ඩී. එස් ප්‍රහාරයෙන් ලුම්බිණි සිහින බොඳ වෙයි.

693

2019 සිංගර් අන්තර් පාසල් රග්බි ලීග් තරගාවලියේ B කාණ්ඩයේ ප්‍රථම වටයේ අවසන් තරගය අද (01) දින CR & FC ක්‍රීඩාංගණයේ දී පැවැත් වුනේ සත්කාරක කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය හා කොළඹ ලුම්බිණි විද්‍යාලය අතරයි. එම තරගයෙන් සේනානායකයින් ලකුණු 38ට 10ක් ලෙස පහසු ජයග්‍රහණයක් අත්කර ගැනීමට සමත් වුනා.

සිල්වෙස්තර ක්‍රීඩකයෝ කන්නංගරයින් බිංදුවටම මෙල්ල කරති

2019 සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ B කාණ්ඩයේ අවසන් සතියේ තරගයක්..

තරගය ආරම්භ වූ මොහොතේ පටන්ම ඩී. එස් ක්‍රීඩකයින් මන්දගාමී බවක් පෙන්වූ අතර ඔවුන්ට තමන්ගේ සුපුරුදු රිද්මයට පැමිණීමට මද වේලාවක් ගත විය. ඩී. එස් ක්‍රීඩකයින් වැරදි පිට වැරදි සිදු කරන විට 07 වැනි විනාඩියේ දී තරගයේ ප්‍රථම උත්සාහක දිනුම වාර්තා කරමින් ලකුණු පුවරුව ක්‍රියාත්මක කිරීමට ලුම්බිණි ක්‍රීඩක අශේන් මදුවන්ත සමත් වූවද එහි ප්‍රවර්තනය සාර්ථක වූයේ නැත.(ලුම්බිණි 05 – 00 ඩී.එස්. සේනානායක) 

සේනානායක ක්‍රීඩකයින් තමන් දන්නා උපායන් සියල්ලක් මෙන්ම එම අවස්ථාවේ භාවිතා කොට උත්සාහක දිනුමක් සඳහා තම වාසිය උරගා බැලුව නමුත් එයින් කිසිදු ඵලක් වූයේ නැත. ලුම්බිණි ක්‍රීඩකයින් තමන්ගේ කාර්යය නිසි ආකාරව ඉටු කරමින් තමන් අතින් කිසිදු අතපසුවීමක් සිදුනොවන්නට වග බලා ගත්තා. මේ අතර නැවතත් ක්‍රියාත්මක වූ ලුම්බිණි පිළ 11 වැනි මිනිත්තුව ගත වන විට තවත් උත්සාහක දිනුමක් ලබා ගත්තේ ආරම්භයේ දී ම පිටිය පුරා තම ආධිපත්‍ය පතුරුවමිනි. ලබා ගත් උත්සාහක දිනුම යේශිර උදේශන විසින් වාර්තා කළ අතර එහි ප්‍රවර්තනය සාර්ථක කරගැනීමට  නොහැකි විය. (ලුම්බිණි 10 – 00 ඩී. එස්. සේනානායක)

තරගයේ 22වන විනාඩියේ දී ලුම්බිණි ක්‍රීඩකයින් එල්ල කරන අභියෝග හමුවේ සේනානායකයින් තම ප්‍රතිරෝධය උත්සන්න කිරීම ආරම්භ කළ අතර ජොයෙල් කුමාර අලංකාර උත්සාහක දිනුමක් වාර්තා කළේ ලුම්බිණි පසුපෙළ බිඳ දමමින් ඩී. එස් ලකුණු පුවරුවට නැවුම් ලකුණු කරමිනි. මෙහි ප්‍රවර්තනය සාර්ථක කරගැනීමට සාරංග උඩවත්තට හැකි වුනා. (ලුම්බිණි 10 – 07 ඩී. එස්. සේනානායක)

රග්’B’ කාණ්ඩයේ උඩට එන්න ඕන මෙන්න මෙහෙමයි

“වෙහෙසකර සති 4කට පස්සේ B කාණ්ඩයෙන් Plate Championship එකට..

ඉන්පසුව ලුම්බිණි විද්‍යාලය නැවත තරගයට අවතීර්ණ වන බවක් පෙන්වමින් තරගයේ 25වන විනාඩියේ දී පන්දුව සිය අන්තයේ මද වේලාවක් රඳවා තබා ගනිමින් ක්‍රීඩා කළ ද ඔවුන්ගෙන් පන්දුව සොරාගෙ ලුම්බිණි පසුපෙළ විනිවිද යමින් ආකර්ෂණීය උත්සාහක දිනුමකට හර්ෂණ මදුරංග විසින් මග පාදාගත් අතර එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට උඩවත්තට හැකි වූයේ නැත. 

පළමු අර්ධය: ලුම්බිණි විද්‍යාලය 10 – 12 ඩී. එස්. සේනානායක විද්‍යාලය

දෙවැනි අර්ධයේ දී සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට ලුම්බිණි ක්‍රීඩකයින් උත්සහ කළ නමුත් ඩී. එස් ක්‍රීඩකයින් විසින් දෙවැනි අර්ධයේ ප්‍රථම උත්සාහක දිනුම වාර්තා කළා. ජොයෙල් කුමාර විසින් වාර්තා කළ එම උත්සාහක දිනුමේ ප්‍රවර්තනය සාර්ථක කරගන්නට උඩවත්ත හට දෙවැනි වතාවටත් නොහැකි වුනා. (ලුම්බිණි 10 – 17 ඩී. එස්. සේනානායක)

දඬුවම් පහර වර්ෂාවක් මතින් තර්ස්ටනයිට්වරුන් ජය ලබයි

තරගයේ අවසාන කාල සීමාව තුළ දී මහත් පෙරළියක් සිදු කරමින් ලකුණු 24-20ක් වශයෙන්…

ඉන්පසුව නැවතත් ලකුණු රැස් කිරීමට අවස්ථාවක් වෙත මාන බලමින් ලුම්බිණි ක්‍රීඩකයින් පන්දුව අතැතිව ඉදිරියට ඇදුණු අතර ඔවුන්ගෙන් නැවත නැවතත් අතපසුවීම් වෙද්දී ඉන් වාසිය හිමි වූ ඩී. එස් ක්‍රීඩකයින්ට පිටිය ආක්‍රමණය කිරීම අපහසු නොවීය. ඒ අවසරයෙන් 42 වැනි විනාඩියේ දී ක්‍රියාත්මක වූ ලලන්ක විජේසුන්දර අලංකාර ලෙස දිව යමින් උත්සාහක දිනුමක් වාර්තා කළ අතර එහි ප්‍රවර්තනය සාර්ථක කරගැනීමට සාරංග උඩවත්ත හට හැකි විය. (ලුම්බිණි 10 – 24 ඩී. එස්. සේනානායක)

එයින් පසුබට නොවූ ලුම්බිණි ක්‍රීඩකයින් කිහිප විටක්ම උත්සාහක දිනුම් සීමාව ආසන්නයට පැමිණිය ද අවසන් මොහොතේ සිදු වූ සුළු වැරදි නිසාවෙන් නැවතත් පසුබෑමට ලක්විය. සිය උත්සාහයන් ව්‍යර්ථ වුවද පන්දු හැසිරවීමේ දී හා ක්‍රීඩකයින් මෙල්ල කිරීමේ දීද කරන වැරදි බොහොමයක් ලුම්බිණි පිළ වෙතින් සුලභව දක්නට ලැබුණි. මේ අතරවාරයේ ලුම්බිණි ක්‍රීඩකයින් විසින් ප්‍රතිවාදී ක්‍රීඩකයෙකු මෙල්ල කිරීමට යාමේදී සිදුවූ අත්වැරදීමක් නිසාම ඉන් එක් ක්‍රීඩකයෙකුට කහ කාඩ්පතක් නිකුත් කිරීමට විනිසුරුතුමන්ට සිදු විය. 

ලද අවසරයකින් ක්‍රියාත්මක වූ ඩී. එස් කණ්ඩායමේ සාරංග උඩවත්ත අලංකාර උපක්‍රමයකින් ලුම්බිණි ආරක්ෂක බැම්ම බිඳ හෙලා උත්සාහක දිනුමක් වාර්තා කළේ සිය පාසලේ ක්‍රීඩාලෝලීන්ගේ ප්‍රීති ඝෝෂා මධ්‍යයේයි. එහි ප්‍රවර්තනය සාර්ථක කරගැනීමට ඔහුට හැකිවිය. (ලුම්බිණි 10 – 31 ඩී.එස්. සේනානයක) 

එයින් ද සෑහීමකට පත්වූ බවක් ඩී. එස්. කණ්ඩායමෙන් දිස් නොවූ අතර ඔවුන් ලුම්බිණි ක්‍රීඩකයින්ව දරුණු ලෙස මැඩපවත්වන විට දී ඒවාට ප්‍රතිප්‍රහාරයක් එල්ල කිරීමට තරම්වත් නොහැකි වන සේ ලුම්බිණි ක්‍රීඩකයින්ගේ ජවය හීන වී ගොස් තිබුණි.

තරගයේ ආරම්භය පටන් තම සුපුරුදු තරග රටාවෙන් ක්‍රීඩා නොකළ ඩී. එස් ක්‍රීඩක විශාල් විජේසිරි අලංකාර ලෙස ලුම්බිණි ආරක්ෂක බල මුළුව අභිබවා යමින් උත්සාහක දිනුමක් වාර්තා කළ අතර එහි ප්‍රවර්තනය සාර්ථක කරගැනීමට උඩවත්තට මෙවර ද හැකි වුනා. 

අවසන් ලකුණු තත්වය – ලුම්බිණි විද්‍යාලය 10 (2T) – 38 (6T, 4C) ඩී. එස්. සේනානායක විද්‍යාලය

ThePapare.com තරගයේ වීරයා – නවීද් සිද්දීක් (ඩී. එස්)

ලකුණු රැස්කළ ක්‍රීඩකයින්

D.S. සේනානායක විද්‍යාලය: ජොයෙල් කුමාර 2T හර්ෂණ මදුරංග 1T, ලලන්ක විජේසුන්දර 1T, විශාල් විජේසිරි 1T සාරංග උඩවත්ත 1T 4C

ලුම්බිණි විද්‍යාලය: L මදුවන්ත 1T, යෙශිර උදේශන 1T

2019 අන්තර් පාසල් සිංගර් ලීග් රග්බි තරගාවලියේ තරගවල සජීවි ආවරණ හා තතුවිත්ති දැන ගැනීමට Thepapare.com සමඟින් රැඳී සිටින්න.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<