2017 අන්තර් පාසල් රග්බි තරගාවලියේ තවත් තීරණාත්මක තරග 3ක් ඊයේ (20) පැවති අතර එහි දී මහනුවර ත්‍රිත්ව විද්‍යාලය පරාජය කළ කොළඹ රාජකීය විද්‍යාලය බ්‍රැඩ්බි පළිහේ පළමු අදියර ජයග්‍රහණය කිරීමට සමත් වූ අතර ඒත් සමඟම මෙවර තරගාවලියේ ලකුණු සටහනේ පෙරමුණ ගනිමින් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට ද ඔවුන් සමත් විය.

වෙස්ලි විද්‍යාලය පරාජය කරමින් ඉසිපතන විද්‍යාලයීය කණ්ඩායම තරගාවලියේ අනුශූරතාවය දිනා ගත් අතර කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලයීය කණ්ඩායම හමුවේ කොළඹ සහිරා විද්‍යාලයීය කණ්ඩායම පරාජයට පත්විය. ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයීය කණ්ඩායම සහ බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලයීය කණ්ඩායම අතර තරගය ඉතා උණුසුම් තරගයකින් අනතුරුව ජයපරාජයෙන් තොරව නිමාවට පත්විය.

බ්‍රැඩ්බි පළමු අදියර, ලීග් ශූරතා තරගයයි !

ඊයේ (13) අවසන් වූ පාසල් රග්බි ලීගයේ තීරණාත්මක අවසන් සතියේ දී, තරගාවලිය සුවිශේෂී අවසානයක් කරා සූදානම් කරමින් රාජකීය, ත්‍රිත්ව, සා. පීතර, සා. ජෝසප් යන කණ්ඩායම් ජයග්‍රහණයන්…

රාජකීය විද්‍යාලය – ත්‍රිත්ව විද්‍යාලය

73 වැනි බ්‍රැඩ්බි පළිහේ පළමු අදියර ලෙස පැවති මෙම තරගය 2017 අන්තර් පාසල් රග්බි තරගාවලියේ ශූරයින් තීරණය කෙරෙන තීරණාත්මක තරගය විය. ඉතා උණුසුම් තරගයකින් අනතුරුව ලකුණු 22 (3T 2C 1P) – 17 (3T 1C) ක් ලෙස ත්‍රිත්ව විද්‍යාලයීය කණ්ඩායම පරාජයට පත් කරන්නට රාජකීයයන් සමත් වූ අතර ඒත් සමඟම මෙවර තරගාවලියේ ලකුණු සටහනේ පෙරමුණ ගනිමින් 2017 සිංගර් පාසල් රග්බි ලීග් කුසලානය තමන් සතු කරගන්නට රාජකීයයන් සමත් විය.

RC vs TCK

තරගයේ පළමු මිනිත්තු කිහිපය තුළ හොඳින් ක්‍රීඩා කළ ත්‍රිත්ව ක්‍රීඩක රෂේන් බණ්ඩාරනායක තරගයේ ආරම්භක ලකුණ වාර්තා කරන්නට සමත් විය. තරගය ආරම්භයේ දී කණ්ඩායම් දෙකේම ඉදිරිපෙළ ක්‍රීඩකයින් ඉතා උද්වේගකර අන්දමින් තරගයට අවතීර්ණ වූ අතර මෙහි දී ත්‍රිත්ව විද්‍යාලයීය කණ්ඩායමේ ඉදිරිපෙළ ක්‍රීඩකයින්ට වඩා තරමක් හොඳින් ක්‍රීඩා කරන්නට රාජකීය විද්‍යාලයේ ඉදිරිපෙළ ක්‍රීඩකයින් සමත් විය. කෙසේ වුවත් ත්‍රිත්ව විද්‍යාලයේ ඉදිරිපෙළ ක්‍රීඩා කරන රෂේන් සූක්‍ෂම ක්‍රීඩා රටාවක් දියත් කරමින් තරගයේ ප්‍රථම උත්සාහක දිනුම වාර්තා කරන්නට සමත් වූ අතර එහි දී ලැබුණු ප්‍රවර්තන අවස්ථාව සාර්ථක කරගන්නට ලෂේන් විජේසූරිය අසමත් විය. (RC 00 – 05 TCK)

මිනිත්තු කිහිපයක් පමණක් ගතව‍ෙද්දී රාජකීය ක්‍රීඩකයින් උත්සාහක දිනුමක් වාර්තා කරගනිමින් තරගයට අවතීර්ණ විය. ඉමන්ත හිරුෂාන් එම උත්සාහක දිනුම වාර්තා කරගත් අතර එහි දී ත්‍රිත්ව විද්‍යාලයීය කණ්ඩායමේ පසුපෙළ බිඳ දමමින් පන්දුව ඉදිරියට රැගෙන ඒමට සමත් වූයේ රාජකීය විද්‍යාලයේ wing’ ක්‍රීඩක මොහොමඩ් ෆෙරියෝස් . එහි දී ලැබුණු ප්‍රවර්තන අවස්ථාව සාර්ථක කරගන්නට මොහොමඩ් ශාකීර් සමත් විය. (RC 07 – 05 TCK)

මිනිත්තු කිහිපයකින් අනතුරුව මීටර 25 දුරකින් රාජකීය විද්‍යාලයට දඬුවම් පහර අවස්ථාවක් පිරිනැමුණු අතර එය පහසුවෙන් සාර්ථක කර ගන්නට ශාකීර් සමත් විය. (RC 10 – 05 TCK)

තරගයේ පළමු අර්ධයේ නිමාවට මිනිත්තු කිහිපයකට පෙර උත්සාහක දිනුමක් වාර්තා කරගන්නට ත්‍රිත්ව විද්‍යාලයීය කණ්ඩායමට පහසු අවස්ථාවක් ලැබුනත් එහි දී රාජකීය විද්‍යාලයේ පසුපෙළ බිඳ දැමූ වොරන් වීරකෝන් උත්සාහක දිනුම් කලාපයට මීටර කිහිපයක් ඉතිරිව තිබිය දී පන්දුව ඉදිරිපෙළ prop’ ක්‍රීඩකයාට පිරිනැමූ අතර එහි දී ඔහු පන්දුව නිසි ලෙස ග්‍රහණය කර ගන්නට අපොහොසත් වීම හේතුවෙන් එම අවස්ථාව ඔවුන්ගෙන් ගිලිහී ගියේය.

පළමු අර්ධය: රාජකීය විද්‍යාලය 10 (1T 1C 1P) – 05 (1T) ත්‍රිත්ව විද්‍යාලය

තරගයේ දෙවන අර්ධය ආරම්භයේ දී ත්‍රිත්ව විද්‍යාලයීය කණ්ඩායමේ දෙවන උත්සාහක දිනුම වාර්තා කරන්නට ලෂේන් විජේසූරිය සමත් විය. මෙහි දී ඔවුන්ගේ ඉදිරිපෙළ ක්‍රීඩකයින් පන්දුව ඉතා හොඳින් මෙහෙයවමින් උත්සාහක දිනුම් කලාපය ආසන්නයට රැගෙන එන්නට සමත් වූ අතර අනතුරුව ලෂේන් විසින් උත්සාහක දිනුම සම්පූර්ණ කරන ලදි. (RC 10 – 12 TCK)

RC vs TCK

තරගයේ 60 වන මිනිත්තුව පමණ වනතෙක් තරගයේ වාසිය තමන් සතු කරගන්නට ත්‍රිත්ව විද්‍යාලයීය කණ්ඩායම සමත් වූයේ රාජකීය විද්‍යාලයේ පසුපෙළ ක්‍රීඩකයින්ට ප්‍රබල පීඩනයක් එල්ල කරමිනි. කෙසේ වුවත් රාජකීය ක්‍රීඩකයින් සුපුරුදු maul’ උපක්‍රමය භාවිත කරමින් මිනිත්තු කිහිපයක් තුළ උත්සාහක දිනුම් දෙකක් වාර්තා කරගනිමින් නැවතත් තරගයේ වාසිය තම කණ්ඩායම දෙසට හරවා ගන්නට සමත් විය. එම උත්සාහක දිනුම් දෙකම අශේන් ප්‍රනාන්දු විසින් වාර්තා කර ගත් අතර පිටියේ අන්ත දෙකේ දී ඒවා වාර්තා විය. මෙහි දී ශාකීර් සාර්ථක කර ගැනීමට සමත් වූයේ එක් ප්‍රවර්තන අවස්ථාවක් පමණි. (RC 22 – 12 TCK)

Royal-Rugby

ත්‍රිත්ව විද්‍යාලයීය කණ්ඩායමට ලැබුණු දඬුවම් පහර අවස්ථාවක් ඉක්මණින් ලබාගත් අනුක බෝයගොඩ පන්දුව වොරන් වීරකෝන් වෙත යොමු කළ අතර එය උත්සාහක දිනුම් කලාපය කරා පහසුවෙන් රැගෙන යන්නට ඔහු සමත් විය. මෙහි දී ලැබුණු ප්‍රවර්තන අවස්ථාව ලෂේන් විජේසූරිය අතින් ගිලිහී ගියේය. (RC 22 – 17 TCK)

පළමු අර්ධයේ දී මෙන් දෙවන අර්ධයේ දී ලැබුණු අවස්ථා කිහිපයක්ම ත්‍රිත්ව විද්‍යාලයීය ක්‍රීඩකයින් අතින් ගිලිහී ගියේය. තරගය නිමාවට පත්වූයේ 73 වැනි බ්‍රැඩ්බි පළිහේ පළමු අදියර සහ 2017 සිංගර් පාසල් රග්බි ලීග් කුසලානය ජයග්‍රහණය කරමිනි. ඔවුන් පරාජයට පත්වූයේ ඉසිපතන විද්‍යාලය හමුවේ පමණි.

දෙවන අර්ධය: රාජකීය විද්‍යාලය 22 (3T 2C 1P) – 17 (3T 1C) ත්‍රිත්ව විද්‍යාලය

ThePapare.com තරගයේ වීරයා තුලීබ් හසන් (රාජකීය)

ලකුණු ලබා ගැනීම

  • රාජකීය විද්‍යාලය: අශේන් ප්‍රනාන්දු 2T, ඉමන්ත හිරුෂාන් 1T, මොහොමඩ් ශාකීර් 2C 1P,
  • ත්‍රිත්ව විද්‍යාලය: රෂේන් බණ්ඩාරනායක 1T, වොරන් වීරකෝන් 1T, ලෂේන් විජේසූරිය 1T 1C

ඉසිපතන විද්‍යාලය – වෙස්ලි විද්‍යාලය

සතියකට පමණ පෙර මහනුවර ත්‍රිත්ව විද්‍යාලයීය කණ්ඩායම හමුවේ පරාජය වුවද නැවතත් සුපුරුදු දක්ෂතා අතරට පැමිණි ඉසිපතන විද්‍යාලයීය ක්‍රීඩකයින්, කොළඹ වෙස්ලි විද්‍යාලය ලකුණු 28-00ක් ලෙස හැව්ලොක් ක්‍රීඩාංගණයේ දී පරාජයට පත්කරන්නට සමත් වූයේ තරගාවලිය ජයග්‍රහණයකින් අවසන් කරමිනි. ඉසිපතන ක්‍රීඩකයින් උත්සාහක දිනුම් 5කින් සහ එක් දඬුවම් පහරකින් තම ලකුණු සංඛ්‍යාව වාර්තා කළ අතර ඒත් සමඟම ඔවුන්ට ප්‍රසාද ලකුණක් හිමි වීම නිසා ඔවුන් ලකුණු සටහනේ 2 වන ස්ථානය දිනා ගනිමින් තරගාවලියේ අනුශූරතාවය දිනා ගැනීමට සමත් විය.

pic 4

තරගය ආරම්භයේ ඉසිපතන කණ්ඩායමට තරමක පීඩනයක් එල්ල කරන්නට වෙස්ලි විද්‍යාලයීය ක්‍රීඩකයින් සමත් වුවත් ලකුණු ලබාගැනීමට අවස්ථාවක් නිර්මාණය කරගන්නට ඔවුන් අපොහොසත් විය. ඉසිපතන ක්‍රීඩකයින් ලකුණු ලබා ගැනීමට උත්සාහයන් කිහිපයක්ම දැරුවත් ඒවා සාර්ථක කර ගන්නට වෙස්ලි කණ්ඩායමේ පසුපෙළ ක්‍රීඩකයින් ඉඩ ලබා දුන්නේ නැත.

වෙස්ලි විද්‍යාලයීය කණ්ඩායමේ අවිශ්ක ලී තරගයේ 20 වන මිනිත්තුවේ දී මීටර 35 දුර සිට දඬුවම් පහර අවස්ථාවක් ලබා ගත්තත් එය සාර්ථක වූයේ නැත. අසනීප තත්වයේ පසුවීම නිසා ඉසිපතන කණ්ඩායමේ වැඩිම උත්සාහක දිනුම්ලාභී ක්‍රීඩකයා තරගය ආරම්භයේ දී ක්‍රීඩා නොකළ අතර ඔහුව තරගයේ 30 වන මිනිත්තුවේ දී තරගයට හඳුන්වා දුන් අතර මිනිත්තු 05 කට පසුව තරගයේ ආරම්භක ලකුණ දඬුවම් පහරකින් වාර්තා කර ගන්නට ඉසිපතන විද්‍යාලය සමත් විය. (IC 03 – WC 00)

තරගයේ පළමු අර්ධයේ නිමාවට ආසන්නයේ දී ඉසිපතන කණ්ඩායමේ නායක සුමුදු රන්කොත්ගේ උත්සාහක දිනුමක් වාර්තා කර ගත් අතර එහි දී ලැබුණු ප්‍රවර්තන අවස්ථාව සාර්ථක කර ගන්නට චමෝද් ප්‍රනාන්දු සමත් වූයේ නැත.

පළමු අර්ධය: ඉසිපතන විද්‍යාලය 08 – 00 වෙස්ලි විද්‍යාලය

දෙවන අර්ධය ආරම්භයේ දී ඉසිපතන කණ්ඩායමට තරමක පීඩනයක් එල්ල කරන්නට වෙස්ලි ක්‍රීඩකයින් සමත් විය. කෙසේ නමුත් තරගයේ 42 වන මිනිත්තුවේ දී ඉසිපතන විද්‍යාලයීය ක්‍රීඩකයින් පන්දුව ඉතා හොඳින් මෙහෙයවමින් එය චමෝද් ප්‍රනාන්දු හට බාර කළ අතර එය උත්සාහක දිනුම් කලාපය කරා සාර්ථකව රැගෙන යන්නට ඔහු සමත් විය. එහි දී මන්ලික රුබේරු ලබා ගත් ප්‍රවර්තන අවස්ථාව සාර්ථක වූයේ නැත. (IC 13 – WC 00)

අවිශ්ක ලී මීටර 40 දුර සිට දඬුවම් පහර අවස්ථාවක් ලබා ගත්ත එය සාර්ථක වූයේ නැත. තවත් මිනිත්තු කිහිපයකින් අනතුරුව ඉසිපතන කණ්ඩායමට තවත් උත්සාහක දිනුමක් හිමිකර දෙන්නට චමෝද් ප්‍රනාන්දු සමත් වූයේ ඔහුගේ දෙවන උත්සාහක දිනුම වාර්තා කර ගනිමිනි. (IC 18 – WC 00)

IC vs WC

වෙස්ලි විද්‍යාලයීය කණ්ඩායමට ප්‍රබල පීඩනයක් එල්ල කරමින් මිනිත්තු 05 කට පසුව නැවතත් උත්සාහක දිනුමක් වාර්තා කර ගන්නට ඉසිපතන ක්‍රීඩකයින් සමත් විය. මෙවර උත්සාහක දිනුම වාර්තා කර ගත්තේ නදීෂ් චමින්ද විසිනි. කෙසේ වුවත් මෙහි දී ලැබුණු ප්‍රවර්තන අවස්ථාව සාර්ථක කර ගන්නට චමෝද් ප්‍රනාන්දු සමත් වූයේ නැත. (IC 23 – WC 00)

ඉසිපතන කණ්ඩායමේ විශ්ව විමාදව sinbin’ දඬුවමට ලක්කිරීම නිසා ඉසිපතන විද්‍යාලයීය කණ්ඩායමට ක්‍රීඩකයින් 14 දෙනෙකුගෙන් ක්‍රීඩා කිරීමට සිදු වූ නමුත් ඉන් නොනැවතුණු ඔවුන් නැවතත් උත්සාහක දිනුමක් වාර්තා කර ගත්තේය. සුදීර ගයනාත් විසින් එය වාර්තා කර ගත් අතර තරගයේ අවසන් මිනිත්තු 10 පමණ වන විට වෙස්ලි ක්‍රීඩකයින් තරගය අත්හැර දැමූ බවක් දිස්විය. අනුව ඉසිපතන ක්‍රීඩකයින්ට පහසු ජයග්‍රහණයක් අත්විය.

දෙවන අර්ධය: ඉසිපතන විද්‍යාලය 28 – 00 වෙස්ලි විද්‍යාලය

ThePapare.com තරගයේ වීරයා සුදීර ගයනාත් (ඉසිපතන)

ලකුණු ලබා ගැනීම

  • උත්සාහක දිනුම්: චමෝද් ප්‍රනාන්දු 2, සුමුදු රන්කොත්ගේ, සුදීර ගයානාත්, නදීෂ් චමින්ද
  • දඬුවම් පහර: චමෝද් ප්‍රනාන්දු 1

සාන්ත ජෝසප් විද්‍යාලය – සහිරා විද්‍යාලය

ඉදිරිපෙළ ක්‍රීඩකයින්ගේ ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශයත්, හොඳින් පන්දුව මෙහෙයවීමත් ගැමුණු චෙතියගේ ක්‍රීඩා විලාශයත් හේතුවෙන් තරගයේ ජයග්‍රහණය තමන් සතු කරගන්නට සාන්ත ජෝසප් විද්‍යාලයීය කණ්ඩායම සමත් විය. ඔවුන් තරගය තුළ උත්සාහක දිනුම් 6ක්, එක් ප්‍රවර්තනයක් සහ දඬුවම් පහර 2ක් වාර්තා කරගන්නට සමත් විය.

ඔවුන් මේ තරගයට පිවිසියේ රවින් ඇන්ටෝනියෝ වෙනුවට චතුර සෙනෙවිරත්නව කණ්ඩායමට කැඳවමිනි. ඔහු පන්දුව හොඳින් මෙහෙයවමින් උත්සාහක දිනුමක් වාර්තා කරගන්නට උත්සාහ කළත් කණ්ඩායම් නායක විනුල් ප්‍රනාන්දු පන්දුව ඉදිරියෙන් සිටි ක්‍රීඩකයෙකුට යොමුකිරීම හේතුවෙන් එම අවස්ථාව ඔවුන්ට අහිමි විය.

pic 6

මිනිත්තු කිහිපයකින් අනතුරුව සචිත් සිල්වා තරගයේ පළමු උත්සාහක දිනුම වාර්තා කරගත් අතර එහි දී ලැබුණු ප්‍රවර්තන අවස්ථාව ඔවුන් අතින් ගිලිහෙන ලදි. (SJC 05 – 00 ZC)

සාන්ත ජෝසප් විද්‍යාලයීය ක්‍රීඩකයින් සහිරා විද්‍යාලයීය කණ්ඩායමට ප්‍රබල පීඩනයක් එල්ල කරමින් ක්‍රීඩා කළ අතර සහිරා ක්‍රීඩකයින් ඉදිරියට පැමිණෙන ජෝසප් විද්‍යාලයීය ක්‍රීඩකයින් වළකා ගන්නට ප්‍රබල උත්සාහයක් දැරීය. සහිරා කණ්ඩායමේ පසුපෙළ තිබූ දුර්වලතාවයකින් ප්‍රයෝජනය ගත් ගැමුණු චේතිය උත්සාහක දිනුමක් වාර්තා කර ගත් අතර එහි දී ලැබුණු ප්‍රවර්තන අවස්ථාව සාර්ථක කර ගන්නට සචිත් සමත් වූයේ නැත. (SJC 10 – 00 ZC)

ජෝසප් විද්‍යාලයීය කණ්ඩායමට ලැබුණු දඬුවම් පහර අවස්ථාව සාර්ථක කර ගත් සචිත් සිල්වා ඒත් සමඟම මෙම තරග වාරයේ ලකුණු 100 සීමාව කරා ළඟා වන්නට සමත් විය. (SJC 13 – 00 ZC)

තරගයේ පළමු අර්ධය නිමාවට පත්වූයේ සචිත් විසින් තවත් උත්සාහක දිනුමක් තම කණ්ඩායමට හිමිකර දෙමිනි. එහි දී ලැබුණු ප්‍රවර්තන අවස්ථාව සාර්ථක කර ගන්නට ඔවුන් සමත් වූයේ නැත.

පළමු අර්ධය: සාන්ත ජෝසප් විද්‍යාලය 18 (3T 1P) – 00 සහිරා විද්‍යාලය

තරගයේ දෙවන අර්ධයේ ආරම්භක මිනිත්තු කිහිපය තුළ තරගය එතරම් තරගකාරී ස්වභාවයක් ගත්තේ නැත. මිනිත්තු කිහිපයකට පසුව දඬුවම් පහර අවස්ථාවක් සාර්ථක කරගනිමින් තම කණ්ඩායමේ ලකුණු තත්වය ඉහළ නංවන්නට සිල්වා සමත් විය.

සහිරා විද්‍යාලයීය කණ්ඩායමේ නායක අමාත් විසින් උත්සාහක දිනුමක් ලබා ගැනීමට පන්දුව සයිඩ් සිංහවංසට බාරකළ අතර එය සාර්ථකව උත්සාහක දිනුම් කලාපය දක්වා රැගෙන ගිය ඔහු එහි දී ලැබුණු ප්‍රවර්තන අවස්ථාව සාර්ථක කර ගන්නට සමත් විය. (SJC 21 – 07 ZC)

ZC vs SJC

මිනිත්තු කිහිපයක් තුළ දී උත්සාහක දිනුම් දෙකක් වාර්තා කරමින් තරගය තුළ උත්සාහක දිනුම් ත්‍රිත්වයක් වාර්තා කර ගන්නට ගැමුණු චේතිය සමත් විය. එහි දී පළමු අවස්ථාව චතුර විසින් නිර්මාණය කර දුන් අතර දෙවන අවස්ථාව නිර්මාණය කර දුන්නේ සචින් සිල්වා යි. එහි දී ලැබුණු ප්‍රවර්තන අවස්ථා දෙකම අසාර්ථක විය. (SJC 31 – 07 ZC)

සහිරා විද්‍යාලයීය ක්‍රීඩකයින් හොඳින් පන්දුව හසුරුවමින් එය එම්. නිස්රාන්ට බාර කිරීමෙන් අනතුරුව තම කණ්ඩායමට උත්සාහක දිනුමක් හිමිකර දෙන්නට ඔහු සමත් විය. එහිදී ලැබුණු ප්‍රවර්තන අවස්ථාව සයිඩ් විසින් සාර්ථක කර ගත්තේය. (SJC 31 – 14 ZC)

ZC vs SJC

තරගයේ ලකුණු තත්වය තමන්ට හිතකර තත්වයක තිබූ නිසා සාන්ත ජෝසප් විද්‍යාලයීය කණ්ඩායම ක්‍රීඩකයින් තුළ වෙනස්කම් කිහිපයක්ම සිදු කරමින් නවක ක්‍රීඩකයින්ට අවස්ථාවක් ලබා දෙන ලදි. තරගයට ආදේශ කළ කේ. ඩී. කාවින්ද විසින් මීටර 63 දුරක් පන්දුව උත්සාහක දිනුම් කලාපය වෙත රැගෙන යමින් තම කණ්ඩායමට තවත් උත්සාහක දිනුමක් හිමිකර දෙන්නට සමත් විය. එහිදී ලැබුණු ප්‍රවර්තන අවස්ථාව සාර්ථක කරගත් සචිත් සිල්වා ඒත් සමඟම මෙම තරග වාරය තුළ ලකුණු 110 ක් රැස්කර ගත්තේ මෙම තරග වාරයේ වැඩිම ලකුණු ලාභියා වෙමිනි.

දෙවන අර්ධය: සාන්ත ජෝසප් විද්‍යාලය 18 (6T 1C 2P) – 14 (2T 2C) සහිරා විද්‍යාලය

ThePapare.com තරගයේ වීරයා ගැමුණු චේතිය

ලකුණු ලබාගැනීම

  • සාන්ත ජෝසප් විද්‍යාලය: චතුර සෙනෙවිරත්න 1T, ගැමුණු චේතිය 3T, සචිත් සිල්වා 1T 1C 2P, කේ.ඩී. කාවින්ද 1T
  • සහිරා විද්‍යාලය: සයිඩ් සිංහවංස 1T 2C, එම්. නිස්රන් 1T

සාන්ත පීතර විද්‍යාලය – සාන්ත තෝමස් විද්‍යාලය  

සාන්ත පීතර විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී පැවති ඉතා උණුසුම් තරගයකින් අනතුරුව තරගය ජයපරාජයෙන් තොරව නිමාවට පත්වීම නිසා තෙවන වසරටත් අඛණ්ඩව ආකිබෝල්ඩ් පෙරේරා අනුස්මරණ කුසලානය තමන් සතු කර ගන්නට සාන්ත පීතර විද්‍යාලයීය කණ්ඩායම සමත් විය.

තරගය ආරම්භයේ දී සාන්ත පීතර විද්‍යාලයට ප්‍රබල පීඩනයක් එල්ල කරන්නට සාන්ත තෝමස් ක්‍රීඩකයින් සමත් විය. ඔවුන්ගේ ඉදිරිපෙළ මෙන්ම පසුපෙළ ක්‍රීඩකයින් තරගය ආරම්භයේ දී ම ඉතා හොඳින් තරගයට අවතීර්ණ විය. පීතර විද්‍යාලයීය කණ්ඩායමේ පසුපෙළ සිදු වූ දුර්වලතාවයක් අවස්ථාවක් කර ගත් ලුෂාන්ත දාබරේ පන්දුව හොඳින් හසුරුවමින් එය නායක නවීන් හේනකන්කානම්ගේ වෙත යොමු කළ අතර තරගයේ පළමු උත්සාහක දිනුම තම කණ්ඩායමට හිමි කර දෙන්නට ඔහු සමත් විය. එහි දී ලැබුණු ප්‍රවර්තන අවස්ථාව ප්‍රනාන්දු විසින් සාර්ථක කර ගැනීමට සමත් විය. (SPC 00- 07 STC)

pic 9

කෙසේ වුවත් මිනිත්තු කිහිපයකට පසුව ලැබුණු දඬුවම් පහර සාර්ථක කර ගත් පීතර ක්‍රීඩකයින් ලකුණු ලබා ගැනීම ආරම්භ කළේය. සාමාන්‍යයෙන් දඬුවම් පහර අවස්ථාවන් ලබාගන්නා ස්ටෙෆන් සිවරාජ් තරගයට ක්‍රීඩා නොකිරීම නිසා එම වගකීම පැවරී තිබුණේ දියත් ප්‍රනාන්දු හටයි. ප්‍රතිවාදීන්ගෙන් පන්දුව ලබා ගත් පීතර විද්‍යාලයීය කණ්ඩායමේ ජුලියන් චාල්ස් පන්දුව තීක්ෂණ දිසානායක හට බාර කළ අතර ඔහු පන්දුව රැගෙන ගොස් නායක ප්‍රනාන්දු වෙත එය බාර කරන ලදි. ඔහු එහි දී උත්සාහක දිනුම් කලාපය දෙසට පා පහරක් එල්ල කළ අතර පන්දුව රැකගත් මාක් ඇසෝ විසින් උත්සාහක දිනුම වාර්තා කරගන්නට සමත් විය. තීක්ෂණ දිසානායක විසින් එහි දී ලැබුණු ප්‍රවර්තන අවස්ථාව සාර්ථක කරගන්නා ලදි. (SPC 10- 07 STC)

ඉන් අනතුරුව උත්සාහක දිනුමක් වාර්තා කරගන්නට පීතර ක්‍රීඩකයින් දැඩි උත්සාහයක් දැරුවත් එය සාර්ථක කරගන්නට ඔවුන් අපොහොසත් විය. කෙසේ වුවත් මිනිත්තු කිහිපයකට පසුව උත්සාහක දිනුම් කලාපයට ආසන්නයේ දී scrum’ අවස්ථාවකින් පන්දුව ලබාගත් පීතර විද්‍යාලයීය ක්‍රීඩකයින් තවත් උත්සාහක දිනුමක් වාර්තා කරගැනීමට සමත් විය. රවීන් ප්‍රනාන්දු විසින් එම උත්සාහක දිනුම වාර්තා කර ගත් අතර එහි දී ලැබුණු ප්‍රවර්තන අවස්ථාව දියත් ප්‍රනාන්දු අතින් ගිලිහී ගියේය. (SPC 15- 07 STC)

pic 10

පීතර කණ්ඩායමේ පසුපෙළ දුර්වලතාවයක් ප්‍රයෝජනයට ගත ජාන් සොයිසා පන්දුව ආරොන් ප්‍රනාන්දු හට බාර කළ අතර ඔහු පන්දුව රැගෙන ගොස් මයෝන් ජයවර්ධන හට බාර කරන ලදි. එය සාර්ථකව උත්සාහක දිනුම් කලාපය දක්වා රැගෙන යන්නට ඔහු සමත් විය. ප්‍රවර්තන අවස්ථාව සාර්ථක කර ගන්නට ප්‍රනාන්දු අපොහොසත් විය. (SPC 15- 12 STC)

පළමු අර්ධය: සාන්ත පීතර විද්‍යාලය 15 (2T 1C 1P) – 12 (2T 1C) සාන්ත තෝමස් විද්‍යාලය  

තරගයේ දෙවන අර්ධයට සාර්ථක ආරම්භයක් ලබා ගනිමින් පීතර ක්‍රීඩකයින් ඔවුන්ගේ තුන්වන උත්සාහක දිනුම වාර්තා කරගන්නට සමත් විය. ලැබුණු දඬුවම් පහර අවස්ථාව ඉක්මනින් ලබාගත් මදුසංක විසින් පන්දුව සුහේල් ප්‍රනාන්දුට යොමු කළ අතර ඔහු තම කණ්ඩායමට උත්සාහක දිනුම හිමිකර දෙන්නට සමත් විය. දිසානායක විසින් ප්‍රවර්තන අවස්ථාව සාර්ථක කර ගන්නා ලදි. (SPC 22- 12 STC)

ඉන් අනතුරුව ,මිනිත්තු 20 කාලය තුළ පීතර ක්‍රීඩකයින්ට ප්‍රබල පීඩනයක් එල්ල කරමින් නැවතත් තෝමස් ක්‍රීඩකයින් තරගයට අවතීර්ණ විය. මිනිත්තු කිහිපයකින් අනතුරුව ෂෙනුක පෙරේරා විසින් තෝමස් කණ්ඩායමට උත්සාහක දිනුමක් වාර්තා කර දුන් අතර ප්‍රවර්තන අවස්ථාව ඩියෝන් ඩයස් විසින් සාර්ථක කරගන්නා ලදි. (SPC 22- 19 STC)

pic 11

ලැබුණු දඬුවම් පහර අවස්ථාවක් සාර්ථක කර ගත් තෝමස් ක්‍රීඩකයින් ;ලකුණු තත්වය සම කරගන්නට සමත් විය. ඩියෝන් ඩයස් විසින් එය සාර්ථක කරගන්නා ලදි. අනතුරුව පීතර ක්‍රීඩකයින්ට ලකුණු ලබා ගැනීමට අවස්ථාවන් කිහිපයක්ම ලැබුණත් ඒවා සාර්ථක කරගන්නට ඔවුන් අපොහොසත් විය. අවසාන මිනිත්තු 10 තුළ පීතර කණ්ඩායමට පහසු දඬුවම් පහර අවස්ථාවක් ලැබුණු අතර එය සාර්ථක කර ගත් දිසානායක නැවතත් තරගයේ වාසිය තම කණ්ඩායම දෙසට හරවා ගැනීමට සමත් විය.

පීතර ක්‍රීඩකයින් පන්දුව හැසිරවීමේ දී එතරම් සාර්ථක නොවුණු අතර අනෙක් පසින් තෝමස් ක්‍රීඩකයින් ප්‍රතිවාදීන්ට දඬුවම් පහර අවස්ථාවන් කිහිපයක්ම ලබා දෙන ලදි. අවසාන මිනිත්තු කිහිපය තුළ ලැබුණු දඬුවම් පහර අවස්ථාව සාර්ථක කර ගත් ඩියෝන් ඩයස් ලකුණු තත්වය නැවතත් සම කිරීමට සමත් විය.

S. Thomas’ vs St. Peter's

ඉන් අනතුරුව තවත් පහසු දඬුවම් පහර අවස්ථාවක් ඔවුන්ට ලැබුණු නමුත් එහි දී එල්ල කළ පහර ගෝල රාමුවේ දකුණු කණුවේ වැදී ඉවතට ඇදී යාම හේතුවෙන් එම අවස්ථාව ඔවුන්ට අහිමි වූ අතර තරගයේ ජයග්රහණය ලබා ගැනීමට තිබූ පහසු අවස්ථාවක් අනුව ශාන්ත තෝමස් කණ්ඩායම අතින් ගිලිහෙන ලදී. අනුව තරගය ජයපරාජයකින් තොරව අවසන් විය.

දෙවන අර්ධය: සාන්ත පීතර විද්‍යාලය 25 (3T 2C 2P) – 12 (3T 2C 2P) සාන්ත තෝමස් විද්‍යාලය  

ThePapare.com තරගයේ වීරයා ජේසන් කරුණාරත්න (සාන්ත පීතර විද්‍යාලය)

ThePapare.com තරගයේ වීරයා වූ ජේසන් කරුණාරත්න තරගය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රකාශ කළ සිටියේ;

ගොඩක් හොඳ තරගයක්. අපි පළමු අර්ධයේත්, දෙවන අර්ධය අරම්භයේත් හොඳින් ක්‍රීඩා කළා. ඒත් අපිට තරගය ජයග්‍රහණය කරන්න බැරි වුණා. තරගයේ ප්‍රතිඵලය ගැන සැහීමකට පත්වෙන්න බෑ. මේ වගේ වැදගත් තරග ජයග්‍රහණය කරන්න අපිට තව හොඳින් ක්‍රීඩා කරන්න වෙනවා.”

ලකුණු ලබා ගැනීම

සාන්ත පීතර විද්‍යාලය

  • උත්සාහක දිනුම් – මාක් ඇසෝ, රවීන් ප්‍රනාන්දු, සුහේල් ප්‍රනාන්දු
  • ප්‍රවර්තන – දියත් ප්‍රනාන්දු, තීක්ෂණ දිසානායක
  • දඬුවම් පහර – දියත් ප්‍රනාන්දු, තීක්ෂණ දිසානායක

සාන්ත තෝමස් විද්‍යාලය

  • උත්සාහක දිනුම් නවීන් හේනකන්කානම්ගේ, මයෝන් ජයවර්ධන, ෂෙනුක පෙරේරා
  • ප්‍රවර්තන – ආරොන් ප්‍රදිනාන්දු, ඩියෝන් ඩයස්
  • දඬුවම් පහර ඩියෝන් ඩයස් (2)

තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න රග්බි ක්‍රීඩා පිටුවට