දිවයිනේ ප්‍රමුඛතම බෞද්ධ තක්ෂිලාවක් වන කොළඹ ආනන්ද විද්‍යාලයීය රග්බි කණ්ඩායම A කාණ්ඩයට පිවිසීමේ දැඩි අභිලාෂයෙන් යුතුව මෙවර අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ තරග වදිනු ඇත. ලකුණු දෙකකින් අගමැති කුසලානය ආනන්දයෙන් ගිලිහි ගිය ද මේ වසරේ නව ජවයකින් නව මුහුණුවරකින් පාසල් ලීග් තරගාවලියට පිවිසෙන ආනන්ද විද්‍යාලය සොයා ගිය අප ආනන්දීය රග්බි කණ්ඩයම පිළිබඳ තබන සටහනකි මේ.

පසුගිය වසර ආනන්ද රග්බි ඉතිහාසයේ ස්වර්ණමය වසරක් ලෙස හැඳින්විය හැකි වුවත් B කාණ්ඩයේ තිබූ තරගකාරී බව නිසාම අවාසනාවන්ත ලෙස A කාණ්ඩයට පිවිසීමට තිබූ වරම් ආනන්ද විදුහල් රග්බි කණ්ඩායමට අහිමි විය. සුපිරි දස්කම් අතරට පිවිසුණු ආනන්ද රග්බි ක්‍රීඩකයෝ පසුගිය වසරේ ලීග් රග්බි තරගාවලියේ බඳුන ශූරතාව මෙන්ම මයිලෝ කුසලාන පිළිමළුන් පිටුදැකීමේ අගමැති කුසලානයේ අනුශූරතාව ද සිය පාසලට රැගෙන යන්නට සමත් විය.

ආනන්ද විද්‍යාලයීය නායක අංජන සචින්ත

මෑත අතීතයේ අත්පත් කරගන්නට නොහැකිවූ A කාණ්ඩයේ සිහිනය සැබෑවක් කර ගැනීම උදෙසා ආනන්ද විදුහලේ රග්බි කණ්ඩායම මෙහෙය වීමේ වගකීම මෙවර අංජන සචින්ත වෙත හිමිවී තිබේ. ’Fly Half’ ස්ථානයේ කණ්ඩායමේ තරග සැලසුම්කරු ලෙස ක්‍රීඩා කරන අංජන සිව්වැනි වසර සඳහා කණ්ඩායම නියෝජනය කරන්නෙකි.

අත්දැකීම් බහුල ක්‍රීඩකයෙකු වන ඔහු වේගවත් හා ක්ෂණිකව ක්‍රියාත්මකවන්නකු ලෙස නම් දරා ඇත්තෙකි. ”මේ අවුරුද්දේ A කාණ්ඩයට යන්න තමා බලාපොරොත්තු වෙන්නේ, හොඳට සූදානම් වෙලා ඉන්නේ, ගිය අවුරුද්දේ වෙච්ච වැරදි ඔක්කොම හදා ගෙන ඉන්නේ, ගිය පාර ප්‍රධාන පුහුණුකරු මේ පාරත් ඉන්නවා සර්ගේ සහයෝගය හොඳට ලැබෙනවා, ඉස්කෝලේ සහයෝගයයි, විදුහල්පතිතුමාගේ සහයෝගයයි එක්ක හොඳ සීසන් එකක් කරන්න බලාපොරොත්තුව වෙනවා යැයි ThePapare.com අදහස් දැක්වූ අංජන පැවසිය.

ඉස්කෝලේ සහයෝගයයි, විදුහල්පතිතුමාගේ සහයෝගයයි එක්ක හොඳ සීසන් එකක් කරන්න බලාපොරොත්තුව වෙනවා

නායකයාට අනගි සහයක් වෙමින් උපනායක වසුන් කාවින්ද කණ්ඩායමේ පසුපෙළ සවිමත් කරනු ඇත. සෙන්ටර් ස්ථානයේ ක්‍රීඩා කරන වසුන්ද සිව්වැනි වසර සඳහා ආනන්ද කණ්ඩායම නියෝජනය කරන්නෙකි.

”මේ අවුරුද්දේ A කාණ්ඩයට යන එක තමා අපේ ප්‍රධාන බලාපොරොත්තුව, ගිය අවුරුද්දේ ගහපු ගොඩක් අය ඉන්නවා මේ පාරත් ටීම් එකේ, සීනියර්ස්ලා 8ක් ඉන්නවා, විදුහල්පතිතුමා නිතරම ග්‍රවුන්ඩ් එකට ඇවිල්ල හොයල බලනවා, ආදී ශිෂ්‍යයෝත් හොඳ සහයෝගයක් දෙනවා” යැයි වසුන් අදහස් දක්වමින් පැවසීය.

ආනන්ද විද්‍යාලයීය උප නායක වසුන් කාවින්ද

වේගවත් ශක්තිමත් ක්‍රීඩකයෙකු වන වසුන් මෙවර කණ්ඩායමේ සමබරතාව ඉහළ දැමීමේ ලා අනගි කාර්යභාරයක් ඉටු කරනු ඇත.

ශක්තිමත් දැවැන්ත ඉදිරිපෙළකින් යුතු ආනන්ද විදුහල් රග්බි කණ්ඩායමේ කෙවින් බැරී (Kevin Berri) ‘No 8’ ස්ථානයේ ක්‍රීඩා කරමින් කණ්ඩයමේ ඉදිරිපෙළ සවිමත් කරනු ඇත. දැවැන්ත ක්‍රීඩකයෙකු වන කෙවින් ප්‍රතිවාදී ක්‍රීඩකයින් මැඩලමින් උත්සාහක දිනුම් කරා දිවයාමට නමක් දිනා ඇත්තෙකි.

සිය උසින් ප්‍රයෝජන ගනිමින් ‘Flanker’ ස්ථානයේ මනා සේවයක් ඉටු කරන සසිඳු චානුක මෙවර කණ්ඩායමට අනගි සේවයක් ඉටු කරනු ඇත. ’Scrum Half ’ ස්ථානයේ ක්‍රීඩා කරන හිරුෂ ගිම්හාන මෙන්ම ‘Full Back’ හී ක්‍රීඩා කරන දුලිත ෂෙහාන් ද මෙවර ආනන්ද රග්බි කණ්ඩයමේ සාර්ථකත්වය උදෙසා ඉමහත් මෙහෙයක් ඉටු කරනු ඇත.

කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චාමර විතානගේ

පරිණත පුහුණුකරුවෙකු මෙන්ම විශිෂ්ට ක්‍රීඩකයෙකු ද වූ චාමර විතානගේ මහතා මෙවර ද ආනන්ද විද්‍යාලයීය රග්බි කණ්ඩයම මෙහෙය වීමේ වගකීම භාරගෙන කටයුතු කරයි. කිංග්ස්වුඩ් විද්‍යාලයීය කීර්තිමත් ආදී ශිෂ්‍යයෙකු වන ඔහු 2000 වසරේ කිංග්ස්වුඩ් රග්බි කණ්ඩායම මෙහෙයවූ අතර මහනුවර ක්‍රීඩා සමාජයට ද ක්‍රීඩා කර ඇත. තවද ඔහු 2007 ශ්‍රී ලංකා සත් සාමාජික කණ්ඩායමේ නායකත්වය ද දැරුවෙකි.

”ටීම් එකක් විදියට ගත්තම අපි මාස තුනක විතර කාලයක් එකට පුහුණු වීම් කරනවා, හොඳට සූදානම් වෙලා ඉන්නවා වෙන අවුරුදුවලට වැඩිය” ThePapre.com වෙත අදහස් දක්වමින් පැවසිය. තවදුරටත් අදහස් දක්වමින්, “ක්‍රීඩා පිටිය ඇතුලත දී සහ පිටත දී කණ්ඩයමේ විනය හොඳින්ම පවත්වා ගන්නවා, අපේ එකම ඉලක්කය වෙන්නේ B කාණ්ඩයේ ශූරතාව දිනා ගැනීම, අලුත් 19න් පහළ නීති හා අලුත් ක්‍රීඩකයින් ආදේශ කිරීමේ නීතිරීති මාලාව ඉතා හොඳයි, තරගයෙන් තරගය යන්න තමා බලාපොරොත්තු වෙන්නේ.” යැයි ඒ මහතා පැවසිය.

ආනන්ද විද්‍යාලයීය සංචිතය

අංජන සචින්ත (නායක), වසුන් කාවින්ද (උපනායක), I. R. S. ප්‍රනාන්දු, A. U. රත්නායක, P. W. B. S. ප්‍රනාන්දු, L. R කුකුලෙව, S. රශ්මික, A. T. පියසේන, D. S. චානුක, කෙවින් බැරී, H. H. G. පෙරේරා, P. A. S. තිලකරත්න, T. D. N. නවන්ජන, W. N. N. කරුණාරත්න, K. ඉලේපෙරුම, H. D. S. විජේසිංහ, P. D. කෞශල්‍ය, P. A. Y. කුලතුංග, P. U. M. පාදුක්ක, L. D. T. ධනුෂ්ක, Y. K. වීරසිංහ, H. K. ද සිල්වා, A. L. G. R. දිලංග, M. D. D. ප්‍රභාශ්වර, M. H. ධම්රුවන්, B. මධුශාන්  

A කාණ්ඩයේ සිහිනය මුදුන්පත් කර ගැනීම සඳහා ආනන්ද විද්‍යාලයීය රග්බි කණ්ඩායමට ThePapare.com අප සුබාශිංසන එක්කරන්නෙමු.

පාසල් රග්බි ලීගයේ B කාණ්ඩයේ තරග ආවරණය කිරීමට ද ThePapare.com සූදානම්, රැඳී සිටින්න.

 >> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<