පාසල් රග්බි තරගාවලියේ විනය පවත්වා ගන්නට විශේෂ නිලධාරියෙක්

373

මේ වසරේ පාසල් ලීග් රග්බි තරගාවලිය මාර්තු 3 වැනිදා ආරම්භ වීමට නියමිත අතර එහි පළමු කාණ්ඩයේ ‘A’ කොටසේ තරගාවලිය සඳහා තරගයේ සිදුවීම් පිළිබඳ අධ්‍යනය කිරීම සඳහා විශේෂ නිලධාරියෙක් යොදා ගැනීමට ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය කටයුතු යොදා තිබේ. තරගාවලියේ විනය පවත්වා ගැනීම සහ ක්‍රීඩාවේ ජීව ගුණය ආරක්ෂා වන පරිදි ක්‍රීඩකයන් හැසිරවීම මෙම තීරණය ගැනීමේ ප්‍රධාන අරමුණ වී ඇත.

ක්ලිෆර්ඩ් කුසලාන ජයත් සමඟින් ෆාසිල් මරීජා පිටියෙන් සමුගනී

2018 ඩයලොග් ක්ලිෆර්ඩ් කුසලාන පිළිමළුන් පිටුදැකීමේ තරගාවලියේ අවසාන මහා තරගය මහනුවර ක්‍රීඩා …

පාසල් ලීග් රග්බි තරගාවලිය සඳහා මෙලෙස නිරීක්ෂණ නිලධාරියකු (Citing Match Commissioner නොහොත් CMC) යොදා ගන්නා දෙවන අවස්ථාව මෙය වන අතර පසුගිය වසරේ පාසල් ලීග් රග්බි තරගාවලියේ දෙවන වටය තුල නියාමක ව්‍යාපෘතියක් ලෙස මෙවන් නිලධාරියකු භාවිත කරන්නට පාසල් රග්බි බලධාරීන් පියවර ගෙන තිබුණි. CMC නිලධාරී වරයා ලෙස ස්වාධීන පුද්ගලයෙකු කටයුතු කරන අතර තරගය පැවැත්වෙන මිනිත්තු 70 පුරාවටම ක්‍රීඩකයන්ගේ නීති විරෝධී හෝ විනය විරෝධී කටයුතු පිළිබඳ ඔහු අවධානයෙන් පසු වනු ඇත.

ශ්‍රී ලංකාවේ වෘත්තීය රග්බි තරග පැවැත්වෙන සෑම අවස්ථාවකම තරග නිරීක්ෂණ නිලධාරී වරයෙකුගේ සේවය යොදා ගැනෙන අතර ඔහුට අවශ්‍ය යටිතල පහසුකම් ද ලබා දීම සිදු කෙරේ. පසුගිය දා අවසන් වූ ඩයලොග් අන්තර් සමාජ රග්බි ලීග් තරගාවලිය සඳහා ද තරග නිරීක්ෂණ නිලධාරී වරයෙකුගේ සහය ලබා ගන්නා ලදි.

මෙලෙස තරග නිරීක්ෂණ නිලධාරී වරයෙකුගේ සේවය ලබා ගැනීමේ ප්‍රධාන අරමුණක් වන්නේ තරගාවලියේ තරගකාරීත්වය පවත්වා ගන්නා අතරම රග්බි ක්‍රීඩාවේ ජීව ගුණය ද ආරක්ෂා කර ගැනීමයි. පසුගිය කාලය තුළ පාසල් රග්බි ක්‍රීඩාවේ ප්‍රමුඛ පෙළ තරගාවලිය අතිශයින් තරගකාරී තත්ත්වයකට පත් වීමත් සමඟ බොහෝ කණ්ඩායම් ‘කුමන හෝ ක්‍රමයකින් ජය ගත යුතුය’ යන අභිමතයෙන් පිටියට පිවිසීම හේතුවෙන් තරගාවලියේ විනය ඉතා පහත මට්ටමකට පත්ව තිබුණි.

මෙසේ තරග නිරීක්ෂණ නිලධාරියෙකුගේ සේවය ලබා ගැනීමත් සමඟ සති 8ක් පුරා දිවෙන ලීග් තරගාවලිය තුළ මෙන්ම ඉන් අනතුරුව පැවැත්වෙන ජනාධිපති කුසලාන පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලිය තුළ ද, තරගකාරීත්වය සහ ජීවය පිරි තරග රටාවක් ක්‍රියාත්මක වනු ඇතැයි සංවිධායකයන් බලාපොරොත්තුවෙන් පසුවෙයි.

මේ සති අන්තයේ ආරම්භ වන අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ දී තරග නීති රීති වල වෙනස්කම් රැසක් දැක බලා ගැනීමට හැකි වන අතර ඉන් ප්‍රධාන වෙනස් කමක් වන්නේ තරගයක් මිනිත්තු 80ක් වෙනුවට මිනිත්තු 70කට සීමා වීමයි. මෙම නීති රීති වෙනස ජාත්‍යන්තර රග්බි සම්මේලනය විසින් වයස අවුරුදු 19න්  පහළ රග්බි තරග සඳහා හඳුන්වා දී තිබෙන නව නීති මාලාවට අනුකූල වන ලෙස සිදු කර තිබේ.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<