සුපිරි රාජකීයයන් හමුවේ ත්‍රිත්ව සිංහයන් පසුබසී

716

බ්‍රැඩ්බි පලිහ කන්ද උඩරටට ගෙන යාමේ ත්‍රිත්ව විද්‍යාලයීය බලාපොරොත්තුව ඉතා දුර බැහැරට පලවා හරින්නට අගනුවර රාජකීයයන් සමත් විය.

74 වන බ්‍රැඩ්බි පලිහ සඳහා පැවති පළමු අදියරේ තරගය රාජකීය විද්‍යාල කණ්ඩායම පහසුවෙන් ජය ගත්තේ ලකුණු 39-07ක් ලෙසයි. මේ අනුව ඔවුන් දෙවන අදියර සඳහා ලකුණු 32ක වාසියක් ඉතිරි කර ගත් අතර අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියට අදාළ තරගයක් වූ මෙම අදියරේ ජයග්‍රහණයත් සමඟ සිය අපරාජිත වාර්තාව තව දුරටත් රඳවා ගන්නට ද සමත් විය.

සාන්ත පීතර විද්‍යාලය අපරාජීතව පළමු වටයට තිත තබයි

සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ B කාණ්ඩයේ තවත් තරගයක් අද (21) කොළඹ ඩී. එස්…..

රාජකීය විද්‍යාලයේ ආදී සිසුවකු වන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ද සහභාගීත්වයෙන් ඇරඹි මෙවර බ්‍රැඩ්බි පලිහ පළමු අදියර සඳහා කොළඹ රාජකීය ක්‍රීඩා සංකීර්ණ රග්බි ක්‍රීඩාංගණය ඉතා හොඳින් සූදානම්ව පැවතී අතරම පසුගිය දින කිහිපය පුරා කොළඹ නගරය මඩ ගොහොරුවක් කළ වර්ෂාව ද තරගයට බාධා නොකරන්නට තීරණය කර තිබුණි.

පන්දුවේ පළමු ස්පර්ශය ත්‍රිත්ව විද්‍යාලයට හිමිවූ අතර ඔවුන් සටනට පිවිසුණේ මේ වසරේ වඩාත් ඉහළ දස්කම් අතර සිටින කණ්ඩායමක් වූ රාජකීයයන්ට මුල සිටම අභියෝගයක් වීමේ අරමුණ ඇතිවයි.

තරගයේ පළමු මිනිත්තු කිහිපය පුරා කණ්ඩායම් දෙකෙන්ම අඩුපාඩු දක්නට ලැබුණු අතර රාජකීයයන් තම සුපුරුදු දස්කම් අතරට කෙමෙන් කෙමෙන් අවතීර්ණ වන අයුරක් පසුව නිරීක්ෂණය විය. සත්කාරකයන් සුපුරුදු රිද්මයට පිවිසීමත් සමඟ පළමු ලකුණු ලබා ගැනීමේ අවස්ථාව ඔවුන්ට හිමි වුණේ පීඩනය නිසි අයුරින් පාලනය කර ගත නොහැකි වූ ත්‍රිත්ව ක්‍රීඩකයන්ගේ අඩුපාඩුවක් හේතුවෙන් ලද දඬුවම් පහරක් මගිනුයි. කෙසේ වෙතත් එම අවස්ථාව සාර්ථක කර ගන්නට දුලාන් ගුණවර්ධන අසමත් වූ අතර පළමු මිනිත්තු 10 අවසන් වුනේ කණ්ඩායම් දෙකම ලකුණු ලබා ගැනීමට අසමත් වූ වාතාවරණයක් තුලයි.

තවත් මිනිත්තු කිහිපයක් ගෙවී යද්දී ත්‍රිත්ව විද්‍යාලයට ද ඔවුන්ගේ මීටර් 22 සීමාව අසල දඬුවම් පහරක් හිමිවූ අතර එම පහසු අවස්ථාව ද ඔවුන්ගෙන් ගිලිහී ගියේ තරගයේ පෙරමුණ ගැනීම සඳහා ලැබුණු දුර්ලභ අවස්ථාව ද අහිමි කරමිනි. එතැන් පටන් ත්‍රිත්ව කණ්ඩායමට හිස ඔසවන්නට රාජකීයයන්ගෙන් ඉඩක් ලැබුණේ නැත. පළමු අර්ධයේ මිනිත්තු 15ක් පමණ ගත වූ තැන සත්කාරකයන් ලකුණු පුවරුව ක්‍රියාත්මක කළේ සසිත සියත් වාර්තා කළ උත්සාහක දිනුමක් මගිනි. සසිත ගෝල කණු අතරින්ම පන්දුව පතිත කරන්නට සමත් වුවත් එහි ප්‍රවර්තනය වළක්වා ලන්නට ත්‍රිත්ව ක්‍රීඩකයන් සමත් විය.  (රාජකීය 05 – ත්‍රිත්ව 00)

දෙවන අර්ධයේ වෙස්ලි ප්‍රහාරයෙන් ඉසිපතනය නූලෙන් බේරෙයි

සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ තවත් තරගයක් අද (20) කොළඹ ඉසිපතන විද්‍යාලය….

ත්‍රිත්ව විද්‍යාල කණ්ඩායම පන්දුව තමන්ගේ අන්තයට ගෙන යාමට සමත් වූ අතර මිනිත්තු කිහිපයක් තුළ ලකුණු පුවරුවේ තම අන්තය ක්‍රියාත්මක කිරීම සඳහා ඔවුන්ට තවත් අවස්ථාවක් හිමි වුණේ තවත් දඬුවම් පහරක් මාර්ගයෙන්. කෙසේ නමුත් ෆ්ලයි හාෆ් ක්‍රීඩක අකිත සකලසූරිය හට මේ අවස්ථාවේ දීත් පන්දුව ගෝල කණු අතරින් යොමු කරන්නට හැකියාව ලැබුණේ නැත.

රාජකීයයන්ගේ ලකුණු වාසිය අවම කිරීමේ අවස්ථාව අහිමි කර ගත් ත්‍රිත්ව කණ්ඩායමට තවත් සුළු කාලයකින් සිදු වුණේ රාජකීයයන් තම ලකුණු වාසිය දෙගුණ කර ගන්නා අයුරු බලා සිටින්නටයි. ත්‍රිත්ව පසුපෙළ ක්‍රීඩකයන් කිහිප දෙනෙක් අතරින් රිංගා ගිය ජනිඳු ඩිල්ශාන් පිටියේ වම් කෙළවර දෙසින් උත්සාහක දිනුම් රේඛාව පසු කර යද්දී අසාර්ථක උත්සාහයන් දෙකක මතකය මොහොතකින් මකා දැමූ දුලාන් ගුණවර්ධන දර්ශනීය අයුරින් එහි ප්‍රවර්තනය සාර්ථක කර ගන්නට සමත් විය. (රාජකීය 12 – ත්‍රිත්ව 00)

තමන්ට ලැබුණු වාසිය කිසිදු අයුරකින් ගිලිහී යන්නට රාජකීය ක්‍රීඩකයන් ප්‍රතිවාදීන් හට අවස්ථාවක් ලබා නොදීම කැපී පෙනුනි. ත්‍රිත්ව විද්‍යාලය ක්‍රීඩක ආදේශන මගින් වාසියක් ලබා ගැනීමට ගත් උත්සාහය ද ඵලදායක නොවූ අතර පළමු අර්ධය අවසන් වීමට පෙර සිය තෙවන උත්සාහක දිනුම ද වාර්තා කරන්නට රාජකීය කණ්ඩායම සමත් විය.

>> තරගයේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<

මෙවර උත්සාහක දිනුමේ හිමිකාරීත්වය ලියවුණේ බිම්සර ඉඳුවර නමිනුයි. එවර හිමිවූ අතිශය පහසු ප්‍රවර්තනය දුලාන් ගුණවර්ධනගේ ප්‍රහාරයෙන් තවත් ලකුණු දෙකක් බවට පරිවර්තනය වෙද්දී සත්කාරක රාජකීය කණ්ඩායම විවේක කාලය සඳහා ක්‍රීඩාගාරය වෙත පියමං කළේ ලකුණ 19-00ක් ලෙස සටහන් වූ දැවැන්ත වාසියක් තමන් සන්තකයට පත් කර ගැනීමෙන් අනතුරුවයි.

පළමු අර්ධය: රාජකීය විද්‍යාලය 19 – 00 ත්‍රිත්ව විද්‍යාලය

ලද ඉසිඹුවෙන් අනතුරුව සුපුරුදු තරගකාරී රටාවට අවතීර්ණ වන්නට රාජකීය විද්‍යාල කණ්ඩායම කිසිදු අමතර කාලයක් වැය කළේ නැත.

තරගය නැවත ආරම්භ වී මිනිත්තු දෙකක් ගත වූ තැන ඔවුන් සිය සිව්වැනි උත්සාහක දිනුම වාර්තා කරන ලදි. නැවත ආරම්භයේ දී ම ත්‍රිත්ව කණ්ඩායමෙන් සිදුවූ සුළු වරදකින් උපරිම ප්‍රයෝජන ගත් රාජකීයයන් ඔවුන්ගේ නොවරදින ‘රෝලිං මෝල්’ තාක්ෂණය ප්‍රදර්ශනය කරමින් සම්පූර්ණ කළ මෙම උත්සාහක දිනුම ලියවුණේ මලීෂ මධුමෙවන්ගේ නමින්. එහි ප්‍රවර්තනය සාර්ථක නොවුන ද රාජකීයයන් අන්තර් පාසල් ලීග් තරගාවලි ලකුණු සටහනට අමතර ප්‍රසාද ලකුණක් එක් කර ගන්නට සමත් විය. (රාජකීය 24 – ත්‍රිත්ව 00)

තරගයේ ග්‍රහණය කෙමෙන් කෙමෙන් ගිලිහී යමින් පැවති මොහොතක සංචාරක ත්‍රිත්ව කණ්ඩායමට සැනසුම් සුසුමක් හෙලීමේ අවස්ථාව හිමි වුණේ 49 වන මිනිත්තුවේ දී  විශ්ව රණරාජා රාජකීය ආරක්ෂාව බිඳ හෙලමින් උත්සාහක දිනුමක් වාර්තා කිරීමත් සමඟයි. නායක අවිශ්ක ශීක් එහි ප්‍රවර්තනය ද සාර්ථක කර ගත්තේ ත්‍රිත්ව විද්‍යාලයට බලාපොරොත්තුවක ආලෝක කිරණක් ගෙන දෙමින්. (රාජකීය 24 – ත්‍රිත්ව 07)

නමුත් ඔවුන්ගේ සිහිනයට වැඩි ආයුෂ නොතිබූ අතර ත්‍රිත්ව කණ්ඩායම නින්දෙන් පිබිද වූයේ ජනිඳු ඩිල්ශාන්ගේ දෙවන උත්සාහක දිනුමයි. ත්‍රිත්ව ආරක්ෂක ක්‍රීඩකයන් හරහා අති විශිෂ්ට මෙන්ම ඉතා දැකුම්කළු ධාවනයක නිරත වූ ඩිල්ශාන් රාජකීය කණ්ඩායමේ 5 වන උත්සාහක දිනුම වාර්තා කළ අතර දුලාන් ගුණවර්ධන සිය තෙවන සාර්ථක ප්‍රවර්තනය එල්ල කළේ ජයග්‍රහණය සිය කණ්ඩායමේ අයිතියක් බව තහවුරු කර ගනිමිනුයි. (රාජකීය 31 – ත්‍රිත්ව 07)

කෙසේ වෙතත් ලකුණු ලබා ගැනීමේ ආශාව තව දුරටත් ඇත නොහළ රාජකීයයන් තරගය අවසානයට මිනිත්තු කිහිපයක් පමණක් ඉතිරිව තිබිය දී තවත් උත්සාහක දිනුමක් කරා දිව යන්නට සමත් විය.

මේ අවස්ථාවේ පිටියේ විනිසුරුවරයා හට එම උත්සාහක දිනුම නීත්‍යානුකූල දැයි පරීක්ෂා කිරීමට රූපවාහිනී පුනරූපන වල සහාය ලබා ගැනීමට සිදු වුණේ හිමන්ත හිරුශාන් වෙත පන්දුව යොමු කල ක්‍රීඩකයා පන්දුව ඉදිරියට විසි කළා දැයි තහවුරු කර ගැනීම සඳහා යි. බැලූ බැල්මට පන්දුව ඉදිරියට යොමු වන අයුරක් පෙනෙන්නට තිබුණත්  එය නීත්‍යානුකූල උත්සාහක දිනුමක් ලෙස රූපවාහිනී තරග විනිසුරු (TMO) තීරණය කරන ලදි. අතිශය පහසු ප්‍රවර්ථනයක් දුලාන් ගුණවර්ධන හට මගහැරුනි. (රාජකීය 36 – ත්‍රිත්ව 07)

පිළියන්දලයින් පරාජය කරමින් ආනන්දයට මංගල ජය

සිංගර් පාසල් රග්බි ලීගයේ බී කාණ්ඩයේ තවත් තරගයක් ඊයේ (20) පැවතියේ කොළඹ ආනන්ද….

තරගයේ අවසන් සංඥාව නිකුත් වීමට මොහොතකට පෙර රාජකීය කණ්ඩායමට පහසු දඬුවම් පහරක් හිමිවූ අතර එම අවස්ථාවත් දෝත නගා පිළිගත් රාජකීයයන් මෙවර එම රාජකාරිය පැවරුවේ ෆාදිල් අද්හාන් වෙතයි. ඔහු තම වගකීම සාර්ථකව ඉටු කරද්දී රාජකීය ලකුණු පුවරුව සටහන් වුණේ ලකුණු 39 ක් ලෙසයි. සංචාරක ත්‍රිත්ව කණ්ඩායමට සිය එකම ප්‍රවර්ථිත උත්සාහක දිනුමෙන් සැනසෙන්නට සිදු විය.

අවසන් ප්‍රතිඵලය: රාජකීය විද්‍යාලය 39 (6T, 3C, 1P) – 07 (1T, 1C) ත්‍රිත්ව විද්‍යාලය

ThePapare.com තරගයේ වීරයා –  ජනිඳු ඩිල්ශාන් (රාජකීය විද්‍යාලය)

ලකුණු ලබාගත් ක්‍රීඩකයන්

රාජකීය විද්‍යාලය:

උත්සාහක දිනුම් – ජනිඳු ඩිල්ශාන් (2), සසිත සියත්, බිම්සර ඉඳුවර, මලීෂ මධුමෙවන්, හිමන්ත හිරුශාන්
ප්‍රවර්තන – දුලාන් ගුණවර්ධන (3)
දඬුවම් පහර – ෆාදිල් අද්හාන්

ත්‍රිත්ව විද්‍යාලය:

උත්සාහක දිනුම් – විශ්ව රණරාජා
ප්‍රවර්තන – අවිශ්ක ශීක්

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<