වෙස්ලි, අන්තෝනි සහ සාන්ත තෝමස් කණ්ඩායම් ඉදිරියට

1854

සිංගර් පාසල් රග්බි තරගාවලියේ දෙවන සතියේ තරග හතරක් ඊයේ (04) වන විට නිමා වී අවසන් අතර, ඉන් වෙස්ලි – වේල්ස් කුමර විද්‍යාල අතර තරගයත්, සාන්ත අන්තෝනි – ඩී. එස්. විද්‍යාල අතර තරගයත් 03 වැනිදා පැවැත්විය. සාන්ත තෝමස් – සහිරා සහ ත්‍රිත්ව – විද්‍යා විද්‍යාලය අතර තරග දෙක පැවැත්වූයේ ඊයේ (04) දිනයේදීයි. එම තරග වල ජයග්‍රහණයන් හිමි වූයේ පිළිවෙළින්, වෙස්ලි විදුහල, සාන්ත අන්තෝනි විදුහල, සාන්ත තෝමස් විදුහල සහ ත්‍රිත්ව විදුහල යන විද්‍යාල වලටයි.

“වෙස්ලි විද්‍යාලයේ තදයන්ට” තහනමක්

2017 සිංගර් පාසල් රග්බි තරගාවලියේ පළමු තරගය තුළ දී වෙස්ලි විද්‍යාලයත් ත්‍රිත්ව විද්‍යාලයත් අතර ඇතිවූ ගැටුම්කාරී වාතාවරණයෙන් පසු, වෙස්ලි විද්‍යාලයේ එක් ක්‍රීඩකයෙකුට…

“තහනම” විඳ දරා ගත් වෙස්ලි ක්‍රීඩකයන්ට ප්‍රසාද ලකුණකුත් හිමි වෙයි

ඉකුත් සතියේ දී වැඩිපුරම කතාබහට ලක් වූ පාසල් රග්බි කණ්ඩායම වන වෙස්ලි විද්‍යාලයීය රග්බි කණ්ඩායම, මොරටුව වේල්ස් කුමරුවන් පරාජය කරමින් 28-10ක් ලෙසින් ජයග්‍රහණය වාර්තා කරන්නට සමත් විය. ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමයේ තීරණයකට අනුව වෙස්ලි ක්‍රීඩකයන් කිහිප දෙනෙකුටම මෙම තරගය තහනම් වූ අතර “ඒ” කාණ්ඩයේ පාසල් රග්බි ක්‍රීඩා පිටියට ආධුනිකයන් වශයෙන් එක් වූ වේල්ස් කුමර විද්‍යාලයට ඉන් වාසිය අත්පත් කර ගැනීමට නොහැකි විය.

නලීන් තරංග, ප්‍රථමයෙන්ම වේල්ස් කුමරුවන් ඉදිරියෙන් තබමින් දඬුවම් පහරක් සාර්ථක කර ගත්තේය. (වේල්ස් කුමර 03-00 වෙස්ලි) නවක ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම ඇතුළත් වීම හේතුවෙන් තරගයට මුසුවීමට වෙස්ලි ක්‍රීඩකයන්ට යම් කාලයක් ගත වූ අතර ඩෝල් විසින් වෙස්ලි විද්‍යාලයේ පළමු උත්සාහක දිනුම සාර්ථක කර ගත්තේය. අවිශ්ක ලී ගේ ප්‍රවර්තනය අසාර්ථක වූ නමුත් පසුව ලද දඬුවම් පහරකින් ඔහු වෙස්ලි විදුහලට ලකුණු එක්කළේය. (වේල්ස් කුමර 03-08)

වේගවත් ධාවක අවන්ත ලී, තමාට ලැබුණු සුළු අවස්ථාවක් හොඳින් ග්‍රහණය කර ගනිමින් එය මහඟු අවස්ථාවක් බවට පෙරලා ගත්තේ උත්සාහක දිනුම් රේඛාව පසු කරමිනි. ඔහුගේ සොයුරු අවිශ්ක ලී, ප්‍රවර්තනයේ දී නැවතත් අසාර්ථක විය. (වේල්ස් කුමර 03- වෙස්ලි 13)

ප්‍රථම අර්ධය – වෙස්ලි විද්‍යාලය 13 (2T 1P) – 03 (1P) වේල්ස් කුමර විද්‍යාලය

පිටියේ සීමා උල්ලංඝණය කළ වේල්ස් කුමර ක්‍රීඩකයෙකු හේතුවෙන් වෙස්ලි විද්‍යාලයට දඬුවම් පහරක් හිමි වූ අතර අවිශ්ක ලී එහි දී සාර්ථක විය. (වේල්ස් කුමර 03-16 වෙස්ලි)

වෙස්ලි ෆ්ලෑන්කර් සී. අපොන්සු තවත් උත්සාහක දිනුමක් වාර්තා කළේ ඉන් අනතුරුවය. ෆුල් බැක් ක්‍රීඩක ජුරම්පති, ඊට තවත් උත්සාහක දිනුමක් එක්කළේය. ඉන් එක් ප්‍රවර්තනයක් සාර්ථක කර ගන්නට අවිශ්කට හැකි විය. (වේල්ස් කුමර 03-28 වෙස්ලි) ලකුණු 25ක පරතරයක් තිබිය දී වුවද නොසැලෙන අධිෂ්ඨානයෙන් ක්‍රීඩා කළ වේල්ස් කුමරුවන් වෙනුවෙන් හිරුශාන් ප්‍රනාන්දුගෙන් උත්සාහක දිනුමක් වාර්තා වූයේ තරගයේ අවසන් භාගයේ දී ය. ඉන් ඔවුන්ට ප්‍රසාද ලකුණක් ද හිමි විය. නලීන් තරංගගේ ප්‍රවර්තනය සාර්ථකයි. (වේල්ස් කුමර 10-28 වෙස්ලි)

සම්පූර්ණ කාලය – වෙස්ලි විද්‍යාලය 28 (4T 1C 2P) – 10 (1T 1C 1P) වේල්ස් කුමර විද්‍යාලය

ලකුණු රැස් කළ ක්‍රීඩකයන්

  • වෙස්ලි විද්‍යාලය – ආර්. ඩෝල් 1T,  අවන්ත ලී 1T, සී. අපෝන්සු 1T, තාරික් ජුරන්පති 1T, අවිශ්ක ලී 2P 1C.
  • වේල්ස් කුමර විද්‍යාලය – හිරුශාන් ප්‍රනාන්දු 1T, නලීන් තරංග 1P 1C.

ඩී.එස්. ට එරෙහිව අන්තෝනි පෑ ආධිපත්‍යය

මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලයත්, කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලයත් අතර පැවති රග්බි තරගයෙන් ලකුණු 54-25ක් වශයෙන් පැහැදිලි ජයක් හිමි වූයේ සාන්ත අන්තෝනි විදුහලටයි.

හසිඳු දිනූෂ විසින් සාර්ථක කර ගත් දඬුවම් පහරක් සමඟින් ප්‍රථමයෙන්ම ලකුණු පුවරුව ක්‍රියාත්මක කළේ ඩී. එස්. සේනානායක විද්‍යාලයයි. පසුව චමෝද් සාලින්ද විසින් තම ප්‍රතිවාදී ආරක්ෂකයා නොමග යවමින් ලබා ගත් උත්සාහක දිනුමක් ද ඊට එක්විය. එහි පහසු ප්‍රවර්තනය දිනූෂගේ පාදයෙන් වැරදී ගියේය. (ඩී.එස්. 08-00 අන්තෝනි)

ඊට පිළිතුරු සැපයූ කවින්ද අමරකෝන්, ඩී. එස්. ආරක්ෂකයන් වැලක්ම එක පෙලට යට කරගෙන ගොස් උත්සාහක දිනුමක් වාර්තා කළ අතර ප්‍රවර්තනයේ දී සැමුවෙල් මධුවන්තට කිසිදු ගැටළුවක් ඇති නොවීය. (ඩී.එස්. 08-07 අන්තෝනි) ඉන් මොහොතකට පසු අමරකෝන්ව අනුගමනය කළ දිනේෂ් රොද්‍රිගෝ, දෙවරක්ම උත්සාහක දිනුම් රේඛාව පසු කළේ අන්තෝනි විදුහල පෙරමුණට ගෙන යමිනි. ප්‍රවර්තනයන් දෙකෙන් එකක් පමණක් සාර්ථක විය. (ඩී.එස්. 08-19 අන්තෝනි)

පසුව පන්දුව පාදයෙන් ගුවනට යොමු කළ ප්‍රමුදිත වික්‍රමාරච්චි, දෙවරක්ම පන්දුව පාදයෙන් පාලනය කරමින් ඉදිරියට ගෙන ගොස් අලංකාර උත්සාහක දිනුමක් වාර්තා කළ අතර මධුවන්තගේ ප්‍රවර්තනය සාර්ථක විය. ඩී. එස්. අන්තය ද තමන්ට ලැබුණු දඬුවම් පහරක් සාර්ථක කර ගත්තේය. (ඩී.එස්. 11-26 අන්තෝනි)

ප්‍රථම අර්ධය – සාන්ත අන්තෝනි විද්‍යාලය 26 (4T 3C) – 11 (1T 2P) ඩී.එස්. සේනානායක විද්‍යාලය

අන්තෝනිවරුන් වෙනුවෙන් මොහොමඩ් ශබ්බීර් වාර්තා කළ උත්සාහක දිනුමක් සැමුවෙල් මධුවන්තගේ පාදයෙන් ප්‍රවර්තනය වූ අතර ඩී.එස්. විද්‍යාලය වෙනුවෙන් ඉනුර රන්සික උත්සාහක දිනුමක් රැස් කළේ හසිඳු දිනූෂට තවත් පහසු ප්‍රවර්තනයක් සාර්ථක කර ගැනීමට මඟ පාදමිනි. (ඩී.එස්. 18-33 අන්තෝනි)

ජෙහාන් සීලගම සහ සැමුවෙල් මධුවන්ත යන දෙදෙනාටම උත්සාහක දිනුම් හිමිවන්නේ මින් පසුවය. මධුවන්ත දෙදෙනාටම සාධාරණය ඉටු කළේය. (ඩී.එස්. 18-47 අන්තෝනි) ඉමාඩ් සිද්දික් විසින් ඊට පිළිතුරු ලබා දුන්නේ ඩී.එස්. කණ්ඩායමට උත්සාහක දිනුමක් එක්කරමිනි. හසිඳුගේ ප්‍රවර්තනය සාර්ථකයි. (ඩී.එස්. 25-47 අන්තෝනි)

අන්තෝනි නායක දිනුක් අමරසිංහ ලබා ගත් උත්සාහක දිනුමක ප්‍රවර්තනය, මධුවන්තගේ පාදයෙන් සාර්ථක වෙද්දී තරගය අවසන් වන සේයා පහල විය.

සම්පූර්ණ කාලය – සාන්ත අන්තෝනි විද්‍යාලය 54 (8T 7C) – 18 (3T 2C 2P) ඩී.එස්. සේනානායක විද්‍යාලය

ලකුණු රැස් කළ ක්‍රීඩකයන්

  • සාන්ත අන්තෝනි විද්‍යාලය – දිනුක් අමරසිංහ 2T, දිනේෂ් රොද්‍රිගෝ 2T, මොහොමඩ් ශබ්බීර් 1T, ප්‍රමුදිත වික්‍රමාරච්චි 1T, කවින්ද අමරකෝන් 1T, සැමුවෙල් මධුවන්ත 1T 7C.
  • ඩී.එස්. සේනානායක විද්‍යාලය – ඉනුර රන්සික 1T, චමෝද් සාලින්ද 1T, ඉමාඩ් සිද්දික් 1T, හසිඳු දිනූෂ 2C 2P.

සටන්කාමී සහිරාව ඉදිරියේ රැකුණු සාන්ත තෝමස් ලකුණු පරතරය

මරදාන සහිරා විද්‍යාලයට එරෙහිව සාන්ත තෝමස් කණ්ඩායමට පහසු ජයක් ලැබෙනු ඇතැයි ඇතැමෙකු විශ්වාස කළත් මෙම තරගය නිමා වූයේ ලකුණු 29-24ක් ලෙස ලකුණු 5ක පරතරයක් පමණක් තොමසුවන්ට ලබා දෙමිනි.

සාන්ත තෝමස් ෆ්ලයි හාෆ් ක්‍රීඩක හාන්ස් වල්පොල, තොමසුවන් වෙනුවෙන් ප්‍රථම උත්සාහක දිනුම වාර්තා කළ අතර සහීරා වින්ග් ක්‍රීඩක යුස්රාන් ලන්ත්‍රා, සහීරා විද්‍යාලයට පළමු උත්සාහක දිනුම ලබා දුන්නේය. ප්‍රවර්තන දෙකම සාර්ථක කර ගන්නට කණ්ඩායම් දෙකේම ප්‍රහාරකයන් අසමත් විය. (තෝමස් 05-05 සහිරා)

එස්.ජී. මතඟවීර සහ නවීන් හේනකන්කානම්ගේ එක පෙලට වාර්තා කළ උත්සාහක දිනුම් දෙකක් සමඟින් ලකුණු පරතරය 12ක් දක්වා වර්ධනය කර ගන්නට සාන්ත තෝමස් කණ්ඩායමට හැකි විය. එසේ වූයේ වල්පොල අතින් එක් ප්‍රවර්තනයක් අසාර්ථක වූ බැවිනි. (තෝමස් 17-05 සහිරා)

35 වන මිනිත්තුවේ දී උත්සාහක දිනුමක් වාර්තා කරන්නට සහිරා විද්‍යාලයේ ඉර්ෆාන් අසාර් සමත් වූ අතර සයිඩ් සිංහවංස එහි ප්‍රවර්තනය සාර්ථක කර ගත්තේය. (තෝමස් 17-12 සහිරා) තෝමස් විද්‍යාලයීය පරතරය නැවතත් තහවුරු කළ අවිශ්ක හඳුන්පතිරණ පිටියේ දකුණු කෙළවර ආක්‍රමණය කරමින් උත්සාහක දිනුමක් රැස්කළේය.

ප්‍රථම අර්ධය – සාන්ත තෝමස් විද්‍යාලය 22 (4T 1C) – 12 (2T 1C) සහිරා විද්‍යාලය.

රෝලින් මෝල් (Rolling maul) එකක් සාර්ථක කර ගනිමින් ඉදිරියට ගිය තොමසුවන් වෙනුවෙන් උත්සාහක දිනුමක අවසානයක් ගෙන දුන්නේ ක්‍රිස්ටියන් ඩි ලයිල් ය. මඳක් අපහසු කෝණයකින් ලද ප්‍රවර්තනය සාර්ථක කර ගන්නට හාන්ස් වල්පොලට හැකි විය. (තෝමස් 24-12 සහිරා) පසුව සත්කාරක කණ්ඩායම වෙනුවෙන් සයිඩ් සිංහවංස වාර්තා කළ උත්සාහක දිනුමක් සමඟින් ඔවුන් ද සටන අත්නොහැරි වගට පණිවුඩයක් තොමසුවන් වෙත ලබා දුන්නේය. (තෝමස් 29-17 සහීරා)

එතැනින් නොනැවතුණු සිංහවංස තවදුරටත් තම කණ්ඩායමට ශක්තිය ගෙන දුන්නේ තරගය තුළ උත්සාහක දිනුමත් වාර්තා කරමිනි. ඔහු විසින්ම එහි ප්‍රවර්තනය සාර්ථක කර ගනිමින් සහිරා විද්‍යාලයට ජයග්‍රහණය පිළිබඳ බලාපොරොත්තු කැඳවා ගෙන පැමිණියේ තරගය නිමා වන්නට මිනිත්තු 10ක් පමණ ඉතිරිව තිබියදීය. (තෝමස් 29-24 සහීරා) පසුව ලන්ත්‍රා උත්සාහක දිනුම් සීමාව පසු කළ ද විනිසුරු විසින් සංඥා කෙරුණේ ඔහු පිටියෙන් පිටතට පය තැබූ බවයි. කෙසේ වෙතත් තොමසුවන්ට සැනසුම් සුසුමන් ගෙනෙමින් තරගය නිමා විය.

සම්පූර්ණ කාලය – සාන්ත තෝමස් විද්‍යාලය 29 (5T 2C) – 24 (4T 2C) සහිරා විද්‍යාලය

ලකුණු ලබා ගත් ක්‍රීඩකයන්

  • සාන්ත තෝමස් – හාන්ස් වල්පොල 1T 2C, එස්. මතඟවීර 1T, නවීන් හේනකන්කානම්ගේ 1T, අවිශ්ක හඳුන්පතිරණ 1T, ක්‍රිස්ටියන් ඩි ලයිල් 1T.
  • සහිරා – සයිඩ් සිංහවංස 2T 2C, ඉර්ෆාන් අසාර් 1T, යුස්රාන් ලන්ත්‍රා 1T.

 තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි ක්‍රීඩා පිටුවට