කුළුඳුල් ලීග් කුසලානය නෙලාගන්නට වෙර දරණ මරදානේ සාන්තුවරුන්

115

පාසල් රග්බි පිටිය කලඹමින් ප්‍රබලයින් රැසක් බිම හෙළු පාසල් රග්බි පිටියේ නවමු රග්බි බලවේගය, මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය තවමත් සිය මංගල ලීග් කුසලානයේ පහස විඳින්නට සමත්ව නැහැ. 

2018 වසරේ ආසන්නයටම ගොස් ආපසු හැරුණු ඔවුන්ට 2019 දීත් කුසලානය නූලෙන් ගිලිහුණා. නව දශකයේ පළමු පාසල් ලීග් කුසලානය තමන්ගේ කරන්නට 2020 සාන්ත ජෝසප් රග්බි කණ්ඩායමට හැකි වෙයි ද?

සුපිරි නායකයෙක් සමඟින් ඉසිපතනය 2020 කුසලානය ඔසවයි ද ?

ගහට පොත්ත මෙන්, මලට නටුව මෙන් ඉසිපතනය කිවූ පමණින් රග්බි ක්‍රීඩාව මතක් වීමට තරම් කොළඹ…

අතීතයෙන් බිඳක්

1954 වසරේ දී රග්බි ක්‍රීඩාව ආරම්භ කළත් පාසල් රග්බි පිටියේ ඔවුන් කැපී පෙනෙන්නට පටන් ගන්නේ ඉතා මෑතක දීයි. සාන්ත ජෝසප් කණ්ඩායමේ නිල නායකයා ලෙස සටහන් වන්නේ 1955 කණ්ඩායම මෙහෙයවූ මහේන්ද්‍ර ඩයස්. 

සාන්ත ජෝසප් විද්‍යාලයීය රග්බි ඉතිහාසයේ ස්වර්ණමය වසරක් ලෙස 2017 වසර සටහන් වන්නේ ඔවුන් 2017 මයිලෝ ජනාධිපති කුසලාන පිළිමළුන් පිටුදැකීමේ තරගාවලිය ජයග්‍රහණය කරමින් සිය පළමු ප්‍රධාන රග්බි ශූරතාව දිනා ගත් නිසාවෙනි. විනූ ප්‍රනාන්දුගේ නායකත්වයෙන් බල ගැන්වුණු මරදානේ සාන්තුවරු ප්‍රබල ඉසිපතනය පරාජය කළේ සිය රග්බි ඉතිහාසයේ වටිනාම මොහොත සනිටුහන් කරමිනි.   

2018 වසරේ දී ද ඔවුන් මයිලෝ ජනාධිපති කුසලාන පිළිමළුන් පිටුදැකීමේ තරගාවලියේ අවසන් මහා තරගය දක්වා පැමිණෙන්නට සමත් වුනත් සාන්ත පීතර විද්‍යාලය අවසන් මොහොතේ වාර්තා කළ උත්සාහක දිනුම නිසා ඔවුන්ට හිස් අතින් ආපසු යන්නට සිදු වුනා. කෙසේ වෙතත් සාන්ත ජෝසප් ඉතිහාසයේ ප්‍රබලතම කණ්ඩායමක් ක්‍රීඩා කළ 2018 වසර ඔවුන් අවසන් කළේ අන්තර් පාසල් සත් සාමාජික කිරුළ තමන්ගේ නමට ලියා ගනිමින්. ඔවුන් හමුවේ කොළඹ රාජකීය විද්‍යාලයට පසු බසින්නට සිදු වුණා.

මරදාන සාන්ත ජෝසප් විද්‍යාලයීය රග්බි කණ්ඩායමෙන් දේශීය රග්බි පිටියට දායක වූ ප්‍රබල රග්බි ක්‍රීඩකයින් රැසක් සිටිනවා. හිටපු ශ්‍රී ලංකා නායක ඇන්ටන් බෙනඩික්ට්, දිනුක් එස් විජේරත්න ඒ අතර වෙනවා. මේ දිනවල හැව්ලොක් කණ්ඩායමේ ක්‍රීඩක කරන විමුක්ති රාහුල, නාවික හමුදා ක්‍රීඩා සමාජයේ  චතුර සෙනෙවිරත්න හා CR කණ්ඩායම නියෝජනය කරන ගැමුණු චේතිය ද සාන්ත ජෝසප් විද්‍යාලයේ පහස ලැබූවන්.

පසුගිය තරග වාරය

නොම්මර අට ක්‍රීඩක තරිඳු අල්විස්ගේ නායකත්වයෙන් හා සුපිරි පුහුණුකරු නිල්ෆර් ඉබ්‍රහිම්ගේ පුහුණුකාරිත්වයෙන් බලගැන්වුණු සාන්ත ජෝසප් විද්‍යාලය 2019 වසර ඉතා හොඳින් ක්‍රීඩා කරන්නට සමත් වුනා. කුසලානය කරා යන්නට නොහැකි වුනත් ඔවුන් කුසලාන ශුරතාවයේ තුන්වැනි ස්ථානය දිනා ගත්තේ ක්‍රීඩා කළ තරග නවයෙන් තරග හයක්ම ජය ගනිමින්.

කෙසේ වෙතත් ඔවුන් බලාපොරොත්තු තබා සිට මයිලෝ අන්තර් පාසල් පිළිමළුන් පිටුදැකීමේ තරගාවලියේ සිතූ තරම් සාර්ථකත්වයක් අත් කරගන්නට ඔවුන්ට  හැකියාවක් ලැබුණේ නැහැ. කොළඹ ඉසිපතන විද්‍යාලය හමුවේ ඔවුන් අර්ධ අවසන් පූර්ව වටයෙන් ඉවත් වුනේ ලකුණු 19-17ක් ලෙස තියුණු තරගයක් ලබා දෙමින්.

කෙසේ වෙතත් සාන්ත තෝමස් කණ්ඩායම පරාජය කරමින් ජයතිලක ආර්යා අනුස්මරණ පලිහ දිනා ගන්නට ඔවුන් සමත් වීම විශේෂත්වයක් වුනා.  

මෙවර තරග වාරය

මෙවර තරග වාරයට සාන්ත ජෝසප් ක්‍රීඩකයින් පිවිසෙන්නේ ප්‍රබල වෙනස්කම් රැසක් සමඟින්. නිල්ෆර් ඉබ්‍රහිම් වසර තුනකට පසුව කණ්ඩායමේ පුහුණුකරු තනතුරින් ඉවත් වූ අතර සාන්ත ජෝසප් කණ්ඩායම නව පුහුණුකරු ලෙස වැඩ භාරගෙන සිටින්නේ ඉසිපතන විද්‍යාලයේ මෙන්ම ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයෙකු ද වන දිනේෂ් කුමාර. 

අත්දැකීම් බහුල ක්‍රීඩකයෙකු වන ඔහු හැව්ලොක් කණ්ඩායමේ Wing ක්‍රීඩකයෙකු ලෙස ද කටයුතු කළ අතර ඔහු පසුගිය වසරේ දී ද සාන්ත ජෝසප් කණ්ඩායමේ සහය පුහුණුකරුවෙකු ලෙස කටයුතු කර තිබෙනවා. මේ ඔහු පාසල් කණ්ඩායමක ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන පළමු වතාවයි. 

පාසල් රග්බි කාලසටහන නිකුත් වෙයි

තරගකාරීත්වය, දක්ෂතාවය, වාසනාව සහ උද්වේගකර බව මුසු වූ අන්තර් පාසල් රග්බි තරගාවලිය එළඹෙන…

2018, 19 වසරවල දීත් කණ්ඩායම මෙහෙයවූ රශේන් ගුණවර්ධන මෙවර කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන්නේ බලාපොරොත්තු රැසක් සමඟයි. වගකීම් බහුල ස්ක්‍රම් හාෆ් ස්ථානයේ ක්‍රීඩා කරමින් ඔහු කණ්ඩායමේ ඉදිරිපෙළ හා පසුපෙළ සබඳතාව මනා ලෙස ගොඩ නගනු ඇත.

පසුගිය තරග වාරයේ දී උත්සාහක දිනුම් හයක් වාර්තා කරමින් කණ්ඩායම සවිමත් කළ ඔහු ගෙවුණු තරග වාරයේ දී සාන්ත ජෝසප් ජයග්‍රහණ රැසක නියමුවා වුනා.

තවත් තෙවැනි වසරේ අත්දැකීම් බහුල ක්‍රීඩකයෙකු වන ග්‍රේෂම් තන්ගයියා, ඉදිරිපෙළ Hooker ස්ථානයේ කණ්ඩායම වෙනුවෙන් සටන් වදිනු ඇත. පසුගිය වසරේ දී ද තරග අටක් ක්‍රීඩා කරමින් උත්සාහක දිනුම් දෙකක් ද සමඟින් හොඳ ශාරීරික යෝග්‍යතාවක් පෙන්වූ ඔහු මෙවර කණ්ඩායමේ ප්‍රධානතම බලාපොරොත්තුවක්. නායක රශෙන්ට සහයක් දෙමින් කණ්ඩායමේ උපනායක ලෙස ඉදිරිපෙළ මෙහෙයවීමේ වගකීම ද ඔහුට පැවරී තිබීම විශේෂත්වයක්.

පසුගිය වසරවල දී මෙන්ම හොඳ ඉදිරිපෙළකට හිමිකම් කියන සාන්ත ජෝසප් විද්‍යාලයේ මෙවර ප්‍රධානතම තුරුම්පුවක් වන්නේ දෙවන පෙළ ක්‍රීඩකයෙකු වන චේක ජයවර්ධන. දෙවන පෙළ ක්‍රීඩකයෙකු ලෙස ගෙවුණු තරගවාර තුනේම සෑම තරගයම පාහේ ක්‍රීඩා කළ ඔහුගේ අත්දැකීම් කණ්ඩායමට අත්‍යවශ්‍ය වනු ඇත.

සෙන්ටර් ස්ථානයේ දස්කම් දක්වන රුචිර ඉමන්තගේ දස්කම් ද මෙවර තරග වාරයේ දී කණ්ඩායමට ඉතා වැදගත් වනු ඇත. තරග වාර දෙකක අත්දැකීම් සමඟින් මෙවර කණ්ඩායමේ නිත්‍ය ස්ථානයක් හිමි කරගෙන සිටින ඔහු චේක ජයවර්ධන සමඟ කණ්ඩායමේ කොඳු නාරටිය ලෙස ක්‍රීඩා කරනු ඇත.

නව පුහුණුකරුවෙකු සමඟින් නවක මුහුණු රැසක් සමඟින් සාන්ත ජෝසප් විද්‍යාලයට ගෙවුණු වසර තුනේ දස්කම් නැවත දැක්වීමට හැකි වෙයි ද? මරදානේ සාන්තුවරුන්ගේ ලීග් කුසලානය පිපාසය සංසිඳ වන්නට රශෙන් ප්‍රමුඛ කණ්ඩායමට හැකි වෙයි ද?

සාන්ත ජෝසප් විද්‍යාලයේ පළමු වටයේ තරග සැලැස්මයි මේ.

  • මාර්තු 5, 2020 – සාන්ත ජෝසප් විද්‍යාලය හා කිංග්ස්වුඩ් විද්‍යාලය – හැව්ලොක් පාක් ක්‍රීඩාංගණය
  • මාර්තු 12, 2020 – සාන්ත ජෝසප් විද්‍යාලය හා සාන්ත තෝමස් විද්‍යාලය – ලොන්ග්ඩන් ප්ලේස් ක්‍රීඩාංගණය
  • මාර්තු 20, 2020 – සාන්ත ජෝසප් විද්‍යාලය හා සාන්ත අන්තෝනි විද්‍යාලය – නිත්තවෙල
  • මාර්තු 27, 2020 – ත්‍රිත්ව විද්‍යාලය හා සාන්ත ජෝසප් විද්‍යාලය – පල්ලෙකැලේ ත්‍රිත්ව විද්‍යාල ක්‍රීඩාංගණය
  • අප්‍රේල් 4, 2020 – සාන්ත ජෝසප් විද්‍යාලය හා රාජකීය විද්‍යාලය – හැව්ලොක් පාක් ක්‍රීඩාංගණය

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<