සුපිරි නායකයෙක් සමඟින් ඉසිපතනය 2020 කුසලානය ඔසවයි ද ?

100

ගහට පොත්ත මෙන්, මලට නටුව මෙන් ඉසිපතනය කිවූ පමණින් රග්බි ක්‍රීඩාව මතක් වීමට තරම් කොළඹ ඉසිපතන විද්‍යාලය හා රග්බි ක්‍රීඩාව අතර සුන්දර බැඳීමක් පවතිනවා.

වසර ගණනක් පාසල් රග්බි පිටියේ රජ කළ ‘Green Machine’ ලෙස විරුදාවලිය ලත් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පාසල් රග්බි පිටියේ රජුන් ලෙස හැඳින්විය හැකි කොළඹ ඉසිපතන විද්‍යාලය 2020 අන්තර් පාසල් ලීග් රග්බි තරග වාරය සඳහා හොඳ සූදානමකින් පසුවෙනවා.

පාසල් රග්බි කාලසටහන නිකුත් වෙයි

තරගකාරීත්වය, දක්ෂතාවය, වාසනාව සහ උද්වේගකර ………

අතීතයෙන් බිඳක්

ඉසිපතන විද්‍යාලය එදා මෙදා තුර ලාංකීය රග්බි පිටියේ සුපිරි සලකුණක් තබන්නට සමත් වුණු කණ්ඩායමක්. 1973 වසරේ පාසල් ලීග් රග්බි පිටියේ ආරම්භයත් සමඟම ලීග් රග්බි පිටියට පා තබන ඔවුන් 1984 වසරේ සිට 12 වතාවක් ලීග් ශූරතාව හැව්ලොක් පෙදෙසට රැගෙන යන්නට සමත් වෙනවා.

(2016 වසරේ පිළිමලුන් පිටුදැකීමේ තරගාවලිය දිනූ ඉසිපතන කණ්ඩායම)

1995, 1996, 1997 වසර තුනේ දී ම ඔවුන් අඛණ්ඩව ලීග් කුසලානය දිනා ගැනීම ලීග් රග්බි ඉතිහාසයේ ස්වර්ණමය අකුරින් ලියැවුණු වාර්තාවක්. පසුගිය වසරේ දී කොළඹ රාජකීය විද්‍යාලය එම වාර්තාව සම කරන තුරුම කිසිදු කණ්ඩායමක් එම දක්ෂතාව අසලකටවත් ළඟා වන්නට සමත් වුණේ නැහැ.

ඉසිපතන රග්බි ඉතිහාසයේ අමතක නොවන වසරක් ලෙස 2014 වසර හැඳින්විය හැකියි. ඒ සෙනාල් ධීලකගේ නායකත්වයෙන් සවි ගැන්වුණු ඉසිපතන ක්‍රීඩකයින් සිංගර් ලීග් රග්බි ශූරතාව, මයිලෝ ජනාධිපති කුසලාන පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලිය හා සත් සාමාජික රග්බි තරගාවලිය යන තරගාවලි තුනම ජයගෙන ත්‍රිත්ව ශූරයින් ලෙස ඉසිපතනයේ කුසලාන කැබිනෙට්ටු හැඩ කළ නිසයි.

ඉසිපතනයේ පහස ලබා ජාතික රග්බි පිටියේ සුපිරි දස්කම් දැක්වූ තරු රැසක් සිටිනවා. සජිත් මල්ලිකාරච්චි, ශම්ලි නවාස් සහ ඩිල්රෝයි ප්‍රනාන්දු වැනි ප්‍රවීණ ක්‍රීඩකයින් ඉසිපතනයෙන් ජාතික තලයට පිවිසුණු අතර වත්මන් රග්බි පිටියේ සුපිරි දස්කම් දක්වන මහනුවර ක්‍රීඩා සමාජයේ ශ්‍රීනාත් සූරියබණ්ඩාර, ඔමල්ක ගුණරත්න වැනි ක්‍රීඩකයින් ද ඉසිපතනයේම නිෂ්පාදනයන්.   

පසුගිය තරග වාරය

ජනිත් සේරසිංහගේ නායකත්වයෙන් තරග වැදුණු ඉසිපතන කණ්ඩායම පසුගිය තරග වාරයේ දී නම් එතරම් සාර්ථක වුනේ නැහැ. කුසලාන ශූරතාවට පිවිසුණු ඔවුන් කුසලාන ශුරතාව අවසන් කළේ සයවැනි ස්ථානයේයි. කෙසේ වෙතත් නවක ක්‍රීඩකයින් රැසක් සමඟ තරගාවලියට එක්වුණු ඉසිපතන කණ්ඩායම ප්‍රබල කණ්ඩායම් රැසකටම හිසරදයක් වීම කැපී පෙනුණා. 

පළමු වටයේ දී ඔවුන් ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානයට පත් වුනේ සාන්ත ජෝසප් කණ්ඩායමට පමණක් දෙවෙනි වෙමින්. එහි දී ඔවුන් තරග පහකින් තරග හතරක්ම ජය ගැනීමටත් සමත් වීම විශේෂත්වයක් වුනා.

වයස අවුරුදු 17 දී ඉසිපතන කණ්ඩායම මෙහෙය වීමේ වරම් ද දිනා ගත් මනිල්ක රුබේරු සුපිරි දස්කම් සමඟින් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ වැඩිම ලකුණු ලාභීන්ගේ ලැයිස්තුවේ දෙවැනි ස්ථානයට පත්වීමට ද සමත් වුනේ ලකුණු 72ක් තමන්ගේ නමට ලියා ගනිමින්. 

මෙවර සූදානම

දෙවන වතාවටත් ඉසිපතනය මෙහෙයවන්නට අත්දැකීම් බහුල ක්‍රීඩකයෙකු වන මනිල්ක රුබේරු හට මෙවර වාසනාව හිමිව තිබෙනවා. 2018 වසරේ දී ද කණ්ඩායම මෙහෙයවූ ඔහු සිය පාදයෙන් ද සුපිරි දස්කම් දක්වමින් වේගවත් උත්සාහක දිනුම් ද සමඟින් පසුගිය වසරේ වැඩිම ලකුණු ලාභීන්ගේ ලැයිස්තුවේ දෙවන ස්ථානයේ වැජබෙන්නට ද සමත් වුණා.

Center ස්ථානයේ කණ්ඩායම මෙහෙයවන ඔහු සයවැනි වසරේ වර්ණලාභී ක්‍රීඩකයෙකු වීම තවත් විශේෂම සිදුවීමක්. ඉසිපතන විදුහල වෙනුවෙන් ඉතිහාසයේ එකම ක්‍රීඩකයෙකු විසින් දෙවරක් තරග වාර දෙකක දී කණ්ඩායම මෙහෙයවන තෙවැනි අවස්ථාව මෙයයි.  ආසියානු රග්බි තරගාවලියේ ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමේ හා Colombo Blues කණ්ඩායමේ නිත්‍ය සාමාජිකයෙකු හා ප්‍රධානතම ක්‍රීඩකයෙකු වූ රුබේරු මෙවරත් සුපුරුදු පරිදිම ප්‍රතිවාදීන් සිය සවියෙන් හා අත්දැකීම් වලින් සුනුවිසුනු කර දමනු ඇත.

කණ්ඩායමේ උපනායකත්වය හිමිව ඇත්තේ පවනට බඳු වේගයෙන් දිව යන රමිත හිමාෂ් ද සිල්වා හටයි. Wing ස්ථානයේ ක්‍රීඩා කරන ඔහු පසුගිය වසරේ තරගාවලියේ වර්ණවත්ම උත්සාහක දිනුම් කිහිපයක් තමන්ගේ නමට ලියා ගත්තේ විස්තර විචාරකයින්ගේ මෙන්ම ප්‍රේක්ෂකයින්ගේ ද සුසුම් මොහොතකට සොරා ගනිමින්. 

උත්සාහක දිනුම් පහක් තමන්ගේ නමට ලියා ගනිමින් පසුගිය වසරේ ලීග් රග්බි තරගාවලිය අවසන් කළ ඔහු තරගාවලියේ වැඩිම උත්සාහක දිනුම් ලාභීන්ගේ ලැයිස්තුවේ පළමු 10 දෙනා අතරට ද එක්වන්නට සමත් වුනා. මෙවර තරගාවලියේ සාර්ථකත්වයෙහි ලා ඔහුගේ වේගය කණ්ඩායමට ඉතා වැදගත් වනු නොඅනුමානය.

Fly Half ස්ථානයේ ඉඟිල යන රෙනුජ දික්සුර බොහෝ දෙනා දෑස් දල්වා සිටින ක්‍රීඩකයෙක්. ලීග් තරගාවලි දෙකක අත්දැකීම් සමඟින් කණ්ඩායමේ තරග රටාව සකසන්නා ලෙස කටයුතු කරන ඔහු මෙවර ඉතා වැදගත් සේවයක් කණ්ඩායමට ඉටු කරනු ඇත.

ප්‍රවීණ පුහුණුකරු රොනී ඊබ්‍රහිම් මහතා මෙවර ඉසිපතනයේ සුක්කානම සියතට ගෙන කටයුතු කරයි. ශ්‍රී ලංකාවේ සිටින අත්දැකීම් බහුලතම පුහුණුකරුවෙකු වන ඔහුගේ සේවය ලීග් තරගාවලි තුනකින් පමණ හොඳ හැටි තෙම්පරාදු වී සිටින ඉසිපතන ක්‍රීඩකයින්ට ඉතා වැදගත් වනු ඇත. 

ලීග් තරගාවලි දෙකක් මෙන්ම පිළිමළුන් පිටුදැකීමේ තරගාවලි දෙකක් ද සිය පුහුණුකාරිත්වය යටතේ දිනාගෙන ඇති රොනී ඊබ්‍රහිම් මහතා සිය තුන්වැනි ලීග් ශූරතාව දිනා ගැනීමට අත්දැකීම් බහුල ඉසිපතනය ඉදිරියටම රැගෙන යනු ඇත. 

අවසන් වරට ඔහු යටතේ කණ්ඩායමක් ලීග් ශූරතාවක් දිනා ඇත්තේ 2004-2005 කාලසීමාවේ බැවින් මෙවර තරගාවලිය රොනී ඊබ්‍රහිම් මහතාට ද ප්‍රබල අභියෝගයක් වනු නොඅනුමානයි.

වේගවත් ක්‍රීඩකයින් රැසක් සමඟින් ඉසිපතනයට අනන්‍ය රග්බි සලකුණ 2020 අන්තර් පාසල් ලීග් රග්බි පිටියේ තබන්නට ඉසිපතනය සූදානම්. කුෂාන් ඉඳුනිල් යටතේ 2016 වසරේ අවසන් වරට දිනා ගත් ලීග් රග්බි කුසලානය රාජකීය බලය බිඳලමින් නැවතත් හැව්ලොක් පෙදෙසට රැගෙන යන්නට මනිල්ක රුබේරු ප්‍රමුඛ කණ්ඩායමට හැකි වෙයි ද?

ඉසිපතනයේ පළමු වටයේ තරග සැලැස්මයි මේ.

  • මාර්තු 7 – ඉසිපතන විද්‍යාලය හා විද්‍යා විද්‍යාලය – හැව්ලොක් පාක් ක්‍රීඩාංගණය
  • මාර්තු 14 – වෙස්ලි විද්‍යාලය හා ඉසිපතන විද්‍යාලය – ලොන්ඩන් පෙදෙස ක්‍රීඩාංගණය
  • මාර්තු 22 – විද්‍යාර්ථ විද්‍යාලය හා ඉසිපතන විද්‍යාලය – නිත්තවෙල
  • මාර්තු 29 – ඉසිපතන විද්‍යාලය හා සාන්ත පීතර විද්‍යාලය – හැව්ලොක් පාක් ක්‍රීඩාංගණය
  • අප්‍රේල් 5 – ඉසිපතන විද්‍යාලය හා ධර්මරාජ විද්‍යාලය – හැව්ලොක් පාක් ක්‍රීඩාංගණය

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<