ලකුණු හයක පරතරය, ඉසිපතනයේ ජය තහවුරු කරයි

3889
TP-64

සටන්කාමී ධර්මරාජ විද්‍යාලයීය ක්‍රීඩකයන් හමුවේ අද (26) පැවති තරගයෙන්, පාසල් රග්බි ලීග් තරගාවලියේ වත්මන් ශූරයන් වන ඉසිපතන විදුහලට ලකුණු 18-12ක ජයක් හිමිවිය. තෙතබරිත බෝගම්බර පිටියේ දී තරගය පැවති අතර කණ්ඩායම් දෙකටම පිටියේ ස්වභාවයට අනුගත වීම තරමක් අපහසු බව පෙනුණි. තරග පිටියේ සීමාවන් පවා නොපෙනෙන අන්දමට බෝගම්බර පිටිය මඩවගුරක්ව තිබිණි.

සහිරා, රාජකීය සහ සාන්ත තෝමස් විදුහල් වලට ජය

පාසල් රග්බි පිටියේ පළමු සතියේ දෙවැනි දිනය වූ ඊයේ දිනයේ දී තරග 3ක් පැවැත් වුනු අතර එම තරග වලින් රාජකීය විද්‍යාලය, සාන්ත තෝමස් විද්‍යාලය සහ සහිරා විද්‍යාලය ජයග්‍රහණය වාර්තා කරන්නට සමත් විය.

දීලක හෙට්ටිආරච්චි විසින් එල්ල කල දඬුවම් පහරක් සමඟින් ප්‍රථමයෙන් ලකුණු පුවරුව ක්‍රියාත්මක කළේ ඉසිපතන විදුහලයි. (ඉසිපතන 03-00 ධර්මරාජ)

ලිස්සන සුළු පන්දුවත් සමඟින් දෙපිලම පොරබදන පසුබිමක දී ප්‍රථම අර්ධය නිමාවීමට ආසන්න වෙත්ම, ධර්මරාජ විද්‍යාලයීය නායක සහ ෆ්ලයි හාෆ් ක්‍රීඩක චාමික පෙරේරා විසින් දිනයේ ප්‍රථම උත්සාහක දිනුම සාර්ථක කර ගත්තේය. ගිහාන් ඉෂාර, ගෝල කණුවලට මඳක් වමතින් සිට එහි ප්‍රවර්තනය සාර්ථක කර ගත්තේය. (ඉසිපතන 03-07 ධර්මරාජ)

පසුව ධර්මරාජ නායක චාමික පෙරේරා, කලව ප්‍රදේශයේ ආබාධයකට ලක්වූ අතර ඔහු පිටියෙන් ඉවත් විය. කිසිදු කණ්ඩායමකට තවත් ලකුණු හිමි කර නොදෙමින් ප්‍රථම අර්ධය නිමා විය.

ප්‍රථම අර්ධය – ඉසිපතන විද්‍යාලය (1P) 03 – 07 (1T, 1C) ධර්මරාජ විද්‍යාලය

සියලුම ඉසිපතන ප්‍රේක්ෂකයන්ට අවශ්‍යව තිබූ ජවසම්පන්න ආරම්භය දෙවන වටය වෙනුවෙන් ඒ ආකාරයෙන්ම ලබා ගත්තේ 2nd row ක්‍රීඩක රවිඳු අංජුල විසින් ය. දීලක හෙට්ටිආරච්චිගේ ප්‍රවර්තනය සාර්ථක වූයේ නැත. (ඉසිපතන 08-07 ධර්මරාජ)

අනතුරුව යළිත් තරගයේ මුලසුන ධර්මරාජ විදුහල වෙතට හරවා ගත් සන්දීප හේවගේ විසින් සිදු කරන ලද ‘පන්දුව එල්ල කොට හඹා යාමේ උපක්‍රමය’ (kick & chase) තරගයට අලංකාරයක් එක් කළ අතර ධර්මරාජයට උත්සාහක දිනුමක ලකුණු ද එක්කළේය. පිටියේ වම් අන්තයේ දී ලැබුණු ප්‍රවර්තන අවස්ථාව ගිහාන් ඉෂාරට පහසු එකක් නොවීය. එබැවින් ඔහු අසාර්ථක විය. (ඉසිපතන 08-12 ධර්මරාජ)

කෙමෙන් තරගයේ වැඩි බර ධර්මරාජය වෙත පැවරෙන අතරතුර දී ඔවුන්ගේ ෆ්ලෑන්කර් ක්‍රීඩක හසරංග ප්‍රමුදිත අතින් යම් අතපසුවීමක් සිදුවූ අතර ඊට කහ කාඩ්පතකින් දඬුවම් ලැබීමට ඔහුට සිදුවිය. ඔහුව පිටියෙන් ඉවත් කිරීමෙන් වාසිය ලබා ගත් ඉසිපතන වින්ග් ත්‍රී ක්‍රීඩක කේ. සභානායක, ධර්මරාජ ෆුල් බැක් ක්‍රීඩකයා පසුකරමින් උත්සාහක දිනුම් රේඛාව තරණය කළේය. එහි ප්‍රවර්තනය සඳහා අවස්ථාව ලබා ගත් ස්ක්‍රම් හාෆ් ක්‍රීඩක යූ. බණ්ඩාරගේ පහරේ ඉලක්කය අසාර්ථක විය. (ඉසිපතන 13-12 ධර්මරාජ)

ධර්මරාජ විද්‍යාලය එක් ක්‍රීඩකයෙකු රහිතව ක්‍රීඩාවේ යෙදෙන ඇසිල්ලේ දී යළිත් ක්‍රියාත්මක වූ සභානායක, ඉසිපතනයට තවත් උත්සාහක දිනුමක් එක්කළේය. එහි ප්‍රවර්තනය ද අසාර්ථක වූවත් තරගයේ පෙරමුණ ඒ වන විටත් ඉසිපතන ක්‍රීඩකයන් සතු විය. (ඉසිපතන 18-12 ධර්මරාජ)

පිටියෙන් ඉවත් කරන ලද හසරංගගේ නැවත ආගමනයත් සමඟින් ධර්මරාජ විදුහල් ක්‍රීඩකයන් යළිත් ඉසිපතන විදුහලට අභියෝග කළ ද කාලය ඔවුන්ට හරස් විය.

අවසන් ලකුණු තත්වය: ඉසිපතන විද්‍යාලය (3T, 1P) 18 – 12 (2T, 1C) ධර්මරාජ විද්‍යාලය

ThePapare.com තරගයේ වීරයා: කේ. සභානායක (ඉසිපතන)

ලකුණු රැස් කළ ක්‍රීඩකයන්.

  • ඉසිපතන විද්‍යාලය – කේ. සභානායක 2T, රවිඳු අංජුල 1T, දීලක හෙට්ටිආරච්චි 1C.
  • ධර්මරාජ විද්‍යාලය – චාමික පෙරේරා 1T, සංදීප හේවගේ 1T, ගිහාන් ඉෂාර 1C.

තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට