සිංගර් පාසල් රග්බි ලීගයේ තවත් සතියක් ඊයේ (29) සවස නිමාවුණු අතර 28 වැනි දා සහ ඊයේ පැවති තරගවල දී ජය ලැබුවේ ඉසිපතන, වෙස්ලි, රාජකීය සහ සාන්ත පීතර යන රග්බි කණ්ඩායම් ය. මේ අතුරින් අපරාජිත ත්‍රිත්ව විද්‍යාලය පරාජය කරමින් සාන්ත පීතර විද්‍යාලය ලබා ගත් ජය ද, සාන්ත ජෝසප් විද්‍යාලය පරදා වෙස්ලි විද්‍යාලය ලබා ගත් ජය ද විශේෂයෙන් කැපීපෙනිණි.

පාසල් රග්බි තරගාවලිය උද්වේගකර දෙවන වටයට

සිංගර් පාසල් රග්බි ලීග් තරගාවලියේ දෙවන වටයේ තරග මෙම සිකුරාදා ආරම්භ වීමට නියමිතය. ඉතා තරගකාරී සහ උද්වේගකාරී අන්දමින් පාසල් රග්බි කණ්ඩායම් එකිනෙක ගැටුණු…

අපරාජිත ත්‍රිත්වයන්” පරාජය කළ පීතර මෙහෙයුම

2017 පාසල් රග්බි වාරයේ මෙතෙක් අපරාජිත නමක් රඳවා ගෙන සිටි මහනුවර ත්‍රිත්ව විද්‍යාලයට කණගාටුදායක සන්ධ්‍යාවක මතක එක්කරමින් ලකුණු 15-13ක් ලෙස ඔවුන් පරාජය කරන්නට බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය ඊයේ (29) සමත් විය. තරගය පැවැත්වුණේ බම්බලපිටියේ දී යි.

දඬුවම් පහරක් සමඟින් ලකුණු රැස්කිරීම ඇරඹුවේ ත්‍රිත්ව විද්‍යාලයයි. පසුව පීතර විදුහලේ ස්ටීවන් සිවරාජ් සිදු කළ අත්වැරැද්දක් හේතුවෙන් පන්දුව ලබා ගත් අමිත් කුලතිලක, ත්‍රිත්වයින්ට උත්සාහක දිනුමක් ද ලබා දුන්නේය. ලශාන් විජේසුරිය, ප්‍රවර්තනයේ දී අසාර්ථකයි. (ත්‍රිත්ව 08-00 පීතර).

පළමු අර්ධය අවසන් වීමට මඳකට ප්‍රථම ස්ටීවන් සිවරාජ්, දඬුවම් පහරක් සාර්ථක කර ගනිමින් පීතර ලකුණු පුවරුව සක්‍රිය කළේය.

පළමු අර්ධය – ත්‍රිත්ව විද්‍යාලය 08 (1T 1C) – 03 (1P) සාන්ත පීතර විද්‍යාලය

දෙවන අර්ධය ආරම්භයේ සිටම පීතරයින් ශක්තිමත්ව ක්‍රීඩා කළ අතර මේ තරග වාරයේ පළමු වරට ත්‍රිත්ව විද්‍යාලය කලබලකාරී වනු මෙහි දී දැකිය හැකි විය. පසුව එම ශක්තිය උත්සාහක දිනුමක් බවට හරවා ගන්නට ජේසන් කරුණාරත්න සමත් වීමත් සමඟින් පීතර විදුහල ලකුණු සමකළේය. සිවරාජ්ගේ සාර්ථක ප්‍රවර්තනය ඔවුන්ට තරගයේ පෙරමුණ ලබා දුන්නේය. (ත්‍රිත්ව 08-10 පීතර).

මීළඟ උත්සාහක දිනුම පීතරයින් වෙත පුදකළේ ඩිල්ෂාන් මධුශංක යි. සිවරාජ් එවර ප්‍රවර්තනයේ දී අසාර්ථක විය. අනුක් බෝයගොඩ පාදයෙන් ඉහළට යොමු කළ පන්දුව ලබා ගත් වොරන් වීරකෝන් එය අකිත් සකලසූරියට ලබා දුන්නේය. අකිත්, ත්‍රිත්ව විදුහලට උත්සාහක දිනුමක් එක්කළේය. එනමුත් එහි ප්‍රවර්තනය අසාර්ථක වූයේ ත්‍රිත්වයන් අපහසුතාවයට පත්කරමිනි. (පීතර 15-13 ත්‍රිත්ව).

ඒත් සමඟින් ත්‍රිත්වයන්ගේ අපරාජිත වාර්තාව නිමා කරන්නට පීතරයන් සමත් විය.

සම්පූර්ණ කාලය – සාන්ත පීතර විද්‍යාලය 15 (2T 1C 1P) – 13 (2T 1P) ත්‍රිත්ව විද්‍යාලය

ThePapare.com තරගයේ වීරයා – ජේසන් කරුණාරත්න. (පීතර)

“අපේ දක්ෂතා ගැන මම සතුටු වෙනවා. ජෝසප් සහ ධර්මරාජ කණ්ඩායම්වලට එරෙහි තරග පරාජය වුණු නිසා අපි ටිකක් වැටිලයි හිටියේ. ඒත් අපි උපරිමයෙන් අද සෙල්ලම් කළා. ඒ ගැන හරිම සතුටුයි” ජේසන් එසේ පැවසුවේය.

ලකුණු රැස්කළ ක්‍රීඩකයන්

  • ත්‍රිත්ව – අමිත් කුලතිලක 1T, අකිත් සකලසූරිය 1T, ලශාන් විජේසුරිය
  • පීතර – ජේසන් කරුණාරත්න 1T, රවීන් ප්‍රනාන්දු 1T, ස්ටීවන් සිවරාජ් 1P 1C.

 

රාජකීය – තෝමස් ගැටුමට රාජකීය දෙවන අර්ධයක්

සාන්ත තෝමස් විද්‍යාලය ඔවුන්ගේ නිජ බිමේ දී ම පරාජය කළ රාජකීය විද්‍යාලය විසින් “මයිකල් ගුණරත්න ශූරතාව” නැවතත් තමා සතු කර ගන්නා ලදී. ඊයේ (29) පැවති තරගයේ පළමු අර්ධය අවසන් වන විට පසුපසින් සිටි රාජකීයයන්, දෙවන අර්ධයේ දී ‘රාජකීය දස්කම් එළිදැක්වීමක්’ සිදු කරනු දැකිය හැකි විය.

රාජකීය විදුහලේ ඉදිරිපෙළ ක්‍රීඩකයන්ගෙන් සාමාන්‍ය පරිදිම ආක්‍රමණශීලී ක්‍රීඩා රටාවක් දිස්විය. එනමුත් සාර්ථකව ඉදිරියට ගොස් පළමු උත්සාහක දිනුමේ අයිතිය රාජකීයයන්ට පවරා දුන්නේ පසුපෙළ රේඛාවේ ක්‍රීඩක ජනිඳු ඩිල්ෂාන් ය. ශාකිර් නවුෆර්ගේ ප්‍රවර්තනය සාර්ථකයි. (රාජකීය 07-00 තෝමස්).

තෝමස් කණ්ඩායම වෙනුවෙන් ක්‍රිස්ටියන් ඩි ලයිල් වාර්තා කළ උත්සාහක දිනුම සහ ඩියොන් ඩයස් වාර්තා කළ ප්‍රවර්තනය නිසා ලකුණු තත්වය සමවිය. එනමුත් යළි රාජකීයන් වෙත පරතරයක් පවරා දීමට සාබිත් ෆෙරෝස් සමත් වූයේ උත්සාහක දිනුමක් සමඟිනි. එහි ප්‍රවර්තනය අසාර්ථකයි. (රාජකීය 12-07 තෝමස්).

කිසිවෙකු නොසිතූ පරිදි තෝමස් විදුහලේ හරිත සේනානායක උත්සාහක දිනුමක් වාර්තා කළ බැවින් යළිත් ලකුණු තත්වය සමවිය. නමුත් ප්‍රවර්තනය සාර්ථක කර ගත් ඩයස්, තෝමසුවන් ලකුණු 2කින් ඉදිරියට ගෙන ගියේය.

පළමු අර්ධය – රාජකීය විද්‍යාලය 12 (2T 1C) – 14 (2T 2C) සාන්ත තෝමස් විද්‍යාලය

දෙවන අර්ධයේ දී ප්‍රතිවාදීන්ට කිසිදු ලකුණක් ලබා ගැනීමට රාජකීයයන් ඉඩ නොතැබීය. රාජකීය වින්ග් ක්‍රීඩකයා අතින් වාර්තා වූ දෙවන අර්ධයේ පළමු උත්සාහක දිනුමේ ප්‍රවර්තනය ශාකිර් විසින් සාර්ථක කර ගත්තේය. (රාජකීය 19-12 තෝමස්).

මීටර 22  සීමාවේ දී ප්‍රතිවාදී ලයින් අවුට් අවස්ථාවක් පැහැර ගනිමින් රාජකීයයන් ඉදිරියට ඇදුණු අතර රිශ්මාල් ප්‍රනාන්දු එය උත්සාහක දිනුමකින් අවසන් කළේය. ශාකීර්, ප්‍රවර්තනයේ දී යළි සාර්ථකයි. (රාජකීය 26-12 තෝමස්).

කේ. ද සිල්වා හට කහ කාඩ්පතක් හිමිවීමත් සමඟ රාජකීය ක්‍රීඩකයන් ගණන 14ක් දක්වා අඩු වූ නමුත් ඉන් පසුනොබස්නා ලද රාජකීය අභියෝගය තෝමසුවන්ට තවදුරටත් ලැබුණු අතර ඔවින් ඇස්කි පාදයෙන් ලබා දුන් අනර්ඝ පන්දු පහරක් හඹාගොස් උත්සාහක දිනුමක් වාර්තා කරන්නට ආදේශක රාජකීය වින්ග් ක්‍රීඩකයා සමත් විය. ප්‍රවර්තනය අසාර්ථක වූ නමුත් ඉන් මිනිත්තු කිහිපයක දී තරගය නිමා වූයේ “මයිකල් ගුණරත්න ශූරතාවයේ” අයිතිය රීඩ් මාවතට පැවරෙමිනි.

සම්පූර්ණ කාලය – රාජකීය විද්‍යාලය 31 (5T 3C) – 14 (2T 2C) සාන්ත තෝමස් විද්‍යාලය

ThePapare.com තරගයේ වීරයා – ජනිඳු ඩිල්ෂාන්. (රාජකීය)

“පැහැදිලි සැලැස්මක් එක්කයි අපි තරගෙට ආවේ. ඒ තමයි තෝමස් පසුපෙල අසංවිධානාත්මක කරන එක. අපි ඒකම කළ නිසා ජයග්‍රහණය අපට පැවරුණා.” රාජකීය විදුහල් පුහුණුකරු සනත් මාටිස්, තරගයෙන් අනතුරුව කියා සිටියේ එවැන්නකි.

ලකුණු රැස්කළ ක්‍රීඩකයන් 

  • තෝමස් – ක්‍රිස්ටියන් ඩි ලයිල් 1T, හරිත සේනානායක 1T, ඩියොන් ඩයස්
  • රාජකීය – ජනිඳු ඩිල්ෂාන් 1T, සාබිත් ෆෙරෝස් 2T, රිශ්මාල් ප්‍රනාන්දු 1T, යසිස් රශ්මික ශාකිර් නවුෆර් 3C.

සහිරාවන් ඉසිපතනය හමුවේ පරාජිතයි

පෙර වසරේ පාසල් රග්බි ශූරයන් බවට පත්වූ ඉසිපතන විද්‍යාලයෙන් පහර කන්නට සහිරා විද්‍යාලයට 28 වැනි දා සිදු විය. ඒ, ඊයේ හැව්ලොක් පිටියේ දී පැවති තරගයෙන් ලකුණු 48-10ක් ලෙසයි.

මේ වසරේ රග්බි පාසල් වාරයට සටන්කාමීව එක්වූ සහිරා විද්‍යාලයේ සයිඩ් සිංහවන්ස, අසනීප  තත්වයක් හේතුවෙන් තරගයට සහභාගී නොවූ අතර එහි සිට අවාසනාව සහිරාවන්ට උරුම විය. පළමු මිනිත්තු 5ක් පමණක් ගත වන විට හරිත් බණ්ඩාර සහ චමෝද් ප්‍රනාන්දු උත්සාහක දිනුම් දෙකකින් ඉසිපතන ලකුණු පුවරුව වර්ණවත් කළ අතර ඉන් එක් ප්‍රවර්තනයක් සාර්ථක විය. (ඉසිපතන 12-00 සහිරා)

චාමෝද් ප්‍රනාන්දු තම දෙවැනි  උත්සාහක දිනුමත් වාර්තා කිරීමෙන් අනතුරුව නදීෂ් චාමින්ද ඉසිපතනයට තවත් උත්සාහක දිනුමක් එක්කළේය. (ඉසිපතන 26-00 සහිරා). දිගු කාලයක් පිටිය ආරක්ෂා කරන්නට සිදු වූ සහිරා විදුහල වෙනුවෙන් මුහම්මර් ඩීන් උත්සාහක දිනුමක් වාර්තා කළ අතර පළමු අර්ධය එසේ නිමා විය.

පළමු අර්ධය – ඉසිපතන විද්‍යාලය 48 (4T 3C) – 05 (1T) සහිරා විද්‍යාලය

හරිත් බණ්ඩාර තම දෙවන උත්සාහක දිනුමත් වාර්තා කළ අතර එහි ප්‍රවර්තනය සාර්ථක කර ගන්නට චමෝද් අසමත් විය. පසුව සහිරා ප්‍රේක්ෂකයන් වෙත යම් ආකාරයක අස්වැසිල්ලක් ගෙන එන්නට මොහොමඩ් අම්ජාඩ් වාර්තා කළ උත්සාහක දිනුමට හැකිවුණත් එහි ප්‍රවර්තනය හඹාවිත් වළකාලන්නට සුමුදු රන්කොත්ගේ  සමත් විය. ඉසිපතනයේ මනිල්ක රුබේරු තවත් උත්සාහක දිනුමක් වාර්තා කරමින් ඔවුන්ට ලකුණු ගෙන ආ අතර චමෝද්ගේ ප්‍රවර්තනය අසාර්ථක වීම නිසා තරගයේ ප්‍රතිඵලයට කිසිදු වෙනසක් නොසිදු විය. (ඉසිපතන 36-10 සහිරා).

ඉසිපතනය වෙනුවෙන් සත්වැනි උත්සාහක දිනුම වාර්තා වූයේ රවිඳු අංජුල අතිනි. එහි ප්‍රවර්තනය චමෝද්ගේ පාදයෙන් සාර්ථක  වූ අතර ඉන් නොනැවතුණු ඉසිපතනය වෙනුවෙන් අටවැනි සහ අවසාන උත්සාහක දිනුම මනිල්ක රුබේරු අතින් වාර්තා විය.

සම්පූර්ණ කාලය  – ඉසිපතන විද්‍යාලය 48 (8T 4C) – 10 (2T) සහිරා විද්‍යාලය.

ThePapare.com තරගයේ වීරයා – චමෝද් ප්‍රනාන්දු (ඉසිපතන)

ඉසිපතන පුහුණුකරු ලසින්ත ද කොස්තා, තරගයෙන් අනතුරුව මෙසේ පැවසීය.

“සති තුනක වගේ විවේකයකින් පස්සේ සහිරා වගේ කණ්ඩායමක් එක්ක ජයගැනීම ගැන සතුටුයි. මීළඟ තරගයට තවදුරටත් පුහුණු වෙන්න බලාපොරොත්තු වෙනවා.”

ලකුණු රැස්කළ ක්‍රීඩකයන්

  • ඉසිපතන – හරිත් බණ්ඩාර 2T, චමෝද් ප්‍රනාන්දු 2T 4C, මනිල්ක රුබේරු 2T, නදීෂ් චාමින්ද 1T, රවිඳු අංජුල 1
  • සහිරා – මුහම්මර් ඩීන් 1T, මොහොමඩ් අම්ජාඩ් 1

ජෝසප් පරදා වෙස්ලි ජය ගනියි

මරදාන සාන්ත ජෝසප් විද්‍යාලයට එරෙහිව පැවති රග්බි තරගය, ලකුණු 23-14ක් ලෙස  ජය ගන්නට වෙස්ලි විද්‍යාලය සමත් විය. තරගය 28 වැනි දා පැවැත්වුණේ CR&FC ක්‍රීඩාංගණයේ දී යි.

සාන්ත ජෝසප් කණ්ඩායම මේ වසරේ දැක්වූ දස්කම් හේතුවෙන් සහ පෙර සතියේ දී වෙස්ලි විද්‍යාලය, දෙවන කාණ්ඩයේ කිංස්වුඩ් විද්‍යාලය අතින් පරාජයට පත්වීම හේතුවෙන් බොහෝ දෙනාගේ විශ්වාසය වූයේ දැඩි තරගයක් නැරඹිය හැකිවනු ඇති බවටයි.

නමුත් පළමු අර්ධය තුළ දී වාර්තා වූ දඬුවම් පහර 3ක් පමණක් උපයෝගී කර ගනිමින් පෙරමුණ ගන්නට වෙස්ලි විද්‍යාලය සමත් වුණේ ජෝසප් විද්‍යාලය එකදු ලකුණක් හෝ වාර්තා කර නොතිබිය දී යි.

පළමු අර්ධය – වෙස්ලි විද්‍යාලය 09 (3P) – 00 සාන්ත ජෝශප් විද්‍යාලය

තමන් පාසල් රග්බි පිටියේ ගෞරවනීය කණ්ඩායමක් බව සිහි කරමින් ජෝසප් විද්‍යාලයේ විනුල් ප්‍රනාන්දු, උත්සාහක දිනුමක් වාර්තා කළේය. ප්‍රවර්තනය භාර ගත් චතුර සෙනවිරත්න සාර්ථක විය. (වෙස්ලි 09-07 ජෝශප්).

තරගය නැවතත් තමා දෙසට නැඹුරු කර ගත් වෙස්ලි නායක ඩෙනිස්ටර් ගුණතිලක, උත්සාහක දිනුමකින් ඊට දායක විය. අවිශ්ක ලී ප්‍රවර්තනය සාර්ථක කර ගත්තේය. (වෙස්ලි 16-07 ජෝශප්).

ජෝසප් විදුහලේ ආදේශක ස්ක්‍රම් හාෆ් ක්‍රීඩක චන්න අශෝක විසින් තරගයේ මීළඟ උත්සාහක දිනුම වාර්තා කළේය. ප්‍රවර්තනය සාර්ථක වීමත් සමඟ යළිත් පරතරය ලකුණු 2ක් දක්වා අඩු විය. පිටියේ  දකුණු කොණින් දිවගොස් උත්සාහක දිනුමක් ලබා ගන්නට අවන්ත ලී උත්සහ කළ අතර ජෝසප් ක්‍රීඩකයෙකු සිදු කළ අනවශ්‍ය ආකාරයේ නැවැත්වීමක් හේතුවෙන් දඬුවම් උත්සාහක දිනුමක් ඔවුන්ට ලැබිණි. අවිශ්ක එහි ප්‍රවර්තනය සාර්ථක කර ගනිමින්, ශූරතා වටයට පිය මැනීමේ වෙස්ලි බලාපොරොත්තු ඉහළ නැංවීය.

සම්පූර්ණ කාලය – වෙස්ලි විද්‍යාලය 23 (2T 2C 3P) – 14 (2T 2C) සාන්ත ජෝසප් විද්‍යාලය

ThePapare.com තරගයේ වීරයා – අවිශ්ක ලී. (වෙස්ලි)

ලකුණු රැස්කළ ක්‍රීඩකයන්

වෙස්ලි – ඩෙනිස්ටර් ගුණතිලක 1T , දඬුවම් උත්සාහක දිනුමක්, අවිශ්ක ලී 2C 3P.

ජෝසප් – විනුල් ප්‍රනාන්දු 1T, චන්න අශෝක 1T, චතුර සෙනවිරත්න

 තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි ක්‍රීඩා පිටුවට