සිංගර් පාසල් රග්බි ලීගය තුළ සිය අපරාජිතභාවය තවදුරටත් ඉදිරියට රැගෙන යමින් අද (27) මොරටුව වේල්ස් කුමර විදුහලට එරෙහිව පැවති රග්බි තරගයෙන් 94-09ක් ලෙස දැවැන්ත ජයග්‍රහණයක් ලැබීමට මහනුවර ත්‍රිත්ව විදුහල සමත් විය.

අන්තෝනිවරුන්ගේ ශක්තිය අභිබවා යමින් ජෝසප්වරුන් ජය ලබයි

මහනුවර බෝගම්බර පිටියේ දී කටුගස්තොට සාන්ත අන්තෝනි විදුහලට එරෙහිව පැවති රග්බි තරගයෙන් ජය ලබන්නට මරදාන සාන්ත ජෝසප් විදුහල සමත් වූයේ ලකුණු 24-11ක් ලෙසයි…

පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ දී ඇරඹි තරගයේ දෙවන මිනිත්තුව තුළදීම සංහාරය ඇරඹුවේ ගෞරව සෙනවිරත්නයි. පසුව ශවීන් ඒකනායක ද පිටිය මැදින්ම උත්සාහක රේඛාව වෙත ගොස් ලකුණු රැස්කළේය.

තරගයේ 14 සහ 16 යන මිනිත්තු වල දී උත්සාහක දිනුම් රේඛාව තරණය කළේ පිළිවෙළින්, හසිරු වැලිවත්ත සහ අනුක් බෝයගොඩ යි. ලෂේන් විජේසූරිය විසින් එහි ප්‍රවර්තනයන් දෙකම සාර්ථක කර ගත් අතර ත්‍රිත්වයන්ට ප්‍රසාද ලකුණු ලබා ගැනීමට ගත වූයේ තරගයෙන් මිනිත්තු 16ක් පමණක් වීම විශේෂත්වයකි.

ශැනල් මාරලන්ද, පසිඳු සමරවික්‍රම සහ ලශේන් විජේසූරිය තම තමාගේ නම් ද ලකුණු සටහනට ඇතුළත් කර ගැනීමෙන් පසුව දිස්වූයේ එක් අශ්වයකුගේ ධාවන තරගයක දසුන් ය. ත්‍රිත්වයන් දිගට හරහට උත්සාහක දිනුම් වාර්තා කරද්දී මොරටුව වේල්ස් කුමර ක්‍රීඩකයන් වෙනුවෙන් දඬුවම් පහරක් මඟින් ලකුණු රැස්කිරීමට නලීන් තරංග සමත් විය.

පළමු අර්ධය – ත්‍රිත්ව විද්‍යාලය 41 (7T 4C) – 03 (1P) වේල්ස් කුමර විද්‍යාලය

දෙවන අර්ධයේ දී ද තම සුපුරුදු අධිවේග ක්‍රීඩා ශෛලියට අවතීර්ණ වූ ත්‍රිත්ව විද්‍යාලය වෙනුවෙන් හසිරු වැලිවත්ත යළිත් උත්සාහක දිනුමක් රැස්කළේය. ත්‍රිත්ව විදුහලේ කනේශ අල්විස්, ප්‍රමාද වී එල්ල කළ අභියෝගයක් හේතුවෙන් පිටියෙන් ඉවත් කෙරුණු නමුත් දඬුවමින් පසු යළි පැමිණි ගමනේ දී උත්සාහක ලකුණු රැස්කිරීමට ඔහු සමත් විය. මීළඟ උත්සාහක දිනුම වාර්තා කරන ලද්දේ වොරන් වීරකෝන් විසිනි.

මෙතෙක් වේලා නිහඬව සිටි දිලුක්ෂ දන්ගේ විසින් තවත් උත්සාහක දිනුම් දෙකක්ම ත්‍රිත්ව විදුහලට පිරිනැමෙන ලදී. අකිත් සකලසූරිය, ෂෙනාල් අබේවර්ධන, බෙවිශාන් විජේවික්‍රම සහ රෙෂාන් බස්නායක විසින් තවත් උත්සාහක දිනුම් වරුසාවකින් වේල්ස් කුමරුවන් නහවද්දී රෙෂාන් බණ්ඩාරනායක තම මංගල තරගයට ක්‍රීඩා කරමින් ඉන් ප්‍රවර්තන දෙකක් සාර්ථක කරගත්තේය.

වේල්ස් කුමරුවන් වාර්තා කළ මීළඟ ලකුණු 6ම වාර්තා වූයේ නලීන් තරංග ලබාගත් දඬුවම් පහර දෙකකිනි.

ThePapare.com තරගයේ වීරයා – නලීන් තරංග (වේල්ස් කුමර).

ලකුණු වාර්තා කළ ක්‍රීඩකයන්.

ත්‍රිත්ව – දිලුක්ෂ දන්ගේ 2T 1C, හසිරු වැලිවත්ත 2T, ගෞරව සෙනවිරත්න 1T, ශවීන් ඒකනායක 1T, අනුක බෝයගොඩ 1T, ලශේන් විජේසූරිය 1T 4C, ශැනල් මාරලන්ද 1T, රෙෂාන් බණ්ඩාරනායක 1T 2C, කනේෂ අල්විස් 1T, වොරන් වීරකෝන් 1T, අකිත් සකලසූරිය 1T, පසන් සමරවික්‍රම 1T, ෂෙනාල් අබේවර්ධන 1T, බෙවිශාන් විජේවික්‍රම 1T.

වේල්ස් කුමර – නලීන් තරංග 3P.

තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි ක්‍රීඩා පිටුවට