ලේක්වීව් කන්දේ රග්බි හමුදාව පාසල් රග්බි පිටිය ආක්‍රමණයට සූදානමින්

705

2013 වසරේ පාසල් රග්බි ලීග් ශූරතා දිනූ මහනුවර ධර්මරාජ විද්‍යාලය A කාණ්ඩයේ සිය ස්ථානය තහවුරු කර ගැනීමේ අරමුණින් යුතුව පෙරළිකාරී වෙනස්කම් කිහිපයක් සහිතව 2018 පාසල් රග්බි ලීග් තරගාවලියට පිවිසෙනු ඇත.

ThePapare.com අප ධර්මරාජ විද්‍යාලයීය රග්බි කණ්ඩායම සොයා මහනුවරට ගිය අතර මේ සටහන මහනුවර ධර්මරාජ විදුහල් රග්බි කණ්ඩායම වෙනුවෙනුයි.

කිංග්ස්වුඩ් මහත්වරුන් පාසල් රග්බි පිටියේ පෙරළියක් කරන්නට සැරසෙයි

ශ්‍රී ලංකාවට රග්බි ක්‍රීඩාව හඳුන්වා දුන් මහනුවර කිංග්ස්වුඩ් විදුහල, පසුගිය තරග වාරයේ …

අතීතයෙන් බිඳක්

A කාණ්ඩයේ අනෙක් පාසල්වලට සාපේක්ෂව කෙටි රග්බි ඉතිහාසයකට හිමිකම් කියූව ද, වසර 50ක එම ඉතිහාසය පුරා ලබා ගන්නට හැකි වූ ජයග්‍රහණ බොහොමයි. කර්නල් අමරනායක විසින් 1970 දී ආරම්භ කළ ධර්මරාජ රග්බි ඉතිහාසයේ ස්වර්ණමය යුගය 2010-2013 කාල සමයයි.

මියුරු හේවාවසම්ගේ නායකත්වයෙන් සමස්ත ලංකා සිංගර් දසසාමාජික රග්බි ශූරතාව දිනූ ධර්මරාජ කණ්ඩයම, 2012 දී B කාණ්ඩයේ ශූරයින් වන්නට ද සමත් විය.

2012 දී සමස්ත ලංකා අන්තර් පාසල් සත්සාමාජික රග්බි තරගාවලිය ජය ගත් ධර්මරාජ විද්‍යාලයීය රග්බි කණ්ඩායම එම වසරේ දී ම ජනාධිපති කුසලාන පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ අවසන් පූර්ව වටය දක්වා පැමිණීමට ද සමත් විය. මේ අමරණීය කාල සමයේ අවසානය සනිටුහන් කරමින් රෝචන හෙට්ටිආරච්චිගේ නායකත්වයෙන් 2013 වසරේ දී අපරාජිතව සිංගර් ලීග් රග්බි ශූරතාව දිනා ගැනීමට සමත් විය. වත්මන් මහනුවර ක්‍රීඩා සමාජයේ ‘Full Back’ ක්‍රීඩක තිළිණ විජේසිංහ එම තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා ලෙස වාර්තා පොත් අතරට එක්විය.

ධර්මරාජ රග්බි පිටියෙන් ජාතික තලයට දායාද වූ ක්‍රීඩකයෝ රැසකි. ජාතික කණ්ඩායමේ හා මහනුවර ක්‍රීඩා සමාජයේ නායකයා ලෙස කටයුතු කළ රධික හෙට්ටිආරච්චි, නුවන් හෙට්ටිආරච්චි, බුවනෙක උඩන්ගමුව ’බුවා’, රෝචන හෙට්ටිආරච්චි, තිළිණ විජේසිංහ මෙන්ම දර්ශන ඇටිපොල ද ඒ අතර වේ.

පසුගිය තරග වාරය

පසුගිය තරග වාරය එතරම්ම සාර්ථක තරග වාරයක් නොවුනත් පළමු වටයේ සාන්ත පීතර විදුහලට එරෙහිව පෙරළිකාර ජයක් ලබමින් පළමු වටය අවසන් කළ ධර්මරාජ ක්‍රීඩකයෝ, දෙවැනි වටයේ දී අපාරජිතව තරග වදිමින් පළඟ ශූරතාවේ අනුශූරයින් වන්නට සමත් විය. දෙවැනි වටයේ දී මහනුවර කිංග්ස්වුඩ් විදුහල පරාජය කරමින් විලියම් වීරසිංහ අනුස්මරණ කුසලානය පිට පිට දෙවන වරටත් ධර්මරාජ විද්‍යාලයට රැගෙන යන්නට සමත් විය.  

මෙවර තරග වාරය

සිය සහෝදරයා වන මහනුවර ක්‍රීඩා සමාජයේ බුවනෙක උඩන්ගමුවගේ අඩිපාරේ යමින් ‘Center’ ස්ථානයේ ක්‍රීඩා කරන බවන්ත උඩන්ගමුව, මෙවර ධර්මරාජ කණ්ඩයම මෙහෙය වීමේ වගකීම දරමින් ක්‍රීඩා කරයි.

බවන්ත සයවැනි වසර සඳහා කණ්ඩයම නියෝජනය කරන අත්දැකීම් බහුල ක්‍රීඩකයෙකු වීම කණ්ඩායමට අමතර ශක්තියක් වී තිබේ. ප්‍රතිවාදී ක්‍රීඩකයින් මැඩලමින් උත්සාහක දිනුම් කරා යාමේ දක්ෂයෙකු වන බවන්ත, මෙවර ධර්මරාජ විද්‍යාලයීය කණ්ඩයම ජයග්‍රහණය කරා යන ගමනේ ප්‍රධානතම බර උසුලන්නෙකු වනු ඇත.

”අපි පුහුණු තරග හොඳට සෙල්ලම් කරා, අලුත් කට්ටිය ගොඩක් ඉන්නවා ටීම් එකේ, අනෙක් කණ්ඩයම්වලට හොඳ තරගයක් දීලා හොඳ සීසන් එකක් කරන්න තමා අපි බලාපොරොත්තු වෙන්නේ, කණ්ඩායමේ ඉන්නේ අලුත් කට්ටිය උනාට ගොඩක් දක්ෂ අය අපිට ඉන්නවා.” යැයි ThePapare.com වෙත අදහස් දැක්වූ කණ්ඩායමේ නායක බවන්ත උඩන්ගමුව පැවසීය.

සිය නායකයාට සහය වෙමින් ඕෂද කුළුපහන (Fly half) සිය වේගය හා ක්ෂණික නුවන උපයෝගී කර ගනිමින් කණ්ඩායමට සවිය දෙනු ඇත. උපනායක මනුක හියාරපිටිය ධර්මරාජ ඉදිරිපෙළ සවිමත් කරමින් ඉදිරිපෙළ මෙහෙය වීමේ වගකීම දරනු ඇත. ’No 8’ ස්ථානයේ ගිය වසරේ ද ක්‍රීඩා කළ මනුක සිය අත්දැකීම් සමඟින් මෙවර ද කණ්ඩයමේ ශක්තිය ලෙස කටයුතු කරනු ඇත.

ඉසිපතන විද්‍යාලය නියෝජනය කළ කීර්තිමත් ක්‍රීඩකයෙකු වූ වර්තමාන මහනුවර ක්‍රීඩා සමාජයේ කළමනාකරු කපිල සිල්වා මෙවර ද කණ්ඩයමේ පුහුණුකරු ලෙස කටයුතු කරයි.

ධර්මරාජ විදුහල් කණ්ඩයම දක්ෂයින්ගෙන් සපිරි කණ්ඩයමක් වුවත් දක්ෂතා පවත්වා ගනිමින් තරගයෙන් තරගය ගමන් කිරීමට ඇති නොහැකියාව නැවත වරක් ලීග් කිරුළ ලේක්වීව් කන්දට ගෙන යාමට ප්‍රධානතම බාධාව වී තිබේ. එබැවින් කණ්ඩයමේ විශ්වාසය ගොඩ නගාගෙන මෙවර ලීග් කිරුළ සඳහා අනෙක් කණ්ඩයම් සඳහා ප්‍රබල අභියෝගයක් වන්නට ඔවුන්ට හැකි වේවායි ThePapare.com අප ප්‍රාර්ථනා කරන්නෙමු.

ධර්මරාජ විද්‍යාලයීය රග්බි සංචිතය සඳහා පිවිසෙන්න අපගේ නවතම දත්ත වාර්තා පිටුවට

පාසල් රග්බි ලීගයේ B කාණ්ඩයේ තරග ආවරණය කිරීමට ද ThePapare.com සූදානම්, රැඳී සිටින්න.

 >> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<