යානයකින් නැවතත් ශ්‍රී ලංකාව බලා රැගෙන ඒමට තීරණය කොට තිබුණ ද නොවැලැක්විය හැකි තාක්ෂණික හේතු කිහිපයක් නිසා එම සැලසුම මේ වන විට වෙනස් වී තිබේ. ඒ අනුව එමිරේට්ස් ගුවන් සේවයට අයත් ගුවන් යානයක් මගින් ඩුබායි ගුවන් තොටුපළ හරහා ශ්‍රී ලංකා කණ්ඩායම කොළඹට රැගෙන ඒමට කටයුතු යොදා ඇත. කෙසේ වෙතත් තරගයෙන් අනතුරුව ගුවන්ගත වීමට පැය 3කට වැඩි කාලයක් ඉතිරිව තිබුනොත් කණ්ඩායම නැවතත් ‘පර්ල් කන්ටිනෙන්ටල්’ හෝටලය කරා රැගෙන ගොස් පසුව ගුවන් තොටුපළ කරා රැගෙන යාමට සැලසුම් කර තිබේ.

මෙය වසර 8කට පමණ පසුව ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම පාකිස්තානයේ සංචාරය කරනු ලබන පළමු අවස්ථාවයි. අවසන් වරට ඔවුන් 2009 වසරේ දී පාකිස්තානයේ ටෙස්ට් තරගයක් ක්‍රීඩා කිරීම සඳහා හෝටලයේ සිට බස් රථයකින් පිටත්ව යද්දී ත්‍රස්තවාදීන් දොළොස් දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක දරුණු ප්‍රහාරයකට ගොදුරු විය. AK47 ගිනි අවි, RPG සහ අත් බෝම්බ විශාල තොගයක් සහිතව එල්ල කළ එම බිහිසුණු ප්‍රහාරයෙන් ආරක්ෂක නිලධාරීන් 6 දෙනෙකු සහ සිවිල් වැසියන් දෙදෙනෙකු මිය ගිය අතර ශ්‍රී ලංකා පිළේ ක්‍රීඩකයින් 6 දෙනෙකු ද ආබාධයන්ට ලක්විය.

මීට අමතරව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ප්‍රවාහනය කිරීම සඳහා බෝම්බ ප්‍රතිරෝධී (Bomb-proof) බස් රථ යොදාගනු ලබන අතර එම කාලය තුල දී ප්‍රදේශය පුරා දුරකථන සංඥා අවහිර කිරීමට ද එරට ආරක්ෂක අංශ කටයුතු කරනු ඇත.

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න