දෙවැනි කොටසේ ශූරතාව සාන්ත පීතර විදුහලට

262

බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය සහ මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය අතර පැවති අන්තර් පාසල් වයස අවුරුදු 17න් පහළ දෙවැනි කොටසේ සිංගර් කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට සාන්ත පීතර විද්‍යාලයීය ක්‍රීඩකයෝ අද (24දා) සමත් වූහ.

කොළඹ තර්ස්ටන් විද්‍යාලයීය පිටියේ දී පැවති මෙම තරගයෙන් සාන්ත පීතර විද්‍යාලය කඩුලු 4ක ජයක් වාර්තා කළේ ය. මෙවර මෙම තරගාවලියේ අවසන් තරගය නියෝජනය කළ කණ්ඩායම් දෙකම විද්‍යාලයන් හී “B” කණ්ඩායම් වීම කැපි පෙණුනි.

ශෂික සාන්ත සර්වේශස් අවසන් තරගයට ගෙන යයි

ශෂික දුල්ශාන්ගේ තුන් ඉරියව් දක්ෂතා හේතුවෙන් කොළඹ නාලන්ද විද්‍යාලය පරදවා මාතර සාන්ත සර්වේශස් විද්‍යාලයීය ක්‍රීඩකයෝ, ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය…

කාසියේ වාසිය දිනූ සාන්ත සෙබස්තියන් ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දීම තමන් සන්තක කර ගත් අතර එහි දී ඔවුන් පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 196ක් ලබා ගත්හ. පිළිතුරු ඉනිමට පිටියට පිවිසි සාන්ත පීතර විද්‍යාලය එම ඉලක්කය තරගය නිමා වීමට තවත් පන්දු 15ක් ඉතිරිව තිබිය දී කඩුලු 6ක් පමණක් දැවී සපුරා ගත්තේය.

සාන්ත සෙබස්තියන් ඉනිමේ දී කැපී පෙණෙන ඉනිමක් ක්‍රීඩා කළේ දකුණත් පිතිකරු ශේන් ප්‍රනාන්දු ය. ඔහු පන්දු 79කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 68ක් ලබා ගත්තේ ය. ලකුණු 90කට කඩුලු 5ක් දැවී තිබිය දී දිමිත්‍ර පෙරේරා (28) සමඟ එක්වෙන ශේන් 6 වැනි කඩුල්ලට ලකුණු 90ක සබඳතාවක් ගොඩ නගන්නේය. ඔවුන් දෙදෙනාට අමතරව ඩිශේන් ද මෙල් ද පිතිකරුවෙක් සේ දක්ෂතා දැක්විය. ඔහු ලකුණු 28ක් ලබා ගත්තේ ය. පන්දු යැවීමේ දී දිනුක රොද්‍රිගෝ කඩුලු 3ක් සහ නිරෝෂ් අර්ෂන කඩුලු 2ක් දවාගත්හ.

ජයග්‍රාහී ඉනිමේ කැපී පෙණෙන පිතිකරු වූයේ කණ්ඩායම් නායක හිමසර රන්දෙණි ය. ඔහු නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 113ක දී හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 80ක් ලබා ගත්තේ ය. ලකුණු පුවරුව කඩුලු 2කට ලකුණු 5ක් ලෙස තිබිය දී සඳරු ගමගේ (36) සමඟ එක්වන හිමසර තෙවැනි කඩුල්ලට ලකුණු 68ක සබඳතාවක් එක් කරමින් කණ්ඩායම තිබූ තත්ත්වයෙන් තරමක ඉහළට ඔසවා තැබුවේ ය. නැවත කණ්ඩායම අසීරු අඩියකට පත් වෙද්දී නායකයෙක් ලෙස තම යුතුකම මනා ලෙස හඳුනාගත් හිමසර එවර 5 වැනි කඩුල්ලට මයුර සමරවික්‍රම (39) හා සමඟ එක්වෙමින් ලකුණු 89ක සබඳතාවක් ගොඩ නැගුවේ ය. අවසන් අදියරේ දී තරගයේ සම්පූර්ණ පාලනය නිරෝෂ් අර්ෂන පවරාගත් අතර ඔහු තරගය නිමා කළේ නොදැවී ලකුණු 25ක් වාර්තා කරමිනි.

පන්දු යැවීමේ දී සුපුන් ප්‍රනාන්දු තමන්ගේ පන්දුවාර 10, ලකුණු 19කට යවමින් ප්‍රතිවාදීන්ගේ ඉනිමේ ලකුණු ලබා ගැනීම මදවේගී තත්ත්වයකට පත් කළ ද අනෙකුත් පන්දු යවන්නන්ට ඉතා හොඳින් මුහුණ දීමට ජයග්‍රාහී පීතරයන් සමත් විය. සුපුන් ප්‍රතිවාදී කඩුලු 3ක් දවා ගත්තේය. සුපුන්ට අමතරව සාන්ත සෙබස්තියන් පන්දු යවන්නන් අතුරින් තරමක් හෝ සාර්ථක ප්‍රතිඵල නෙලා ගත්තේ දිදුල පීරිස් ය. ඔහු ලකුණු 14කට කඩුලු 2ක් දවා ගත්තේ ය.

ලකුණු සාරාංශය

සාන්ත සෙබස්තියන් විද්‍යාලය; කඩුලු 8ක් දැවී 196(50.0) දිදුල පීරිස් 18, ඩිශේන් ද මෙල් 28, ශේන් ප්‍රනාන්දු 68, දිමිත්‍ර පෙරේරා 28, දිනුක රොද්‍රිගෝ 3/38, නිරෝෂ් අර්ෂන 2/29

සාන්ත පීතර විද්‍යාලය; කඩුලු 6ක් දැවී 200(47.3) හිමසර රන්දෙණි 80, සඳරු ගමගේ 36, මයුර සමරවික්‍රම 39, නිරෝෂ් අර්ෂන නොදැවී 25, දිදුල පීරිස් 2/14, සුපුන් ප්‍රනාන්දු 3/19

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න –ක්‍රිකට් ක්‍රීඩා පිටුවට