දෙවන රග්බි ක්‍රීඩකයාත් ජීවිතක්ෂයට

636
තෝමස් බාටි (වමේ) හා තෝමස් හොවාඩ් ශ්වසනාබාධ හේතුවෙන් කොළඹ දී ජීවිතක්ෂයට පත්විය. (Durham City RFC)

ශ්වසන අපහසුතා හේතුවෙන් රෝහල් ගත කර දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි දෙවන බ්‍රිතාන්‍ය රග්බි ක්‍රීඩකයාත් ඊයේ (15) සන්ද්‍යාවේ දී අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්වූ බව වාර්තා වේ.

විදේශීය රග්බි ක්‍රීඩකයෙකු මෙටරදී ජීවිතක්ෂයට

ඩර්හැම් හි ඩර්හැම් සිටි ක්ලේම්ස් පයිරට්ස් (Durham City Clem’s Pirates) කණ්ඩයමේ ක්‍රීඩකයෙකු …

තෝමස් බාටි හා තෝමස් හොවාඩ් ඉරිදා උදෑසන ශ්වසන අපහසුතා හේතුවෙන් රෝහල්ගත කළ අතර තෝමස් හොවාඩ් එදිනම සවස් වරුවේ දී ජීවිතක්ෂයට පත්වූ බව නිවේදනය කෙරිණි.

ටොම් බාටි අඟහරුවාදා පස්වරුවේ සිය දිවියෙන් සමුගත් බව වාර්තා විය : Durham RFC

දින දෙකක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ටොම් බාටි ද අඟහරුවාදා (15) සවස ජීවිතක්ෂයට ලක්වූ බව නිවේදනය කෙරිණි.

ඩර්හැම් සිටි රග්බි කණ්ඩයම සුහද තරග කිහිපයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි අතර පළමු තරගය ලෙස පසුගිය සෙනසුරාදා (12) CR & FC කණ්ඩායම සමඟින් තරගයකට සහභාගී විය. තරගයෙන් අනතුරුව ක්‍රීඩකයින් කිහිප දෙනෙකු රාත්‍රී සමාජ ශාලාවක සාදයක් සඳහා සහභාගී වී ඇති අතර ඉරිදා උදෑසන ඔවුන් නැවත සිය හෝටලය වෙත ගොස් ඇති බව වාර්තා විය.

පොලිස් මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන් පරිදි විසිපස් හැවිරිදි තෝමස් හොවාඩ් අභ්‍යන්තර තුවාල හෝ රෝග නිසා මිය ගොස් නැති බව ප්‍රකාශ කළ අතර විවෘත තීන්දුවක් ලබා දෙමින් තවත් පරීක්ෂණ පැවත්වීමට අධිකරණ වෛද්‍ය නිලධාරි නියම කරන ලදී.  

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහා කොමසාරිස් කාර්යාලය හා ඩර්හැම් සිටි ක්‍රීඩා සමාජය ජිවිතක්ෂයට පත්වූ ක්‍රීඩකයින්ගේ පවුල් වලට සිද්ධිය දැනුම් දී ඇති අතර නිල ප්‍රකාශයක් සිදුකරමින් ඩර්හැම් සිටි ක්‍රීඩා සමාජය ප්‍රකාශ කර සිටියේ වියෝවට පත් පවුල් දෙකම සිය පෞද්ගලිකත්වය අගය කරන බවයි.  

ඩර්හැම් සිටි කණ්ඩයම ශ්‍රී ලංකාවේ ක්‍රීඩා සමාජ තුනක් සමඟින් සුහද රග්බි තරග ක්‍රීඩා කර පසුව ගාල්ල සාන්ත ඇලෝසියස් විද්‍යාලයේ රග්බි කණ්ඩයමට පුහුණු කඳවුරක් ද පවත්වා ඔවුන්ට ක්‍රීඩා උපකරණ බෙදා දීමේ අරමුණින් යුතුව ශ්‍රී ලංකාව පැමිණෙන ලදි.  

කෙසේ වෙතත් මියගිය ක්‍රීඩකයින්ට ගෞරව කිරීමක් වශයෙන් ගාල්ලේ පැවැත්වීමට තිබූ පුහුණු කඳවුර පවත්වන බව කණ්ඩයමේ කළමනාකාරිත්වය ප්‍රකාශ කරන ලදි.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<