“අපිට මුල ඉඳලම විශ්වාසයක් තිබුණා මේ තරගාවලියේ දී අපිට මොනව හරි කරන්න හැකි වේවි කියලා. මොකද අපි සෑම තරගයක දී ම ලකුණු 250 සීමාවේ හිටියා. ඒ වගේම ප්‍රතිවාදී කණ්ඩායම් අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කළා. මේ නිසා අපිට අපේ සැලසුම් ඉතාම පහසුවෙන් ක්‍රියාත්මක කරන්න හැකි වුනා.”

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කළ අන්තර් පාසල් වයස අවුරුදු 17න් පහළ පළමු කොටසේ සිංගර් කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරයන් සේ අභිෂේක ලැබූ මාතර සාන්ත සර්වේශස් විද්‍යාලයීය ක්‍රිකට් කණ්ඩායමේ නායක කේශර නුවන්ත, ThePapare.com හා එක්වෙමින් තම ජයග්‍රහණය සම්බන්ධයෙන් එසේ පැවසුවේය. මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය සමඟ මුවර්ස් ක්‍රීඩා සමාජ පිටියේ දී පැවති අවසන් මහා තරගයේ දී ඔවුන් ලකුණු 209ක දැවැන්ත ජයග්‍රහණයක් වාර්තා කළහ.

පහත රට සාන්තුවරයෝ ශූරතාව මාතොටට ගෙන යයි

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කළ අන්තර් පාසල් වයස අවුරුදු 17න් පහළ සිංගර් කුසලාන පළමු..

මාතර සාන්ත සර්වේශස් විද්‍යාලය මේ ලැබූ ජයග්‍රහණය මහත් උද්දාමයෙන් සමරන්නේ එය ඔවුන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් කණ්ඩායමක් ලැබූ අභිමානවත්ම ජයග්‍රහණය වීම නිසාය.

120 වැනි සංවත්සරය එළිපත්තේ සිටින සාන්ත සර්වේශස් විද්‍යාලයීය ක්‍රිකට් ඉතිහාසය ද ඒ හා සම වයසක් ගනු ලබයි. පාසලේ ආරම්භය සටහන් වන්නේ 1897 නොවැම්බර් 2 වැනි දා ය. පූජ්‍ය Augustus Standard පියතුමන් විසින් මාතර, පල්ලිමුල්ල ප්‍රදේශයේ කුඩා බිම් කොටසක සාන්ත සර්වේශස් විද්‍යාලය ආරම්භ කර තිබේ. සුන්දර නිල්වලා නදිය අසබඩ පිහිටි මේ පාසල මේ වන විට ආරම්භක ස්ථානයෙන් දුරස්ව වර්තමානයේ පිහිටා ඇති කොටුවේගොඩ ප්‍රදේශයට ගෙන එනු ලැබ ඇත්තේ දිනෙන් දින වැඩි වන ශිෂ්‍ය ප්‍රජාව නිසාය.

සාන්ත සර්වේශස් විද්‍යාලයීය ක්‍රිකට් ඉතිහාසය වර්ණවත් කළ සුවිශේෂීම චරිතයක් වන්නේ සනත් ටෙරාන් ජයසූරිය ය. ලෝක ක්‍රිකට් වංශ කතාවේ නව පරිච්ඡේද කිහිපයක්ම තමා නමින් ලියා ගැනීමට සමත් වීම ජයසූරිය පමණක් නොව සාන්ත සර්වේශස් විද්‍යාලය ද ලැබූ ජයග්‍රහණයකි. ඊට අමතරව මෑත කාලීනව ක්‍රිකට් කරළිය ජය ගැනීමට කණ්ඩායමට එක් වූ නවක ක්‍රීඩක කසුන් රාජිත ද ආදි සර්වේශියානුවෙකි.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ශ්‍රේණිගත තරග විනිසුරු රුචිර පල්ලියගුරුගේ ද, සාන්ත සර්වේශස් විද්‍යාලය බිහි කළ සුවිශේෂී චරිතයකි.

අතීත ක්‍රිකට් විරුවන් ගිය අඩිපාරේ යෑමට කේශර නුවන්තගේ නායකත්වයෙන් යුත් වර්තමාන 17න් පහළ කණ්ඩායම ද මේ වන විට පෙළ ගැසී ඇතැයි සාන්ත සර්වේශියානුවන්ගේ විශ්වාසයයි. මෙම කණ්ඩායම නියෝජනය කරනු ලබන ක්‍රීඩකයෝ බොහෝ දෙනෙක්ම වයස අවුරුදු 13න් පහළ කාණ්ඩයේ සිටම එක්ව සිටීම ඊට ප්‍රමුඛ හේතුව වී තිබේ.

සාන්තුවරයන්ගේ අභියෝගය

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන වයස අවුරුදු 17න් පහළ සිංගර් කුසලාන අන්තර් පාසල් එක්දින..

“මට මේ ක්‍රීඩකයන් වයස අවුරුදු 13න් පහළ වයස් කාණ්ඩයේ සිටම හමු වූ අය. මේ කණ්ඩායම සහභාගී වූ සෑම වයස් කාණ්ඩ තරගාවලියක දී ම අර්ධ අවසන් පූර්ව වටය දක්වාම පැමිණ තිබෙනවා. ඉතාම දක්ෂ කණ්ඩායමක්. විශේෂයෙන්ම සීමිත පන්දුවාර තරග රටාවට උචිත කණ්ඩායමක් අපිට ඉන්නෙ. අංක 10 දක්වාම පිතිකරුවන් සේ දක්ෂතා දක්වනවා. අවසන් මහා තරගය දක්වාම අපේ කණ්ඩායම පන්දුවාර 50ම අපතේ නොයැවීමට වගබලා ගත්තා. ආරම්භක කඩුලු අඩු ලකුණු ප්‍රමාණයකට දැවී ගියත් පන්දුවාර 50ම අවසන් වනතුරු ඇදගෙන යන්න පුළුවන් පිතිකරුවන් සිටින කණ්ඩායමක් අපිට හිටියා.  සෑම තරගයක දී ම හොඳ තරගකාරී ලකුණු ප්‍රමාණයකට යන්න අපිට හැකි වුනා. ඒ වගේම දඟපන්දු යවන්නන් 5 දෙනෙක් කණ්ඩායමට එක්ව සිටීම අපිට වඩාත් වාසිදායක වුනා.”

ජයග්‍රාහී සාන්ත සර්වේශස් විද්‍යාලයීය කණ්ඩායමේ පුහුණුකරු ඒ. එම්. ප්‍රියන්ත මහතා ThePapare.com සමඟ එක්වෙමින් පැවසුවේය. විද්‍යාලයීය ආදි ශිෂ්‍යයෙක් වන ප්‍රියන්ත මහතා විද්‍යාලය වෙනුවෙන් අවසන් වරට ක්‍රීඩා කරන්නේ 1998/99 තරග වාරයේ දී ය. ඔහු 1997 වසරේ විද්‍යාලයීය වයස අවුරුදු 17න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස ද කටයුතු කර ඇත.

ජයග්‍රාහී කණ්ඩායමේ නායක කේශර නුවන්ත සහ උප නායක ශෂික දිල්ශාන් වයස අවුරුදු 19න් පහළ ශ්‍රී ලංකා සංචිතගත ක්‍රීඩකයෝ ය. දකුණතින් දඟපන්දු යවමින් ද, දකුණත් පිතිකරුවෙක් ලෙස ද කටයුතු කරන කේශර සේ ම වමත් පිතිකරුවෙක් සහ වමත් දඟපන්දු යවන්නෙක් ලෙස කටයුතු කරන ශෂික ද දැනට අවුරුදු දෙකක් තිස්සේ වයස අවුරුදු 19න් පහළ විද්‍යාලයීය ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයෝ ය. ශෂික පසුගිය වසරේ දී කඩුලු 75ක් දවාගත් ක්‍රීඩකයෙකි.

කණ්ඩායමේ ආරම්භක පිතිකරු රිසිර වීරසූරිය කොළඹ මහානාමයේ සිට සාන්ත සර්වේශස් විද්‍යාලයට පිවිස කණ්ඩායමේ වැඩි වගකීමක් දැරූ ක්‍රීඩකයෙකි. ඔහු කණ්ඩායමේ කඩුලු රකින්නා ලෙස ද කටයුතු කරයි. එමෙන්ම මොනරාගල රාජකීය විද්‍යාලයෙන් ක්‍රිකට් අත්පොත් තබා සාන්ත සර්වේශස් විද්‍යාලයට පැමිණි චේතක දෙනුවන් සහ චිහාන් කළිඳු මෙන්ම කාලයක් තිස්සේ මෙම කණ්ඩායම නියෝජනය කරන පුෂ්පිත ඩිල්ශාන්, පසිඳු මනුප්‍රිය, පසන් තත්සර තුන් ඉරියව් ක්‍රීඩකයන් සේ කණ්ඩායම ශක්තිමත් කළ බැව් ප්‍රියන්ත මහතා පැවසුවේ ය.  

“අපිට විශ්වාසවන්ත කණ්ඩායමක් සිටිනවා. ඔවුන් අනාගත සර්වේශස් ක්‍රිකට් පිටිය වර්ණවත් කරාවි. නමුත් අපිට පුහුණුවීම් සඳහා ටර්ෆ් විකට් එකක් නැති එක ලොකු පාඩුවක්. මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේ ඒ පහසුකම් තිබුණත් එය ලබා ගැනීමට අපහසුයි. අපි පුහුණුවීම් කළේ කොන්ක්‍රීට් විකට් එකක. අපි දෙවැනි වටයට පිවිසි පසු ක්‍රීඩා කරන්න සිදුවුණේ බහුතරයකට ටර්ෆ් විකට් තිබෙන පාසල් සමඟ. තරගවල දී ඒක අපිට ලොකුවට දැනුණා.”

ප්‍රියන්ත මහතා නැවත අප සමඟ පැවැසුවේ ය.

සාන්ත සර්වේශස් විද්‍යාලය මෙම තරගාවලියේ පළමු වටයේ දී ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය, අම්බලන්ගොඩ පී. ද එස්. කුලරත්න විද්‍යාලය, ගාල්ල සාන්ත ඇලෝසියස් විද්‍යාලය, අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය, ගාල්ල විද්‍යාලෝක විද්‍යාලය, රත්ගම දේවපතිරාජ විද්‍යාලය සමඟ තරග වදින්නේ ය. එම තරග අතුරින් ධර්මාශෝක විද්‍යාලය වෙතින් පමණක් අමිහිරි පරාජයක් ලබන ඔවුන් දෙවැනි වටයට පිවිසෙන්නේය.

ශෂික සාන්ත සර්වේශස් අවසන් තරගයට ගෙන යයි

ශෂික දුල්ශාන්ගේ තුන් ඉරියව් දක්ෂතා හේතුවෙන් කොළඹ නාලන්ද විද්‍යාලය පරදවා මාතර සාන්ත සර්වේශස්…

දෙවැනි වටයේ දී කළුතර තිස්ස මධ්‍ය මහා විද්‍යාලය, කුරුණෑගල මලියදේව විද්‍යාලය, මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය සමඟ තරග වදින්නේය. එම වටයේ දී අවසන් මහා තරගයට සුදුසුකම් ලබන සාන්ත අන්තෝනි විද්‍යාලය හමුවේ ඔවුන් පරාජය වන්නේය. නමුත් එම වටයේ දී අංක 1 වෙමින් ඔවුන් පෙර අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ගනී.

පෙර අර්ධ අවසන් පූර්ව වටයේ දී කොළඹ ආනන්ද විද්‍යාලය පරාජය කරන ඔවුන්, අර්ධ අවසන් පූර්ව වටයේ දී ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය පරාජය කරන්නේය. අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමේ තරගයේ දී ඔවුන් පරාජයට පත් කරන්නේ කොළඹ නාලන්ද විද්‍යාලයයි.

“අපි මේ ජයග්‍රහණය ලබා ගන්න විශාල වෙහෙසක් ගත්තා. කැපවුනා. අපේ ජයග්‍රහණය වෙනුවෙන් විශාල දායකත්වයක් දුන්නේ පුහුණුකරු ප්‍රියන්ත සර්. ඔහු සමහර විට අපිටත් වඩා උනන්දු වී අපිවත් ඒ තත්ත්වයට ගෙනාවා. ඒ වගේම විද්‍යාලයීය පුහුණුකරු මුනිදාස රත්නසේකර සර්, ක්‍රිකට් භාර ආචාර්ය වයි. එස්. සමන් කුමාර සර් අපිත් සමඟම හිටියා. විශේෂයෙන්ම මේ ජයග්‍රහණයේ දී මතක් කළ යුතු සුවිශේෂී දෙදෙනෙක් ඉන්නවා. ඒ සනත් ජයසූරිය සහ රුචිර පල්ලියගුරු සර්ලා. ඔවුන් සෑම විටකම අපේ පාසලේ ක්‍රිකට් දියුණු කිරීමට කටයුතු කරනවා. ඔවුන්ගේ උපදෙස් සහ දායකත්වය අපිට විශාල ශක්තියක්. ඒ වගේම විද්‍යාලයීය ආදි සිසුන්, ආචාර්ය මණ්ඩලය සහ සහෝදර සිසුන් සියලුම දෙනා අපත් සමඟ සිටියා. අපේ මේ ජයග්‍රහණය ඔවුන් සෑම දෙනාටම ගෞරවයක් සේ පිරිනැමෙනවා.”

කණ්ඩායම් නායක කේශර නුවන්ත අප සමඟ වූ කතාබහ අවසන් කළේ එලෙසිනි.

ජයග්‍රාහී සාන්ත සර්වේශස් විද්‍යාලයීය 17න් පහළ කණ්ඩායමට ThePapare.com වෙතින් ද සුබ පැතුම් එක් කරමු.   

  තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න